වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
රවි වෘශ්චික රාශියේ උභයචාරී යෝගයක් උදා කරයි ලග්න හතරකට උසස් තනතුරු
මේෂ, වෘශ්චික, සිංහ, ධනු ලග්න හිමියන්ට බලවත් රවිගෙන් වඩාත් තීව්‍ර සුබපල දෙමින් නොවැම්බර් මස 16 වැනි සෙනසුරාදා උදේ 7.31ට රවි ග්‍රහයා ස්වකීය මිත්‍ර රාශියක් වන වෘශ්චික රාශියෙහි බලගතු උභයචාරි යෝගයක් උදා කරයි. එසේම මේ රවිගේ ගෝචරය සමස්තයක් ලෙස සියලු ලග්න හිමියන්ට සුබපල උදාකරන්නට හේතු වන්නේය.
ඒ අනුව ඉහත ලග්න හතරෙන් උපන් සමිති සමාගම්වල, ව්‍යාපාර ආයතනවල, දේශපාලන සංවිධානවල තනතුරු දරන අයට නිලතල බලතල ලැබීමටත්, මැතිවරණ තරග ආදියෙන් ජයග්‍රහණය ලැබීමටත් මෙකී රවිගේ බලවත් ගෝචරය හේතු වන බව පෙන්නුම් කරයි.
අන් ලග්න හිමියන්ට ද ව්‍යාපාර කටයුතු, සතුරු පීඩාවලින් සහනය සහ විවිධ සුබපල රවිගේ වෘශ්චික ලග්න ගෝචරය සමඟ උදා වන්නේය.
මෙකී ග්‍රහ ගෝචරය දැනට රවි මහ දශා අතුරු දශා ලබා ඇති උත්පත්ති කේන්දරයේ රවි ග්‍රහයා රවිට සුබපල දෙන 3,6,10,11 උපචය භාවයක පතිතව වෙශී යෝගයක් හෝ වොශී යෝගයක් හෝ මේ දෙකම යෙදීමෙන් පැන නැගුණු උභයචාරි යෝගයක් යෙදී ඇති කේන්දර හිමියන්ට ඉතා උසස් සුබපලයක් භුක්ති විඳිය හැකි වන්නේය.
එසේම මේ ගෝචරය රටට ලෝකයට පොදුවේ සුබපල දෙන ග්‍රහ ගමනකි. රවි ග්‍රහයා බලවත් වීම හේතුකොටගෙන කාරකත්වයක් දරන විදුලි භාණ්ඩවල, ඖෂධවල, රසායනික ද්‍රව්‍යවල, රතු මැණික්වල, රන්භාණ්ඩවල මිල ගණන් සහනදායී වීමට හේතු විය හැකිය.
කාලගුණික වශයෙන් ගත්කල වැසි සහිත ස්වභාවය ක්‍රම ක්‍රමයෙන් අඩුවී රට තුළ වියළි කාලගුණයක් මෙකී රවි වෘශ්චික රාශි ගෝචරය වන කාලසීමාවේදී ඇති විය හැකිය.
රවි ග්‍රහයා කේන්ද්‍ර කොට ගෙන යෙදුණු බලගතු උභයචාරි යෝගය රටට විදේශ ආධාර ගලා ඒමටත්, රට තුළ නව සංවර්ධන ව්‍යාපෘති බිහිවීමටත් හේතු වනු ඇත.
ඒ අනුව නොවැම්බර් මස 16 උදේ 7.31 සිට දෙසැම්බර් මස 15 වැනිදා රාත්‍රී 10.10 දක්වා රවි බලවත්ව වෘශ්චික රාශියේ ගෝචරය වන කාල සීමාව තුළ උත්පත්ති කේන්දරයේ රවි බලවත්ව ඇති දැනට රවි මහ දශා, අතුරු දශා ලබා ඇති කේන්දර හිමියන් සියලු සුබ වැඩ කටයුතු ඉරිදා උදේ 6 -7 අතර පවතින රවිගේ කාල හෝරාවේ (ඉර උදාව සමඟ ගැන ගත යුතුය) රවිගේ පංචම කාලහෝරාව තුළ පවතින විනාඩි 4ක කාලයේ රවිගේ සූක්ෂ්ම කාල හෝරාවෙන් තැඹිලි පැහැති වස්ත්‍රයකින් සැරසී ඊශ්වර දෙවියන්ට නැඟෙනහිර දිශාවෙන් පහනක් තබා ආරම්භ කිරීමෙන් ඉෂ්ට සිද්ධිය ඇති වනු ඇත.
මේෂ ලග්නය
මේෂ ලග්න කේන්දරයට පස්වැන්නාධිපති රවි යෝග කාරක ග්‍රහයෙකි. මෙකී රවි 8 වැන්න වූ වෘශ්චික රාශියේ ගමන ශුභ වන්නේ ගෝචර රවි උත්පත්ති සඳුගෙන් 3, 6, 10, 11 යන උපචය භාවයකට වැටේ නම් පමණි. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති මේෂ ලග්න ජන්මීන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් තරග විභාග ආදියෙන් ජය ලැබීමටත් අනාගත ලාභ අපේක්ෂාවෙන් කරන මූල්‍ය ආයෝජනවලින් ලාභ අත්වීමටත් මෙකී රවි ග්‍රහයා බලවත් වෘශ්චික රාශි ගෝචරය හේතු වන්නේය.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයෙහි සිව්වැන්නාධිපති රවි 7 වැන්න වූ වෘශ්චික රාශියේ ගෝචර ගමන, ගේ දොර සම්බන්ධව කරන හවුල් ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබීමටත් ඥාති සම්බන්තාවයක් ඇති කෙනෙක් සමඟ විවාහය සිදුවීමටත්, විදේශ ගමන් ඇති වීමත් හේතු වන්නේය.
මිථුන ලග්නය
මිථුන ලග්නයට තුන් වැන්නාධිපති රවි ග්‍රහයා 6 වැන්න වූ වෘශ්චික රාශියේ ගෝචර ගමන සතුරු ප්‍රශ්න හා නඩුහබවලින් ජය ලැබීමටත්, කලක් පීඩා වින්ද රෝගයකින් සුවය ලැබී නිරෝගිමත් වීමටත් හේතු වන්නේය.
කටක ලග්නය
කටක ලග්නයට දෙවැන්නාධිපති රවි ග්‍රහයා ලග්නාධිපති සඳුට මිත්‍ර ග්‍රහයෙකි. ඒ අනුව මෙකී මිත්‍ර රවි 5 වැන්න වූ වෘශ්චික රාශි ගෝචර ගමන වෘත්තිය අධ්‍යාපනය ලබන කටක ලග්න හිමියන්ගේ වෘත්තිය අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට හේතු වන අතර, අනාගත ලාභ බලාපොරොත්තුවෙන් කරන ලද විවිධ ආයෝජන මඟින් ද ලාභ ලැබෙන්නේය.
සිංහ ලග්නය
සිංහ ලග්නය ලග්නාධිපති වන රවි ග්‍රහයා සිව්වැන්නවූ වෘශ්චික රාශියේ ගමන් ගැනීම නිවසේ සිට කෙරෙන රැකියා ව්‍යාපාර කටයුතුවලින් අත මිට සරුවන කාලයක් මෙන්ම නිවසේ යානවාහන අලෙවි කිරීමෙන් ලාභ ලැබෙන කාලයක් වන්නේය.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්නයට දොළොස්වැන්නාධිපති රවි 3 වැන්න වූ වෘශ්චික රාශියෙහි ගමන් කිරීම වෙනදාට වඩා කෙටි ගමන් ඇති කරන ඒවායින් යම් යම් ලාභ ලැබෙන වෙනදාට වඩා නිරෝගි සුවයෙන් පසුවන කාලයක් වන්නේය.
තුලා ලග්නය
තුලා ලග්නයට 11 වැන්නාධිපති වන රවි 2 වැන්න වූ වෘශ්චික රාශියේ ගෝචරය වීම ව්‍යාපාර, රැකි රක්ෂා කටයුතුවලින් ලැබෙන ධනය වෙනදාට වඩා ඉතිරි කර ගැනීමට හැකිවන, බැංකුවේ ඇති මුදල් තැන්පතුවල අගය ඉහළ යන පවුල් ජීවිතය සැපවත් වන කලක් වන්නේය.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයට 10 වැන්නාධිපති රවි යෝගකාරක ග්‍රහයෙකි. එම රවි ලග්නයේ බලවත්ව ගමන් කිරීම, රැකිරක්ෂා වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබීමට වෙනදාට වඩා නිරෝගී සම්පන්න කඩිසර ජීවිතයක් ගත කිරීමටත් හේතුවන ග්‍රහගෝචරයක් වන්නේය.
ධනු ලග්නය
ධනු ලග්න හිමියාට ප්‍රබල යෝගකාරක ග්‍රහයකු වන රවි 12 වැන්න වූ වෘශ්චික රාශියේ මිත්‍ර ක්ෂේත්‍ර බලයෙන් යුතුව ගමන් කිරීම ශුභ වන්නේ මෙකි රවි ගමන් කරන 12 වැන්න වූ වෘශ්චිකය ජන්ම සඳු ගෙන් 3,6,10,11 යන උපචය භාවයකට වැටුණහොත් පමණි. ඒ අනුව එවන් ග්‍රහ බලයක් ඇති ජන්මීන්ට විදේශ ගමන්වලින් විදේශ වෙළෙඳාමෙන් ලාභ ලැබෙන, පීඩාවිඳි රෝගවලින් සුවය ලැබෙන යහපත් කාලයක් වන්නේය.
මකර ලග්නය
මකර ලග්නය හිමියාට පාපියකු වන 8 අධිපති රවි උපචය භාවයක් වන 8 වැන්නෙහි ගමන් කිරීම අන්තිම කැමැති පත්‍රවලින් ධනය ලැබීමටත්, මාරාන්තික රෝගවලින් සුවය ලැබීමට හේතු වන ග්‍රහ ගෝචරයක් වන්නේය.
කුම්භ ලග්නය
කුම්භ ලග්න කේන්දරයට 7 අධිපති වන රවි උපචය භාවයක් වන 10 වැන්නේ ගමන් කිරීම, හවුලේ කරන රැකි රක්ෂා ව්‍යාපාර කටයුතුවලින් ආදායම් වැඩිවීමටත් සමිති සමාගම්වල දේශපාලන සංවිධානවල නිලතල බල තල තනතුරු ලැබීමටත් හේතු වන්නේය.
මීන ලග්නය
මීන ලග්න කේන්දරයට 6 වැන්නාධිපති වන රවි 9 වැන්න වූ භාග්‍ය ස්ථානයේ ගමන් ගැනීම විදේශ ගමන්, විදේශයන් සමඟ කරන රැකි රක්ෂා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබීමටත් පියා වෙනදාට වඩා නිරෝගී සුවයෙන් පසුවීමටත් හේතු වන්නේය.
උත්පත්ති කේන්දරයේ රවි ග්‍රහයා බලවත් ජන්මීන්ට මෙකී රවිගේ බලවත් වෘශ්චික රාශි ගෝචරයෙන් ශුභඵල ලැබුණත් රවි දුර්වල ලෙස පිහිටා ඇති රවි මහ දශා අතුරු දශා ලබා ඇති ඒරාෂ්ටක අපල ලබා ඇති ජන්මීන්ට මෙකි රවිගේ වෘශ්චික රාශි ගමනේදී ලැබිය යුතු ශුභඵල නොලැබීමක් හෝ අවම වීමක් ඇතිවිය හැකිය. මෙහිදී උභයචාරි යෝග යෙදෙන්නේ රවිගෙන් දෙවැන්නේ බුධ සිකුරු සිටීමෙන් සහ රවිගෙන් 12 වැන්නට බලවත් ගුරුගේ රාශි දෘෂ්ටිය වැටීමෙනි.