බාධක බිඳ ඉදිරියටම යන මකර ලග්න හිමියෝ

ඔක්තෝබර් 18, 2024

මිනිසා හා ඡ්‍යොතිෂය අතර පවතින්නේ අන්‍යෝන්‍ය සබඳතාවක්. එනිසාම අද බොහෝ දෙනා ඡ්‍යොතිෂයට අනුව විවිධ සුබ මුහර්ත සකසා ගනිමින්, තම දෛනික කටයුතු සාර්ථක කර ගන්නට උත්සාහ කරනවා. අද තරු ගැන කියන තරු පවසන්නේ, ඡ්‍යොතිෂය පිළිබඳ උනන්දුවක් දක්වන මකර ලග්න හිමි ඔබ ගැනයි.

මකර ලග්නයෙන් උපන් තැනැත්තන් බහුතරයක් සිහින් සිරුරකට හිමිකම් කියනවා. බලය ලබා ගැනීමට ද ආශා කරනවා. ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමටද පසුබට නොවන අයද වනවා. තමන්ට ලැබුණු රාජකාරිය දේවකාරිය මෙන් ඉටු කරන්නටද මොවුන් දක්ෂයි. ඒ වගේම තමාගේ වාසිය පිණිසම වැඩ කරන ගතියත් අන් අයට සාපේක්ෂව ඉහළින් බලපවත්වනවා. ඕනෑම බාධකයක් දරාගෙන නොපසුබස්නා උත්සාහයෙන් ජයග්‍රහණය කරා ගමන් කරන මකර ලග්න හිමියන් පාලනයෙහි දක්ෂ පුද්ගලයන් ද වනවා. කම්මැළිකමින් කාලය ගත නොකරන මොවුන් කතාවෙහි දක්ෂ පුද්ගලයන්ද වෙනවා.

රාශි චක්‍රයේ දහවැනි රාශිය වූ මකර ලග්නය හිමි ලොව ප්‍රකට දේශපාලනඥයන් රාශියක් සිටිනවා. අමෙරිකා එක්සත් ජනපදයේ 37 වැනි ජනාධිපතිවරයා වූ රිචඩ් නික්සන් මහතාට හිමි වූයේ මකර ලග්නයයි. කාර්යබහුල දිවි පෙවෙතක් ගත කළ ඔහුට දේශපාලන දිවියේ අනේක විධ අභියෝගයන් ජයගන්නට මකර ලග්නය බලපෑ බව ඡ්‍යොතිෂවේදීන්ගේ මතයයි.

එසේම කැනේඩියාවේ 23 වැනි අගමැති ජස්ටින් ටෲඩෝ ජන්මය ලබන්නේත් මකර ලග්නයෙන්. ඒ 1971 දෙසැම්බර් මස 25 වැනිදා . 2013 වසරේ සිට ලිබරල් පක්ෂයේ නායකයා ලෙසින් සේවය කරන මෙතුමාට දක්ෂ දේශපාලනඥයකු ලෙස නැඟී සිටීමට මකර ලග්නයේ ආලෝකය ලැබුණා. මකර ලග්න හිමියෙකු සතු පාලනයෙහි දක්ෂතාව මෙතුමාගේ ක්‍රියාකාරකම් තුළින් දිස්වන බවයි ඡ්‍යොතිෂවේදීන් පවසන්නේ.

බොලිවුඩ් සිනමාව බොහෝ අවස්ථාවලදී සුන්දර වී ඇත්තේ, රංගන ශිල්පීන් තුළ පවත්නා රංගන කෞශල්‍යය නිසයි. බොලිවුඩ් සම්මානලාභී බොහෝ නළු නිළියන් මකර ලග්නයෙන් ජන්මය ලබා තිබෙන බව ඔබ අසා ඇති. එහිදී බොලිවුඩයේ සිටින ජනප්‍රියතම මෙන්ම දක්ෂතම රංගන ශිල්පියෙකු තමයි අනිල් කපූර් කියන්නෙත්.

1956 දෙසැම්බර් මස 24 වැනිදා මකර ලග්නයෙන් උත්පත්තිය ලබන අනිර් කපූර් මේ වන විට වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට සියයකට වැඩි ගණනකට රංගනයෙන් දායක වී තිබෙනවා.

පෞද්ගලික ජීවිතයේ මෙන්ම රංගන ජීවිතයේ සාර්ථකත්වය හඹා යෑමට මකර ලග්නය ඉවහල් වූ බව ඔහුගේ විශ්වාසයයි.

තරුණියන්ගේ නොමඳ ආකර්ෂණයට පත් බොලිවුඩ් නළු සල්මන් ඛාන් 1965 දෙසැම්බර් මස 27 වැනිදා උත්පත්තිය ලබනවා. ඔහුද ජයග්‍රහණය කරා හඹා යන මකර ලග්න හිමිකාරයෙක්. 2015 සිට 2018 දක්වා ලොව ඉහළම වැටුප් ලබන කීර්තිමත් පුද්ගලයන්ගේ නම් ශ්‍රේණිගත කිරීම්වලදී ඔහුගේ නම ද ඉහළින්ම තිබුණා. රසාලිප්ත ගීත ඇතුළත් 90 දශකයේ බිහිවූ බොහෝ බොලිවුඩ් චිත්‍රපට තුළින් ඔහුගේ ප්‍රතිභාපූර්ණ රංගන කෞශල්‍යය දැකගත හැකියි. මකර ලග්නයේ බලපෑම ඔහුගේ සාර්ථක රංගන ජීවිතයට උපකාරී වූ බව නිසැකයි.

බොලිවුඩයේ බොහෝ දෙනා කතා බහ කරන කඩවසම් නළු රිතික් රෝෂන් චර රාශියක් වූ මකර ලග්නයෙන් ජන්මය ලබන්නේ 1974 ජනවාරි මස 10 වැනිදා. මකර ලග්න හිමියකුට ආවේණික ගති ගුණ ප්‍රකට කරන ඔහුගේ වෘත්තීය ජීවිතයේ බොහෝ කඩඉම් ජය ගන්නට මකර ලග්නයේ ආලෝකය ලැබූ බව ඔහුගේ විශ්වාසයයි.

විද්‍යා බාලන් කියන්නේත් රාශි චක්‍රයේ මකර ලග්නය බොලිවුඩ් තරුවල සාර්ථකත්වයට හේතු වූ බවට කදිම නිදසුනක්. ඉන්දීය සිනමාවේ ප්‍රබල කාන්තා චරිතවලට පණ පෙවූ ඇයගේ රංගන කෞශල්‍යය ඉහළ ගණයේ එකක්. සම්මානලාභී නිළියක වන ඇයගේ රංගන කෞශල්‍ය දැක ගන්න පුළුවන් චිත්‍රපට රැසක් ඔබ නරඹා ඇති.

බොලිවුඩයේ සිහින තාරකාවිය ලෙසින් හඳුන්වන දීපිකා පදුකෝන් 1986 ජනවාරි 05 වැනිදා ජන්මය ලබන්නේ මකර ලග්නයෙන්. අන්තර්ජාතික නිරූපිකාවක , ඉන්දියානු නිළියක, සමාජ ක්‍රියාකාරිනියක වන ඇය ඉන්දියාවේ වැඩිම වැටුප් ලබන නිළියන් කිහිප දෙනාගෙන් කෙනෙක්. ඕම් ශාන්ති ඕම් සිනමා පටයෙන් බොලිවුඩයට පා තැබූ දීපිකාගේ ජන්ම පත්‍රය ඉතා බලවත් එකක් යැයි ඡ්‍යොතිෂවේදීන් පවසනවා. දීපිකා පදුකෝන්ගේ ග්‍රහ පිහිටීම්වලට අනුව ඇය තමා තෝරා ගන්නා ක්ෂේත්‍රයේ ඉදිරියටම යන බවයි ඡ්‍යොතිෂවේදින් පවසන්නේ.

පුංචි තිරයේ අපට හමුවන ශ්‍රී ලාංකේය නිළි අශිකා මතසිංහ අප කවුරුත් දන්නා ආකර්ෂණීය නිළියක්. ඇය ජන්මය ලබන්නේත් මකර ලග්නයෙන්. වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ වී පසුව මල්සර ගීතය, සසර සෙවණැලි, හේඩි, ජානු ආදී ටෙලි නාට්‍ය ඇයගේ රංගනයෙන් ඔපවත් වුණා. වෘත්තීය ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද සාර්ථක කරගන්නට ඇයට මකර ලග්නයේ ආලෝකයේ ලැබූ බව නිසැකයි.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ප්‍රවීණයකු මෙන්ම ගුරුවරයකු වන ආචාර්ය ජී. එම් ගුණපාල මහතා ද උපත ලබන්නේ මකර ලග්නයෙන්. ඒ 1944 සැප්තැම්බර් මස 2 වැනිදා. 1960 ජූනි මස 10 වැනිදා ඡ්‍යොතිෂය හැදෑරීමට අත්පොත් තබන මෙතුමාටත් එම ශාස්ත්‍රයේ හිනිපෙත්තටම ගමන් කිරීමට තම ලග්න වාසනාව බලපෑ බව නොරහසක්.

මෙසේ ඔබේ ජීවිතයට සැලකිය යුතු බලපෑමක් කරන ලග්නවල ස්වභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම තුළින් ඔබේ පෞද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතය සාර්ථකව සකසා ගැනීමට ඔබටත් පුළුවන්.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.