කාලගුණය විපරීත කරමින් බුධ වෘශ්චික රාශිගත වෙයි

ඔක්තෝබර් 18, 2024

ග්‍රහ මඬුල්ලේ ඥානකාරකයා වන බුධ ග්‍රහයා ඔක්තෝබර් මස 29 වැනි අඟහරුවාදා රාත්‍රී 11.38ට විශ්ව කේන්දරයේ 8 වැන්න වූ වෘශ්චික රාශියට පිවිසෙයි. එය ලග්න රැසකට සුබපල ගෙන දෙන ග්‍රහ ගමනක් වන්නේය. විශේෂයෙන් බුධගේ මහ දශාව හෝ අතුරු දශාවක් ගෙවන බොහෝ ලග්න හිමියන්ට මෙමඟින් සුබපල උදා වේ. උත්පත්ති කේන්දර සටහනේ බුධ ග්‍රහයා බලවත්ව ද බුධට ගෝචරයෙන් ශුභඵල දෙතැයි සැලකෙන 2,4,6,8,10,11 යන භාවයක ලග්නයෙන් හෝ සඳුගෙන් මෙකී බුධ ගෝචරය වන, බුධ ග්‍රහයා යෝග කාරක වන වෘෂභ, සිංහ, කන්‍යා, තුලා, මකර, කුම්භ ලග්නවලින් ජන්ම ලාභය ලබා ඇති ජන්මීන්ට අනෙකුත් ලග්නවලින් උපන් ජන්මීන්ට වඩා බොහෝ සුබපල භුක්ති විඳිය හැකි වන්නේය.

බුධගේ වෘශ්චික රාශි ගෝචරය මෙරටට බලපාන ආකාරය ගැන සලකා බලන කල ආපෝ හෙවත් ජල රැසක බුධ ග්‍රහයාගේ ගෝචරය වීම අප රටට අන් කාලවලට වඩා දැඩි වර්ෂාපතනයක් ලැබීමට හේතුවන අතර ගංගා, ඇළ දොළ පිරී ඉතිරී යෑමද ඇතැම් පළාත්වලට ගංවතුර තර්ජන, නාය යෑම් ඇති වීමද සිදු වේ. එකී ස්වභාවික විපත් හේතු කොට ගෙන මිනිස් ජීවිත දේපළ හානි ද සිදුවිය හැකි සමයකි.

පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වැඩි දියුණුූව සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද ඡ්‍යොතිෂයට අනුව පෙන්වා දිය හැකිය.

වෘශ්චික රැසට සැපත්වන බුධ ග්‍රහයා නොවැම්බර් මස 26 වැනි අඟහරුවාදා උදේ 8.13ට එහි වක්‍ර වේ. එසේ වෘශ්චික රාශියේ වක්‍රවන බුධ ග්‍රහයා දෙසැම්බර් මස 16 වැනි සඳුදා අලුයම 2.28ට එහි නිවෘත වේ. එසේ නිවෘතව ඍජු ගමනක යෙදෙන බුධ ලබන වසරේ ජනවාරි මස 4 වැනි සෙනසුරාදා දහවල් 12.04ට ධනු රාශි ගතවේ. මෙසේ මාස 2යි දින 6ක් වෘශ්චික රාශියේ බුධ ග්‍රහයාට ගෝචරය වන හෙයින් බුධ ග්‍රහයාගේ වෘශ්චික රාශිගත පලවිපාක රටටත්, ලෝකයටත් ඉතා හොඳින් දැනෙන කාලයක් වනු ඇත.

මේෂ ලග්නය

පාපී ග්‍රහයකු වන 3 - 6 අධිපති කුජ 8 වැන්න වූ වෘශ්චික රාශියේ ගෝචරය වීම උත්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා 6,8,12 යන දුෂ්ට භාවයක පතිතව ඇති මේෂ ලග්න හිමියන් ගේ උත්්පත්තියේ යෙදී තිබුණු හර්ෂ නම් විපරීත රාජ යෝගය ක්‍රියාත්මක වීමක් සිදුවන හෙයින් දැනට බුධ මහ දශා අන්තර් දශා ලබා ඇති මේෂ ලග්න හිමියන්ට එකී විපරීත යෝගය සක්‍රිය වීමෙන් සතුරු ප්‍රශ්නවලින් දික්කසාද නඩු මඟින් අන්තිම කැමැති පත්‍රවලින් මූල්‍ය ලාභ හිමි වන්නේය.

 

වෘෂභ ලග්නය

අර්ධ යෝගකාරකත්වයක් උසුලන 2 - 5 අධිපති බුධ 7 වැන්න වූ වෘශ්චික රැසෙහි ගෝචරය වීම, විවාහයෙන් හවුල් ව්‍යාපාර, කලා කටයුතුවලින් ධන ලාභ, ලැබෙන ග්‍රහ ගෝචරයක් වන අතර, තරුණ තරුණියන්ගේ පේ‍්‍රම සම්බන්ධතා ඇති වන කාල සීමාවක් වන්නේය.

 

මිථුන ලග්නය

ලග්නාධිපති හා හතරවැන්න අධිපති බුධ 6 වැන්නා වූ වෘශ්චික රාශිගත ගෝචරය මිථුන ලග්න හිමියන්ට එතරම් ශුභ ඵල ගෙන දෙන ග්‍රහ ගෝචරයක් නොවන නමුත්, මිරිදිය මසුන් ඇති කිරීම, සුරතල් මසුන් ඇති කිරීම, මුදල් පොලියට දීම වැනි ව්‍යාපාර කටයුතුවල නිරත මිථුන ලග්න හිමියන්ට වෙනදාට වඩා මෙකී කාලසීමා තුළ ස්වකීය ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබෙන්නේය.

 

කටක ලග්නය

කටක ලග්නයට 3 - 12 අධිපති බුධ පාපියෙකි. එනමුත් ඥානකාරක ග්‍රහයකු ලෙස බුද්ධි ස්ථානයක් වන 5 වැන්න වූ වෘශ්චික රාශියෙහි ගෝචරය වීම, ප්‍රාථමික මෙන්ම උසස් අධ්‍යාපනය යෙදෙන කටක ලග්න හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට හේතු වන ග්‍රහ බලයක් මෙන්ම විවිධ කටයුතු සඳහා මුදල් ආයෝජනය කර ඇති කටක ලග්න හිමියන් එකී ආයෝජනයන්ගෙන් ලාභ ලැබෙන කාලයක් වන්නේය. එහෙත් සඳු ග්‍රහයා මුල්කරගෙන ඒරාෂ්ටක අපල යෙදී ඇත්නම් මෙකී ශුභ ඵල හීන වන්නේය.

 

සිංහ ලග්නය

සිංහ ලග්න ජන්මීන්ගේ 2 -11 අධිපති බුධ ලග්නාධිපති රවිට සම ග්‍රහයෙකි. ඒ අනුව මෙකී බුධ 4 වැන්න වූ වෘශ්චික රාශියෙහි ගෝචරය වීම ආර්ථික ප්‍රශ්න මත ගේදොර ඉඩකඩම් විකිණීමෙන් සුළු ලාභයක් අත්වෙන කාලසීමාවක් වන්නේය. එමෙන්ම ජන්ම ඒරාෂ්ටකයක් ඇති සිංහ ලග්න හිමියන්ට ස්වකීය රෝගී මෑණිවරුන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා මුදල් වැය වන කාලයක් වන්නේය. සඳු ග්‍රහයා මුල්කොට ගෙන ඒරාෂ්ටක අපලයක් යෙදී ඇත්නම් මෙකී ශුභ ඵල හීන වන්නේය.

 

කන්‍යා ලග්නය

ලග්නය සහ10වැන්න අධිපති බුධ කන්‍යා ලග්නයට යෝග කාරක ග්‍රහයකු වන අතර, ඒ අනුව මෙකී බුධ 3 වැන්න වූ වෘශ්චික රාශියෙහි ගෝචර ගමන කන්‍යා ලග්න කලාකරුවන් සහ කලාකාරියන්ට ස්වකීය කලා කටයුතුවලින් වෙනදාට වඩා අතමිට සරුවන කාලයක් වන අතර, ලේඛක ලේඛිකාවන්ට, ජනමාධ්‍යවේදීන්ට, ස්වකීය දක්ෂතාවයන් සඳහා සම්මාන සහතික මුදල් විවිධ දීමනා ලැබෙන කාලයක් වන්නේය. එමෙන්ම, සිසිල්බීම, ප්‍රණීත ආහාර අලෙවි කරන ජංගම වෙළෙඳුන්ට ස්වකීය වෙළෙඳ කටයුතුවලින් වෙනදාට වඩා අතමිට සරුවන ලාභ ලැබෙන කාලයක් වන්නේය.

 

තුලා ලග්නය

අර්ධ යෝගකාරක ග්‍රහයකු වන 9 - 12 අධිපති බුධ ග්‍රහයා 2 වැන්න වූ වෘශ්චික රාශියේ ගෝචරය වීම වෙනදාට වඩා බැංකු වැනි විවිධ මූල්‍ය ආයතනවල තැන්පත් කර ඇති මුදල් තැන්පතු ඉහළ යෑමට මෙන්ම රැකියා, ව්‍යාපාර කටයුතුවලින් උපයන ධනය වෙනදාට වැඩියෙන් තැන්පත් කිරීමට හිතදෙන කාලයක් වෙයි. වෙනදාට වඩා මුහුණේ දීප්තිමත් ප්‍රසන්න ගතියක් ඇතිවීමට ප්‍රණීත ආහාරපාන නිතර ලැබෙන පවුලේ පී‍්‍රතිය, සමගිය, සමාදාන වර්ධනය වන කලක් වන්නේය.

 

වෘශ්චික ලග්නය

ලග්නයෙන් 8 -11 අධිපති බුධ ලග්න අධිපති අඟහරුට සතුරු ග්‍රහයෙකි. ඒ අනුව බුධ මහ දශා අතුරු දශා ලබා ඇති වෘශ්චික ලග්න ජන්මීන්ට ලග්නයේ දිග්බලව බුධ ගමන් කිරීම උසස් අධ්‍යාපන කටයුතු දියුණුවීමට හේතු වන ග්‍රහ ගෝචරයක් වන මුත්, බුධ මහ අතුරු දශා ලබා ඇති වෘශ්චික ලග්න හිමියන්ට සඳු ග්‍රහයා මුල්කරගෙන ඒරාෂ්ටක අපලයක් ලබා ඇත්නම් උසස් අධ්‍යාපන කටයුතු අසාර්ථක වන්නේය. එසේම ව්‍යාපාර කටයුතුවල යෙදෙන වෘශ්චික ලග්න හිමියන්ට සඳු කේන්ද්‍ර කොටගෙන ඒරාෂ්ටක අපලයක් යෙදී ඇත්නම් ව්‍යාපාර කටයුතු අසාර්ථක වීමටත්, ඒරාෂ්ටක අපලයක් නොමැති නම් ව්‍යාපාර කටයුතුවලින් වෙනදාට වඩා ලාභ ලැබීමටත් මෙකී බුධ ග්‍රහයාගේ වෘශ්චික රාශි ගමන හේතු වන්නේය.

 

ධනු ලග්නය

බාධක ස්ථානාධිපති බුධ ග්‍රහයා 12 වැන්නවූ වෘශ්චික ලග්නයේ ගමන් කිරීම උත්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයන් පාප පීඩිතව දැනට බුධ ග්‍රහයාට අයත් මහා දශා අතුරු දශා ලබා ඇති සඳු ග්‍රහයා කේන්ද්‍ර කොටගෙන ඒරාෂ්ටක අපල ලබා ඇති ධනු ලග්න කේන්දර හිමියන්ට දැඩි අශුභ ඵල ගෙන දෙයි. එවන් ග්‍රහ පිහිටීමක් උත්පත්ති කේන්දරයේ යෙදී ඇති ධනු ලග්න හිමියන්ට රැකියා, හවුල් ව්‍යාපාර කටයුතු, යුග ජීවිතය සම්බන්ධයෙන් අයහපත් ප්‍රතිවිපාක ඇති වන අතර ශාරීරික වශයෙන් මූත‍්‍ර රෝග, වකුගඩු සම්බන්ධ රෝග, ලිංගාශි‍්‍රත රෝග ඇති වන්නේය. එහෙත් උත්පත්ති කේන්දරයේ බුධ ග්‍රහයා පාප පීඩිත වී නැති, ඒරාෂ්ටක අපල නැති දැනට බුධ ග්‍රහයාට අයත් මහ දශා, අතුරු දශා ලබා ඇති ධනු ලග්න හිමියන්ට ශුභ- අශුභ මිශ්‍ර සම පලයක් ඇති කරන්නේය.

 

මකර ලග්නය

කේන්දරයේ 6 - 9 අධිපති බුධ අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. මෙකී අර්ධ යෝගකාරක බුධ ග්‍රහයා උපචය භාවයක් වන 11 වැන්නෙහි ගමන් කිරීම ශුභ වන්නේ දැනට සඳු ග්‍රහයා මුල් කොට ගෙන ඒරාෂ්ටක අපලයක් යෙදී නොමැති උත්පත්තියේ බලවත්ව පිහිටා ඇති බුධ ග්‍රහයාට අයත්වන දශා අන්තර් දශා ලබා ඇති මකර ලග්න හිමියන්ටය. ඒ අනුව එවන් ග්‍රහ පිහිටීමක් ඇති මකර ලග්න හිමියන්ට හවුල් ව්‍යාපාර කටයුතුවලින්, රැකියා කටයුතුවලින්, මුදල්, පොලියට දීමෙන්, විවාහයෙන්, මූල්‍ය ලාභ අත්වන කාලයක් වන්නේය. එහෙත් බුධ ග්‍රහයා උත්පත්ති කේන්දරයේ පාප පීඩිත වී ඇති විටදී දැනට සඳු ග්‍රහයා මුල්කරගෙන ඒරාෂ්ටක අපල යෙදී ඇත්නම් ඉහත කී කරුණු සම්බන්ධයෙන් අයහපත් ප්‍රතිවිපාක ඇති කරන්නේය.

 

කුම්භ ලග්නය

කුම්භ ලග්නයට 5,8 අධිපති බුධ අර්ධ යෝගකාරක ග්‍රහයෙකි. ඒ අනුව උප්පත්ති කේන්දරයේ බුධ බලවත්, දැනට බුධ ග්‍රහයාට හිමි මහ දශා අන්තර් දශා ලබා ඇති දැනට සඳු ග්‍රහයා මුල්කරගෙන ඒරාෂ්ටක අපල නැති කුම්භ ලග්න හිමියන්ට මෙකී බුධ 10 වැන්න වූ වෘශ්චික රාශියේ ගමන් කිරීම රැකියා ව්‍යාපාර කටයුතු උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීමට හේතුවන ග්‍රහ ගෝචරයක් වන්නේය. උත්පත්තියේදි බුධ ග්‍රහයා දුර්වලව පාප පීඩිතව ඇත්නම් සඳු ග්‍රහයා කේන්ද්‍ර කොට ගෙන ඒරාෂ්ටක අපලයක් යෙදී ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති කුම්භ ලග්න හිමියන් ඉහත කී කාරණා සම්බන්ධයෙන් අශුභපල ඇති කරන්නේය.

 

මීන ලග්නයට

බාධක ග්‍රහයා වන බුධ 9 වැන්න වූ වෘශ්චික රාශියේ ගමන් කිරීම උත්පත්ති කේන්දරයේ බුධ පාප පීඩිත, සඳු ග්‍රහයා මුල්කරගෙන ඒරාෂ්ටක අපල යෙදී ඇති ඔබට ධන හානි සහ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමටත් විදේශ රටවල් සමඟ කරන හවුල් ව්‍යාපාර කටයුතුවලින් පාඩු ලැබීමටත් පියා වැනි වැඩිහිටියන් සමඟ මතභේද ඇති කිරීමටත් භාග්‍ය හීන කිරීමටත් හේතුවන මුත්, බුධ ග්‍රහයා උත්පත්තියේ පාප පීඩිත වී නැති දැනට සඳු ග්‍රහයා මුල්කරගෙන ඒරාෂ්ටක ලබා නැති මීන ලග්න හිමියන්ට ඉහත කී කාරණා සම්බන්ධයෙන් අශුභඵල උදා නොකරන අතර ශුභ- අශුභ මිශ්‍ර සම ඵලයක් ඇති කරන්නේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.