ප්‍රබල ඒරාෂ්ටක මඬින පිළිවෙතක්

ජූලි 19, 2024

සමහර ඒරාෂ්ටක කාල වකවානුවලදී බලාපොරාත්තු රහිත සුබ ප්‍රතිපල ලැබීමට තවත් හේතුවක් ලෙස එම කාලවකවානු තුළ අන් කාලවලට වඩා විශාල ලෙස වත්පිළිවෙත් සිදු කිරිමද දැක්විය හැකිය. උදාහරණ ලෙස ප්‍රභූ දේශපාලනඥයන් හට ඔවුන්ගේ ඡ්‍යොතිර්වේදීන් විසින්, මැතිවරණ සමයේ ප්‍රබල ඒරාෂ්ටක පවතින විට, විශාල ලෙස වත්පිළිවෙත් නිර්දේශ කරන බව අපි අසා ඇත්තෙමු.

ඒ අනුව එම වත්පිළිවෙත් ශාන්තියක් නොහොත් ආශිර්වාදයක් බවට පත් වී තදබල ඒරාෂ්ටක වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පත්වන බවට අනුමාන කළ හැකිය. තවද කවුරුන් කෙසේ පැවසුවද රාජ්‍ය නායකත්වයට පත්වීම නිසා යම් අයෙකුගේ වගකීම් වැඩිවීම තුළ එය ‘කටු ඔටුන්නක්’ බවට පත් වී පීඩාකාරී මානසික තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇත.

පසුගිය සතියෙහිදී මා ඒරාෂ්ටක කාල සීමාවන් තුළ ලැබූ තවත් පෞද්ගලික අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන ලද අතර ඒ අනුව, ඉතා අහම්බයෙන් මගේ අධ්‍යාපනය ලැබූ පාසල මාරු කිරීමට සිදු වූ බව හෙළි කරන ලදී. ඒරාෂ්ටකවල ඉතා අහඹු සිදුවීම් සිදු වන බව අප මීට පෙර ද උදාහරණ සහිතව පෙන්වා දී ඇත. තවද මේ කාල සීමාව තුළ මා හට දිනපතා පාසල් යාමට සිදු වීම නිසාද සති අන්තයෙහි පෞද්ගලික පන්තිවලට සහභාගි වීමට සිදු වීම නිසාද බෙහෙවින් කාර්යබහුල වීමට සිදුවිය. එනම්, සතියේ දින පහේම උදෑසන පහයි තිහට පමණ නිවසින් පිටත් වන මා හට නැවත නිවසට ඒමට හැකි වූයේ රාත්‍රී හතටත් පසුවය. තදබල ඒරාෂ්ටක කාලවල බෙහෙවින් කාර්යබහුලවීමට සිදුවන බව අප මීට කලින්ද පෙන්වා දි ඇත. එමෙන්ම උසස් පෙළ හැදෑරීමට ගිය විදුහල තුළ පන්ති නායක තනතුරු, විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ තනතුරු, විවාද කණ්ඩායම තුළ සාමාජිකයෙකු වීම, කථික සංගමයේ තනතුරු දැරීම වැනි විෂය බාහිර කටයුතුවල යෙදීමට ද මා හට සිදු විය. තවද අලුත් පාසලක් තුළ, අලුත් පරිසරයක් තුළ වාසය කිරීමට සිදුවීම නිසා මගේ සිත තුළ හේතුවක් නොමැති බියක්ද පැවතුණි. කෙසේ වෙතත්, නව පාසලට ඇතුළත් වීම නිසා මා හට රත්නපුර නගරය සහ ඒ අවට විශාල පිරිසක් අලුතින් හඳුනාගත හැකි විය. මා මෙම තොරතුරු සියල්ල හෙළි කරන්නේ ඒරාෂ්ටක කාල වකවානු තුළ සැබවින්ම සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව පාඨක ඔබට නිවැරැදිව අවබෝධයක් ලබා දෙන්නටය.

මීළඟට මා පසුකාලීනව ඒරාෂ්ටක ගත කරද්දී, ඒරාෂ්ටක කාල සීමාව තුළ ලැබේවි යැයි සිතිය හැකි අසුබ ඵල අවම කර ගැනීමටත් සුබ ඵල වර්ධනය කර ගැනීමටත් කුමක් කළේද යන්න පිළිබඳව සාකච්ඡා කරමි.

සැබවින්ම මේ ඒරාෂ්ටක කාල සීමාව ආරම්භයේ පටන්ම අපගේ නිවසේ මිදුලේ පිහිටි කරාමයකින් ජලය ගෙන යාම සඳහා අසල්වැසි, ඇවිදීමට තරමක් අපහසු, තරමක් මහලු මිනිසෙක් දිනපතාම පැමිණියේ ය. මොහු තනිවම ජීවත් වූ අයෙකු වන අතර මොහුගේ ක්‍රියා කලාපය නිසා මොහු ජීවත් වූ නිවෙසේ අනෙකුත් ඥාතීන්ගෙන් සැලකිය යුතු උදවුවක් නොලැබුණි. එම දිනවල සතියේ වැඩ කරන දින පහේම අගනගරය ආශි‍්‍රතව නේවාසිකව සිටි මම සෑම සති අන්තයකම නිවස බලා ආවෙමි. ඒ අනුව සෑම සෙනසුරාදා දිනකම උදය වරුවෙහි පෙර කී පුද්ගලයා ජලය ගෙන ඒමට එද්දී මට මුණ ගැසුණි. ඒ අනුව සෑම සෙනසුරාදා දිනකම උදෑසන කාලය තුළ මම ඔහුට නිශ්චිත මුදලක් දුන්නෙමි. එම කටයුත්ත මා වසර කිහිපයක් තිස්සේ කළ අතර එයින් ඔහු බොහෝ සතුටට පත්විය. තවද ඔහු මට ආශිර්වාද කළේ ය. මා ඔහුට අදාළ පරිත්‍යාග සිදු කළේ ශනිට අයත් සෙනසුරාදා දිනයක උදෑසන කාලයේ ය. එමෙන්ම ඡ්‍යොතිෂ සාහිත්‍යයෙහි සඳහන් ශනි ග්‍රහයා කකුලක් කොර ගසන මහල්ලෙකුට උපමා කර තිබේ. ඒ අනුව මා මුදල් පරිත්‍යාග කළ පුද්ගලයා ආසන්න වශයෙන් ‘ශනි’ ට සමාන විය. ඒ නිසාදෝ අපගේ නිවෙසේ සාමාජිකයන් සමහර අවස්ථාවලදී ඔහු සෙනසුරාදා දිනයෙහි උදය වරුවෙහි ඈත එනවා දුටු විට අන් ඔයාගෙ සෙනසුරා එනවා යැයි මට විහිළු කරන ලද අවස්ථාද විය. මේ ආකාරයට සෑම සෙනසුරාදා දිනයකම උදය වරුවෙහි ඔහුට යම් මුදලක් පරිත්‍යාග කිරීම නිසා මා හට ඒරාෂ්ටකවලින් ඇති වූ අසුබ ඵල අවම වූ බවද, සුබඵල වර්ධනය වූ බවද මම තදබල ලෙස විශ්වාස කරමි. ඒ අනුව ඔබ දැනට තදබල ඒරාෂ්ටකයක් ගත කරන්නේ නම් ඔබේ ප්‍රදේශයේ තෝරාගත් අසරණයෙකුට සෑම සෙනසුරාදා දිනයකම උදයවරුවෙහි යම්කිසි මුදලක් පරිත්‍යාග කිරීමෙන් පමණක්ම වුවත් ඔබේ අපල දුරු වී යනු ඇත. මා එය අවධාරණය කරන්නේ එහි සත්‍යතාවය මා ප්‍රායෝගික ලෙස අත්දැක ඇති නිසා ය.

කෙසේ වෙතත් මගේ අත්දැකීමේ හැටියට ඒරාෂ්ටක කාල වකවානුව තුළ ලැබෙන සුබ ඵල නියම ලෙසට භුක්ති විඳීමට නම් ඉතා දැඩි අධිෂ්ඨාන ශක්තියක් අවශ්‍යය. එසේ නොවුණහොත් සුබඵල ලැබී එම සුබඵල අමතක වීමටත් පෙර අසුබඵල ලැබෙන්නට පවා ඉඩ ඇත. එනම් සමහර අවස්ථාවලදී දරා ගැනීමට අතිශය අපහසු දුෂ්කරතා පවා ඇති වීමට ඉඩ ඇත. කෙසේ වෙතත් එවැනි අවස්ථාවලදී ඉතා ඉවසීමෙන් කටයුතු කළහොත් අවසානයේ ජයග්‍රහණ ලැබෙනු ඇත. උදාහරණ ලෙස ඒරාෂ්ටක කාලසීමා තුළදී නොකළ වැරැදිවලට චෝදනා එල්ල වීමට සිදුවිය හැකිය. එවැනි අවස්ථාවලදී තමා නිවැරැදිකරු බවට ඔප්පු වන තුරු ඉතා ඉවසීමෙන් කටයුතු කළහොත් පමණක් අවසානයේ ජයග්‍රහණය ලැබේ.

සමහර විට ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වීමට පවා ඉඩපවතියි. උදාහරණ ලෙස තදබල ඒරාෂ්ටකයක් ගත කළ මා දන්නා තැනැත්තෙකුට විරුද්ධව ඔහුගේ රැකියා ස්ථානයේ සාමාජිකයෙක් විසින් පෙත්සමක් යවා තිබුණි. එසේ පෙත්සම යවා තිබුණේ ඔහු රැකියා ස්ථානයෙහි කරන ලද කටයුත්තක් නිසි පරිදි අවසර ලබා නොගෙන කළ බව සඳහන් කරමින් ය.

නමුත් සැබවින්ම ඔහුට රැකියා ස්ථානය තුළ සෑම කටයුත්තක්ම සිදු කළේ සියයට සියයක්ම නිත්‍යානුකූල ලෙසය. ඔහු ක්‍රියා කළ ආකාරය නිවැරැදිය. තදබල ඒරාෂ්ඨක ගත කරන අය තමාට කොයි මොහොතේ හෝ සතුරු බලවේගයක් ක්‍රියාත්මක වීමට ඉඩ ඇතැයි සිතා වඩාත් ආරක්ෂිත ලෙස ජීවත් විය යුතු ය. තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී ප්‍රසිද්ධ පුද්ගලයෙකු මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව සහ තවත් පෞද්ගලික අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට මීළඟ ලිපියෙන්ද බලාපොරොත්තු වෙමි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.