නාඩි ඡ්‍යොතිෂයෙන් 2024 ඔබේ ලග්නයට

ජනවාරි 5, 2024

 

මේෂ ලග්නය

 

මේෂ ලග්න හිමියන්ගේ 2024 වර්ෂය පුරාම සෙනසුරු ග්‍රහයා 11, වැන්නෙත් රාහු 12, වැන්නෙත්,කේතු 6 වැන්නෙත් ගමන් කරයි. ගුරු ග්‍රහයා වර්ෂය ආරම්භයේ සිට මැයි පළමු වැනිදා දක්වා ලග්නයේ ගමන් කරයි ඉන්පසු වර්ෂය අවසානය දක්වාම දෙවැන්නේ ගමන් කරයි. මේ ග්‍රහ ගමනට අනුව.

ගෘහ ජිවිතය :

නෛතික ගැටලු ඇති වීමේ ප්‍රවණතාවක් පෙන්වයි. අප්‍රේල් මාසයෙන් පසු පුජ්‍ය පක්ෂය හා ගුරුවරුන්ගේ දෝෂ දර්ශනයට ලක් විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්න. ආදරය හා විවාහ සබඳතා සාමකාමිව ආදරණීයව ගෙනයා හැකිය.

 

අධ්‍යාපනය :

මැයි මාසය දක්වා ඉතා ඉහළ සුබපල පෙන්වයි. විදේශ අධ්‍යාපනය ලබා ගැනිමට බලාපොරොත්තු වන අයට වර්ෂ පුරා එහි සාර්ථක ප්‍රතිපල ලබාගත හැකිය.

රැකියාව :

ඉතා හොද වර්ෂයකි කෘෂිකර්මය, පතල්, කර්මාන්තය, විද්‍යා හා තාක්ෂණ, පර්යේෂණ අංශවල, මහජන සේවාවල නිරත වුවන්ට ඉහළ ප්‍රතිපල ගෙන දෙනු ඇත. සෙසු අයට ද යහපත්ය.ජුලි මුල සිට නොවැම්බර් මැද භාගය දක්වා ආදායම් මාර්ගවල අඩුවිමක් පෙන්වයි. රැකියා ප්‍රශ්න ගැටලු ඇති විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කිරීම යහපත් වනු ඇත.

සෞඛ්‍යය :

අප්‍රේල්, මැයි මාසවල පාදවලට අනතුරු, අසනීප ඇති විය හැකිය. නාවික, ගුවන් හා විදේශ සම්බන්ධ රැකියා කරන අය පරෙස්සම් විය යුතු කාලයකි.

බෝධි පුජා තබා සෙත්ශාන්ති ලබාගන්න.

තමන් පිළිගන්නා ආගමකට අනුව ශුද්ධ වු උසස් අයගේ ආශිර්වාදය ලබා ගන්න.

 

 

වෘෂභ ලග්නය

 

වෘෂභ ලග්න හිමියන්ගේ වර්ෂය පුරා සෙනසුරු 10 වැන්නෙත්, රාහු 11 වැන්නෙත්, කේතු 5 වැන්නෙත් ගමන් කරයි. මැයි 1 වනදා වෙනතුරු 12 වැන්නේ ගමන් කරන ගුරු ග්‍රහයා ඉන්පසු වර්ෂය අවසාන වනතුරු ලග්නයේ ගමන් කරයි.මේ ග්‍රහ පිහිටිම් අනුව.

 

ගෘහ ජිවිතය :

අප්‍රේල් මාසයෙන් පසු ආදර සම්බන්ධතා විවාහ ස්ථිරවීම් පෙන්වයි. මංගල යෝග උදාකරන කාලයක් වේ. හවුලේ කරන කටයුතු වලට සුබයි.

 

අධ්‍යාපනය :

වසරේ මුල් මාස කිපය යම් යම් බාධා ඇති වුවත් අප්‍රේල් මාසයෙන් පසු අධ්‍යාපනයට උසස් සුබපල පෙන්වයි.

රැකියාව :

රැකියා ව්‍යාපාරවලට හොඳ වර්ෂයකි. හදිසි ධන ලාභ පෙන්නුම් කරයි. මහන්සියේ තරමට උසස් ප්‍රතිඵල ලබාගත හැකිය. උසස්වීම් බලාපොරොතුවෙන් සිටින වෘෂභ ලග්න හිමියන්ට ඵලදායි වර්ෂයකි.

 

සෞඛ්‍යය:

වර්ෂය ආරම්භයේ සිට පෙබරවාරි මුල් සතිය තෙක් හදිසි අනතුරු තුවාල ඇතිවිය හැකි බැවින් පරෙස්සම් වීම සුදුසුය. සෙම් රෝග ඇතිවේ.

ඖෂධ සමඟ ගිලම්පස පුජාකර බෝධි පුජා පවත්වන්න. තම තමන්ගේ ආගමේ හැටියට ආගමික ආශිර්වාදය ලබාගන්න.

 

 

මිථුන ලග්නය

 

මිථුන ලග්න හිමියන්ගේ වර්ෂය පුරා සෙනසුරු 9 වැන්නේ, රාහු 10 වැන්නේ,කේතු 4 වැන්නේ ගමන් කරයි. මැයි 1 දා දක්වා 11 වැන්නේ ගමන් කරන ගුරු ඉන්පසු වර්ෂය පුරාම 12 වැන්නේ ගමන් කරයි. මේ ග්‍රහ පිහිටිම් අනුව.

 

 

ගෘහ ජිවිතය :

රැකියා ,විවාහය සම්බන්ධ නෛතික ප්‍රශ්න ඇති වේ. හවුලේ කරන කටයුතු අවුල් විමට හැකි බැවින් කල්පනාකාරිව වැඩ කරන්න.

අධ්‍යාපනය :

අප්‍රේල් මාසය දක්වා ඉතා සුබ පිහිටිම් ඇත.විභාගවලින් ජයග්‍රහණය ලැබේ. ජුලි සිට නොවැම්බර් දක්වා උසස් අධ්‍යාපනයට බාධා ඇති කරයි.

රැකියාව :

රැකියාව නිතර වෙනස්කම්වලට භාජනය විය හැකිය. සංචාරය කරමින් කරන රැකියාවලට සුබයි. අප්‍රේල්, මැයි මාසවල රැකියා හා ව්‍යාපාර කටයුතුවල ගැටලු ඇති විය හැකි බැවින් අවධානයෙන් පසුවන්න.

සෞඛ්‍යය:

පෙබරවාරි, මාර්තු මාසවල හදිසි අනතුරු සිදු වීමට ඉඩ ඇත. පපුව ආශ්‍රිත සෞඛ්‍ය ප්‍රශ්න ඇති වීමේ ප්‍රවණතාව වැඩිය.

බදාදා දිනවල ඖෂධ ගිලම්පස සහිත බෝධි පුජා තබන්න. තමන්ගේ ආගමානුකූල වතාවත්වල යෙදෙන්න.

 

කටක ලග්නය

 

කටක ලග්න හිමියන්ගේ වර්ෂය පුරාම සෙනසුරු 8 වැන්නේද,රාහු 9 වැන්නේද, කේතු 3 වැන්නේද ගමන් කරයි. මැයි 1 දක්වා 10 වැන්නේ ගමන් කරන ගුරු ග්‍රහයා ඉන්පසු වර්ෂය පුරා 11 වැන්නේ ගමන් කරයි. මේ ග්‍රහ පිහිටිම් අනුව.

 

 

ගෘහ ජිවිතය :

7 වැන්නාධිපති ශනි 8 වැන්නේ අෂ්ඨම එරාෂ්ඨක බලයෙන් සිටින නිසා විවාහ ජිවිතය තරමක ගැටලු පෙන්වයි. ඉවසිමෙන් කටයුතු කරන්න.

 

අධ්‍යාපනය :

වර්ෂයේ මුල් කාලය අධ්‍යාපනයට සුළු බාධා ඇති වුවත් ඒවා ජයගත හැකිය. අප්‍රේල් මාසයෙන් පසු අධ්‍යාපනයට සුබ පිහිටිම් ඇත.

රැකියාව :

මැයි මාසය දක්වා රැකියා උසස්විම් පෙන්වයි. රැකියා ව්‍යාපාරවල මහන්සි වී වැඩ කිරිමට සිදුවේ. එහි ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත.

සෞඛ්‍යය :

ලග්න අෂ්ඨම එරාෂ්ඨයක් ඇති බැවින් මාර්තු, අප්‍රේල් කාලයේ හදිසි අනතුරු පෙන්නුම් කරයි. අවදානම් වැඩ කිරිමෙන් වළකින්න.

එළිඟිතෙල් පහන්, නිල් මල්, ඖෂධ ගිලම්පස සමඟ බෝධි පුජා තබන්න. තමන්ගේ ආගමානුකූල වත්පිලිවෙත් වල යෙදෙන්න.

 

සිංහ ලග්නය

 

සිංහ ලග්න හිමියන්ගේ වර්ෂය පුරාම සෙනසුරු 7 වැන්නේද,රාහු 8 වැන්නේද, කේතු 2 වැන්නේද ගමන් කරයි. මැයි 1 දා දක්වා 9 වැන්නේ ගමන් කරන ගුරු ග්‍රහයා ඉන්පසු වර්ෂය පුරා 10 වැන්නේ ගමන් කරයි. මේ ග්‍රහ පිහිටිම් වලට අනුව.

ගෘහ ජිවිතය :

අප්‍රේල්, මැයි මාසවල ආදර සම්බන්ධතාවලට ප්‍රශ්න ඇති වීමේ ප්‍රවණතාවක් මතු වෙයි.මානසිකව නොසන්සුන් ගතියක් මතුවෙයි. එම කාලය තුළ විවාහ ජිවිතයේ ද ගැටලු ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න.

 

අධ්‍යාපනය :

මැයි 1 වෙනිදාට පෙර අධ්‍යාපනයේ විශේෂ දියුණුවක් පෙන්වයි. විභාගවලින් උසස් ප්‍රතිඵල ලැබේ. උසස් අධ්‍යාපනයට ඉතා සුබයි.

රැකියාව :

අප්‍රේල් මාසය පමණක් රැකියා හා ව්‍යාපාරවල යම් ගැටලු ප්‍රශ්න පෙන්වයි ඉන්පසු රැකියාවල උසස්විම් ව්‍යාපාර දියුණුවට මඟ පෑදෙයි. වගකීම් මෙන්ම ධනය ද වැඩි වන කාලයකි.

සෞඛ්‍යය :

මානසික ගැටලු ඇති විය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. අප්‍රේල් ,මැයි මාසවල හදිසි අනතුරු, උදරය හා මුත්‍රාශය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය.

සෙනසුරාදා දිනවල බෝධි පුජා තියන්න. ඖෂධ සමඟ ගිලම්පස, වැටකේ මල්, නිල් මල් පුජා කරන්න. තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

 

කන්‍යා ලග්නය

 

කන්‍යා ලග්න හිමියන්ගේ වර්ෂය පුරාම සෙනසුරු 6 වැන්නේද,රාහු 7 වැන්නේද, කේතු ලග්නයේද ගමන් කරයි.මැයි 1 වෙනිදා දක්වා 8 වැන්නේ ගමන් කරන ගුරු ග්‍රහයා ඉන්පසු වර්ෂය අවසානය දක්වා 9 වැන්නේ ගමන් කරයි. මේ ග්‍රහ පිහිටිම් වලට අනුව.

 

ගෘහ ජිවිතය :

විවාහ ජිවිතවල ප්‍රශ්න ගැටලු ඇති විය හැකි බැවින් අවබෝධයෙන් කටයුතු කරන්න. හවුල් වැඩවලට අසුබයි. පදිංචියේ වෙනස්කම් ඇති විය හැකිය. නිවාස දේපළවල නෛතික ගැටලු මතු විය හැකිය. අප්‍රේල්, මැයි මාස ප්‍රවේශමෙන් වැඩ කිරීමට සිතට ගන්න.

 

අධ්‍යාපන :

අප්‍රේල් මාසය දක්වා සුළු බාධා ඇති වුවත් ඒවයින් ජය ගත හැකි වනු ඇත. ඉන්පසු අධ්‍යාපන කටයුතුවලට ඉතා සුබයි. විභාගවලින් උසස් ලෙස සමත් විය හැකිය. උසස් අධ්‍යාපනයට හොඳ වර්ෂයකි.

රැකියාව :

රැකියා හා ව්‍යාපාර කටයුතුවලට රහස් කුමන්ත්‍රණ, සතුරු කරදර ඇතිවේ. හුදෙකලාව රැකියා ව්‍යාපාර කිරිමට සිදුවේ.

සෞඛ්‍යය :

හිසේ කැක්කුම්, වෛරස්, බැක්ටිරියාවලින් සෑදෙන අසනීප වැලඳේ.් අප්‍රේල් මාසයෙන් පසු සෞඛ්‍ය තත්ත්වයේ තරමක යහපත් බවක් පෙන්වයි.

බදාදා දිනවල ඖෂධ ගිලම්පස සමග බෝධි පුජා තබන්න. තමන්ගේ ආගමට අනුව ආශිර්වාදය ලබාගන්න.

 

තුලා ලග්නය

 

තුලා ලග්න හිමියන්ගේ වර්ෂය පුරාම සෙනසුරු 5 වැන්නේද,රාහ 6 වැන්නේද,කේතු 12 වැන්නේද ගමන් කරයි. මැයි 1 දා දක්වා 7 වැන්නේ ගමන් කරන ගුරු ග්‍රහයා ඉන්පසු වර්ෂ අවසානය දක්වා 8 වැන්නේ ගමන් කරයි. මෙම ග්‍රහ පිහිටිම්වලට අනුව.

ගෘහ ජිවිතය :

හවුලේ කරන වැඩවලට මැයි දක්වා සුබපල පෙන්වයි. ඉන්පසු සාමාන්‍ය ලෙස කටයුතු කළ හැකිය. අප්‍රේල්, මැයි මාසවල විවාහය සහ හවුල් කටයුතු සහෝදර හා දේපළ ගැටලු ඇති විය හැකි බැවින් අවබෝධයෙන් කටයුතු කරන්න.

අධ්‍යාපන :

අධ්‍යාපන ජයග්‍රහණ ලබාගත හැකි වසරකි. එහෙත් ජුලි, නොවැම්බර් අතර අධ්‍යාපන කටයුතු වලට සුළු බාධා ඇතිවේ.

රැකියාව :

රැකියාව සාමාන්‍ය පරිදි කරගෙන යා හැකිය.ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකි සමයකි. හවුල් ව්‍යාපාරවලට සුබයි.

සෞඛ්‍යය :

අප්‍රේල් ,මැයි මාසවල කොන්ද, උරහිස් ආශ්‍රිත සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවීමට වැඩි ඉඩක් ඇත.

 

සෙනසුරාදා දින 9 ක් නිල් මල්, එළඟිතෙල් පහන් සමගත්

සිකුරාදා දින 9 ක් සුදු මල්, ඖෂධ ගිලම්පස සමඟ බෝධි පුජා පවත්වන්න. තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න .

 

 

වෘශ්චික ලග්නය

 

වෘශ්චික ලග්න හිමියන්ගේ වර්ෂය පුරා ම සෙනසුරු 4 වැන්නේද, රාහු 5 වැන්නේද, කේතු 11 වැන්නේද ගමන් කරයි. මැයි 1 දා දක්වා 6 වැන්නේ ගමන් කරන ගුරු ග්‍රහයා ඉන්පසු වර්ෂය අවසානය දක්වා 7 වැන්නේ ගමන් කරයි. මේ ග්‍රහ පිහිටිම්වලට අනුව.

 

ගෘහ ජිවිතය :

විවාහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. ආදර සම්බන්ධතාවලට බාධා ඇති විය හැකි බැවින් කල්පනාකාරීව හැසිරෙන්න. වචන භාවිතයෙන් පාඩු සිදු විය හැකි බැවින් කතාවේදී ප්‍රවේශම් වන්න.

 

අධ්‍යාපන :

අප්‍රේල් ,මැයි මාසවල අධ්‍යාපන කටයුතුවලට යම් බාධා ඇතිවේ. වෘශ්චික ලග්න හිමියන් දැඩි කැප කිරිමකින් අධ්‍යාපන කටයුතුවල යෙදිය යුතුයි. එවිට අධ්‍යාපන ජයග්‍රහණ ලබාගත හැකි වනු ඇත.

 

රැකියාව :

වර්ෂයේ මුල් මාසයේ රැකියා ව්‍යාපාර කටයුතු සමාන්‍ය ලෙස කරගෙන යා හැකිය.අප්‍රේල් මාසයෙන් පසු ආදායම් තත්ත්වය ක්‍රමයෙන් වැඩිවේ. රැකී රක්ෂා ව්‍යාපාරවලට හොඳ කාලයක් උදාවේ.

සෞඛ්‍යය :

උදරය, ඇස, කණ, නාසය, මුඛය සම්බන්ධ ගැටලු ඇති විය හැකි කාලයකි.

අගහරුවාදා දිනවල රතු මල්, බ්‍රහස්පතින්දා දිනවල කහ මල් ද ඖෂධ ගිලම්පස සමඟ බෝධි පුජා තබන්න.

තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න .

 

ධනු ලග්නය

 

ධනු ලග්න හිමියන්ගේ වර්ෂය පුරාම සෙනසුරු 3 වැන්නේද, රාහු 4 වැන්නේද , කේතු 10 වැන්නේද ගමන් කරයි. මැයි 1 දා දක්වා 5 වැන්නේ ගමන් කරන ගුරු ග්‍රහයා ඉන්පසුව වර්ෂය පුරා 6 වැන්නේ ගමන් කරයි. මේ ග්‍රහ පිහිටීම්වලට අනුව.

 

ගෘහ ජිවිතය :

විවාහ ජිවිතයට බාධා කරදර ඇතිවේ. හවුලේ කරන වැඩකටයුතු අවුල් විමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අප්‍රේල්, මැයි මාසවලදී මවටත් තමන්ටත් අපල ගෙන දිය හැකි බැවින් කල්පනාකාරී වන්න. දේපළ සම්බන්ධ ප්‍රශ්න ඇති විය හැකි බැවින් අවධානයෙන් පසුවන්න.

 

අධ්‍යාපනය :

අධ්‍යාපන කටයුතුවලට ඉතා හොද කාලයකි.මැයි දක්වා විභාගවලින් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය.

රැකියාව :

රැකියා, ව්‍යාපාර කටයුතුවලට සතුරු කරදර කුමන්ත්‍රණ ඇතිවේ. හුදෙකලාව රැකියා හා ව්‍යාපාරවල යෙදිමට සිදු විය හැකි කාලයකි.

සෞඛ්‍යය :

ආහාර විෂවිම්, උදරයේ වේදනා, පපුව හා ඔළුව කැක්කුම් ඇති වීමේ දැඩි ප්‍රවණතාවක් ඇති බැවින් පරෙස්සම් වන්න.

සෙනසුරාදා දිනවල නිල් මල්, වැටකේ මල් ද , බ්‍රහස්පතින්දා දිනවල කහ මල් හා ඖෂධ ගිලම්පස සමඟ බෝධි පුජා පවත්වන්න.

තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න .

 

මකර ලග්නය

 

මකර ලග්න හිමියන්ගේ වර්ෂය පුරාම සෙනසුරු ග්‍රහයා 2 වැන්නේද ,රාහු 3 වැන්නේද,කේතු 9 වැන්නේද ගමන් කරයි. මැයි 1 දා දක්වා 4 වැන්නේ ගමන් කරන ගුරු ග්‍රහයා ඉන්පසු වර්ෂය පුරා 5 වැන්නේ ගමන් කරයි. මෙම ග්‍රහ පිහිටිම්වලට අනුව.

 

ගෘහ ජිවිතය :

විවාහ ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැකි වනු ඇත. අප්‍රේල් මාසයෙන් පසු ආදර සම්බන්ධතාවලට සුබයි. විවාහ ස්ථිරවීම් පෙන්වයි. අප්‍රේල්, මැයි මාසවල සහෝදරයන් සමඟ අමනාපකම් හා නෛතික ගැටලු ඇති විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්න.

 

අධ්‍යාපන :

අධ්‍යාපනයට හොඳ වර්ෂයකි. අප්‍රේල් මාසයෙන් පසු උසස් අධ්‍යාපනයට ඉතා සුබයි. විදේශ අධ්‍යාපනයක් බලාපොරොත්තුවෙන් සිටින අයට සාර්ථක ප්‍රතිඵල ලැබේ.

රැකියාව :

රැකියා ,ව්‍යාපාරවලට සුබ වර්ෂයක් ලාභ ලබා ගැනීමට හැකියි. ජුලි සහ නොවැම්බර් අතර කාලය තැන්පත් ධනය වියදම් වීමට කරුණු යෙදිය හැකිය.

සෞඛ්‍යය :

ලග්නයෙන් දෙවැන්නේ සෙනසුරු ග්‍රහයා එරාෂ්ඨක අපලයක් උදා කරමින් ගමන් කරන නිසා ප්‍රවේශමෙන් රිය පදවන්න. උරහිස් හා පාදවල ආසාදන තත්ත්වයන් ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී.

සෙනසුරාදා දිනවල වැටකේ මල්, නිල් මල්, එළඟිතෙල් පහන් ද ඖෂධ ගිලම්පස සමඟ බෝධි පුජා තබන්න.

තමන්ගේ ආගමට අනුව ආශිර්වාදය ලබා ගන්න .

 

කුම්භ ලග්නය

 

කුම්භ ලග්න හිමියන්ගේ වර්ෂය පුරා සෙනසුරු ග්‍රහයා ලග්නයේද,රාහු 2 වැන්නේද,කේතු 8 වැන්නේද ගමන් කරයි.මැයි 1 දා දක්වා 3 - වැන්නේ ගමන් කරන ගුරු ග්‍රහයා ඉන්පසු වර්ෂය අවසානය දක්වා 4 වැන්නේ ගමන් කරයි. මෙම ග්‍රහ පිහිටිම්වලට අනුව.

ගෘහ ජිවිතය :

ලග්න එරාෂ්ඨකයෙන් ගමන් කරන සෙනසුරු 7 වැන්න දකි. ඒ නිසා විවාහ ජිවිතවල සුළු මත ගැටුම් ඇති විය හැකි බැවින් අවබෝධයෙන් කටයුතු කරන්න. තැන්පත් ධනය වියදම් වීමට කටයුතු යෙදේ. එහෙත් වරින්වර හදිසි ධන ලාභ ද පෙන්වයි.ජුලි සිට නොවැම්බර් දක්වා කාලය පරිස්සම් සහගතව ගත කළ යුතු වේ.

අධ්‍යාපනය :

කුම්භ ලග්න හිමියන්ට ලග්න එරාෂ්ඨක අපලයක් ඇති බැවින් කම්මැළි, අලසබව මෙන්ම ඔළුවේ බර ගතිය පෙන්වයි. විශේෂ උනන්දුවකින් අධ්‍යාපන කටයුතුවල යෙදිමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.

රැකියාව :

වර්ෂය පුරාම එරාෂ්ඨක අපලය ඇති වුවත් අප්‍රේල් මාසයෙන් පසු රැකියා ව්‍යාපාරවල දියුණුවක් පෙන්වයි.

 

සෞඛ්‍ය :

හිසේ රුදාව, උගුර, කොන්ද ප්‍රදේශවල සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න.

 

සෙනසුරාදා දිනවල නිල් මල්, වැටකේ , එළඟිතෙල් පහන් ද ඖෂධ ගිලම්පස සමඟ බෝධි පුජා තබන්න. කපුටන්ට එළඟිතෙල් මිශ්‍ර කිරිබත් දෙන්න.

තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

 

මීන ලග්නය

 

මීන ලග්න හිමියන්ගේ වර්ෂය පුරාම සෙනසුරු ග්‍රහයා 12 වැන්නේද, රාහු ලග්නයේද, කේතු 7 වැන්නේද ගමන් කරයි. මැයි 1 දා දක්වා 2 වැන්නේ ගමන් කරන ගුරු ග්‍රහයා ඉන්පසු වර්ෂය අවසානය දක්වා 3 වැන්නේ ගමන් කරයි. මෙම ග්‍රහ පිහිටිම්වලට අනුව.

 

ගෘහ ජිවිතය :

වරින්වර විවාහ ජිවිතවල ගැටලු ඇතිවිය හැකි බැවින් අවබෝධයෙන් කටයුතු කරන්න. හවුලේ කරන වැඩ වලට අසුබයි. තමන්ගේ දේපළවල ප්‍රශ්න ඇති විය හැකිය. එම නිසා පොදු තින්දු තිරණවලට අනුව වැඩ කරන්න.

අධ්‍යාපන :

උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කිරිමෙන් එහි ප්‍රතිඵල ලබාගත හැකිය. බාධා මධ්‍යයේ වුව උසස් අධ්‍යාපනයේ සාර්ථකත්වයක් ලබා ගැනිමේ හැකියාව ඇත.

 

රැකියාව :

අප්‍රේල් දක්වා ආදායම්වල කැපී පෙනෙන දියුණුවක් ඇති වේ. රැකියා ව්‍යාපාරවලට හොඳයි. අප්‍රේල් අග සතියේ සිට මැයි මාසය තුළ තනි තිරණ නොගෙන පොදු තිරණ ගැනීම යහපත්ය. අඥාන තිරණ ගැනීමට පෙලඹෙන කාලයක් බැවින් සුදුසු අවවාද අනුව කටයුතු කරන්න.

 

සෞඛ්‍ය :

මානසික ආතතිය, පාදවල තුවාල ඇතිවේ. අප්‍රේල්, මැයි මාසවල තද හිසේ රුදාවක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

සෙනසුරාදා දිනවල නිල් මල්, වැටකේ මල් ද බ්‍රහස්පතින්දා දිනවල කහ මල් හා ඖෂධ ගිලම්පස සමඟ බෝධි පුජා පවත්වන්න. තමන්ගේ ආගමානුකූල ආශිර්වාදය ලබා ගන්න.

 

 

නාඩි ඡ්‍යොතිෂවේදී රාජ්‍ය නැකැත් කමිටු සාමාජික ඡ්‍යොතිෂය සහ මනෝවිද්‍යා උපදේශක

චමීර බියන්විල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.