2024 පුරා ග්‍රහ ගමන ගෙන දෙන සුබ අසුබ ඵල

දෙසැම්බර් 29, 2023

නව වසර ආරම්භය ජනවාරි පළමුවන දින පෙරවරු 06.22 ට හිරු උදාවත් සමඟ පවතින තක්කාල කේන්ද්‍රය වනුයේ ධනු ලග්නය හිමි සිංහ නවාශකයයි. මෙහි රවි සහ කුජ ග්‍රහයින් ලග්නගතව සිටින අතර බුධ ශුක්‍ර ග්‍රහයින් දොළොස් වැන්නේය. ලග්නාධිපති 05 වැන්නේ සිටියත් බුධගේ උප නැකැත් වල පිහිටා ඇත.

මේ අනුව බලන කල විවිධ හේතු නිසා ජන මනස මහත් පීඩාවකට පත්වනු ඇත. ආර්ථික අපහසුතා තවදුරටත් පවතිනු ඇත. කාන්තාවන් කාමාතුරයන්ගේ ගොදුරු බවට පත්වන ග්‍රහ පිහිටීමකි. එයින් තම ජීවිතයද අහිමිවීමට ඇති ඉඩකඩ වැඩි නිසා කාන්තාවන් තම පවුල ගැන මෙන්ම ගෞරවය ගැන ද කල්පනා කර ආර්ථික අගහිතකම් තිබුණත් ඒවා විඳ දරාගෙන බුද්ධියෙන් කටයුතු කළ යුතු කාලයකි. දරුවන්ගේ මනස විකෘති කරන මත්ද්‍රව්‍ය අසභ්‍ය දර්ශන වැනි දෙයට යොදා ගැනීම මොවුන් අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමට තිබෙන අවස්ථා වැඩිය. එනිසා වැඩිහිටියන්, දෙමව්පියන් නිතර දරුවන් ගැන අවධානයෙන් පසුවීම වැදගත් වේ.

මාර්තු 16 වෙනිදා සෙනසුරාදා කුජ ග්‍රහයා කුම්භ රාශියට පැමිණීමත් සමඟ කුජ ශනි ග්‍රහයන් එක්වීම සහ සංයෝගය මත ජනයා කුපිතව කටයුතු කරන ස්වභාවයක් ගත හැකිය.

ලොව පුරා මිනිමැරුම් අපරාධ බහුල වන කාලයකි. ලෝකයේ භයානක යුද්ධ ඇතිවිය හැකිය. මාර්තු 25 වැනිදා කන්‍යා රාශියේ හත නැකතේ දී ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවෙයි. මෙයද ලෝකයට අසුබ තත්ත්වයකි. උසස් තනතුරු දරන්නන්ට හානි පීඩා ඇතිවීම මෙන්ම සමස්ත මිනිස් වර්ගයාට රෝග භය පැතිරෙන කාලයකි.

2024 අප්‍රේල් 8 වෙනි සඳුදා දින පූර්ණ සූර්යක් ග්‍රහණයක් මීන රාශියේ රේවතී නැකතේදී සිදුවේ. එය මුළු මහත් ලෝකයට අසුබ අමිහිරි කාලයක් වනු ඇත. මේ දිනයේ දී විශාල භූ කම්පනයක් ඇතිවිය හැකිය. විශාල සුනාමි වැනි තත්ත්වයක් ඇති වීමට තිබෙන අවස්ථාව ඉතා වැඩි බව ප්‍රකාශ කළ හැකිය. විශාල ජන ජීවිත ප්‍රමාණයක් මෙයින් ලෝකයට අහිමි විය හැකිය.

2024 අප්‍රේල් 08 සදුදා ප.ව 6.17 අසුබ මොහොතක් වනු ඇත. මේ මොහොතේ ආගමික වතාවත්වල යෙදෙන්නේ නම් හොඳයි. ලෝකවාසී සියලු ජනයා ධාර්මික වීම සහ පින් කුසල් වැඩිය යුතු කාලයකි පුංචි සතෙකුගේවත් ජීවිතයකට හානි නොකළ යුතු බව සිතට ගන්න.

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාව අප්‍රේල් 14 දිනට යෙදෙන තක්කාල කේන්ද්‍රයේ නැකැත් පති හා උපස්ථානාධිපති කේතුට අයත් වීම හා රවි ග්‍රහයාගේ නැකැත්පති හා උපස්ථාන අධිපති කේතුට අයත් වීම මත සුබ තත්ත්වයේ අඩුවක් දැකිය හැකිය.

මෙවර සිංහල දෙමළ අවුරුද්ද සතුට අඩු එකක් විය හැකිය. මැයි මස වන විට රටේ අපරාධ වැඩි වීමට කටයුතු සිදුවිය හැකිය. ඒ සඳහා ළමයින්ව යොදාගැනීමේ ප්‍රවණතාවය වැඩී බව පෙනේ.

මිනිමැරුම් වැඩිවේ. මේ කාලයේදී නව සංවර්ධන කටයුතු ගොඩනැගීම් සිදු නොවනු ඇත. වර්ෂයේ මැද භාගය පසුකොට අගෝස්තු පමණ ඡන්දයක් තැබීමට ඉඩ ඇත.

සැප්තැම්බර් මාසය වන විට ලෝකය යුධ ගැටුම් තවත් වැඩි වනු ඇත. ගුවන් යානා වෙඩි ප්‍රහාරවලින් කඩා වැටෙනු ඇත. සැප්තැම්බර් 18 වෙනි දින මීන රාශියේ පුවපුටුප නැකතේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවේ. මෙයද අසුබ තත්ත්වයකි. ජල රාශියේ චන්ද්‍රග්‍රහණය සිදුවීමේ පල විපාක හැටියට පූජක පක්ෂට සිද්ධස්ථානවලට හානි සිදුවීම, ජලය ඇසුරු කරගෙන ජීවනෝපාය කරගෙන යන අයට පීඩා, මංකොල්ලකෑම් ශ්‍රේෂ්ඨයෙකුගේ අභාවය වැනි දේ සිදුවීමට හැකිය.

ඔක්තෝබර් තුන්වෙනි ගුරු දින කන්‍යා රාශියේ හත නැකතේ වලයාකාර සූර්යග්‍රහණයක් ඇතිවෙයි, මේ විපාක වශයෙන් ලෝකවාසී ජනයා කුසගින්නෙන් පීඩා විඳීනු දැකිය හැකි වනු ඇත. නියඟ ඇති වී භෝග විනාශ වී ජලය හිගවී සාගත තත්ත්වයක් ඇතිවිය හැකිය. දූෂිත ක්‍රියා අධික වේ. කලාකරුවන් බන්ධනාගාරගත වීම් පවා අසන්නට සිදුවේ. රටට ද බොහෝ කරදර පීඩා ඇතිවේ. රටේ ප්‍රධානියකුගේ මරණයක් ආරංචි වියහැකි කාලයකි. මෙය මුළු මහත් ලෝකයටම එක සේ බලපානු ඇත.

නොවැම්බර් දෙසැම්බර් මාස වන විට දුර්විපාක අඩුවී රට යම් ස්ථාවර තත්ත්වයක් කරා ගමන් කරනු ඇත.

සමස්තයක් වශයෙන්ම ගත් කල 2024 වර්ෂය ලෝකයටම පීඩාකාරී දේවල් සිදුවන වසරක් බව කිව හැකිය. ලෝ වැසියන් දැඩි ආර්ථික පීඩනයකට පත්වන වර්ෂයකි. එහෙයින් සෑම කෙනෙක්ම තම තමන්ගේ ආගමි අදහගෙන ධාර්මිකව ජීවත්වීමට උත්සාහ ගත යුතු කාලයකි.

 

 

වාස්තු විද්‍යා පර්යේෂිකා

සෙත්කවි රචිකා

ජ්‍යෝතීර් විද්‍යාභූෂණ

වයලට් රාජමන්ත්‍රි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.