රාහු අඹ යහළුවකු කරගනිමු

නොවැම්බර් 3, 2023

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ තාරකා අතර රාහු සහ කේතු දෙදෙනාම තාරකා නොවේ.

 

පෘථිවිය අංශක 23 1/2 ක් ඇල වී ගමන් කරන්නාක් මෙන්ම සඳු හෙවත් චන්ද්‍රයාද අංශක 05ක් ඇල වී ගමන් කරයි. චන්ද්‍රයා පෘථිවිය වටේ යන ගමනේදීත් පොළොව සූර්යයා වටේ යන ගමනේදීත් බලවේග දෙකක් බිඳගෙන යෑමට සිදු වේ. ඒ දෙපස සිදු වන බලවේග දෙක රාහු කේතු නම්වලින් හඳුන්වා තිබේ. නැත්නම් ගමන් මඟේ කැපෙන සන්ධිස්ථානය වනු ඇත. ඡ්‍යොතිෂ විද්‍යාවේ දැක්වෙන පරිදි වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, මකර, කුම්භ යන ලග්නවලට මිත්‍ර වනු ඇත.

කුමන අයුරකින් බැලුවත් රාහුට අලවා ඇති ලේබලය එතරම් ධනාත්මක නොවේ. ඕනෑම කෙනෙකුගේ කේන්දරයේ රාහු ලග්නගතව 01 වැන්නේ සිටී නම්, එයට කැමැති නැත. “රාහු ද ඔළුවෙ ඉන්නේ හරිම නරක යෙදීමක්නෙ රාහු ලග්නයේ සිටීම. තදබලම අපලයක් නේ. ඊට හපන් අවුරුදු 18ක්ම දශාව මෙන්න මේ වගේ” කියුම් අනන්තවත් අපට අහන්න ලැබෙනවා. මේ ගැන ගැඹුරින් විමසා බැලීමේ දී විවිධ කරුණු කාරණා ගැන අදහස් මතු වෙනවා.

දශාවල් ගණනය කිරීමේ දී කුජ දශාවෙන් පසු ලබන්නේ රාහු මහ දශාවයි. දශා දෙකෙහිම එකතුව වසර 25 කි. අඟහරුටත් රාහුටත් ධනාත්මක පැතිකඩක් නොදැක්වේ. සෑම පැත්තකින්ම බලන විට කුජ හෙවත් අඟහරුට දක්වන්නේ බියකි. කුජගේ දශාව ලැබූ විට තව තවත් අසුබ පැති වර්ධනය වේ. රාහු ඊටත් වඩා අසුබ පැත්තට ගණන් ගැනේ.

කන්‍යා, තුලා, මකර, කුම්භ වැනි ලග්න හිමියකු තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබා ගුවන් නියමුවකු වූයේ යැයි සිතමු. සමහර විට කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නයේ පළමුවැන්නේ රාහු ඇත්නම් ස්වක්ෂේත්‍ර වී සිටී. රාහු ග්‍රහයා චිත්‍රණය කර ඇත්තේ ද නයි පෙණයක් ඇතිවය. කුමන පැතිකඩකින් නිරීක්ෂණය කළත් එතරම් සුබවාදී නොවන බැව් පෙනේ. සිකුරු දශාවේ ශේෂය වසර 5ක් තිබියදී උපත ලබා රාහුගේ දශාවේ ආරම්භයේදී එනම් වයස 27දී පමණ නැත්නම් තිස් ගණන්වලදී ගුවන් නියමුවෙක් ලෙස රැකියාවේ යෙදෙන්නේ පුරා වසර 18ක් තුළයි. පොළොව හා ජලය ස්පර්ශ කරන වාහන දෙකට අමතරව කිසිදු ස්පර්ශයක් නොමැතිව ගුවන් තලයේ පියාසර කරන ගුවන් නියමුවාට ග්‍රහ බලවේගය හරහා රාහුගේ බලපෑමක් සිදු වන්නේ කුමන අයුරකින්ද? රාහුගේ දශාව තුළ අතුරු දශා තිබේ. එහෙත් සමස්තයක්ම ගැබ් වී ඇත්තේ රාහු දශාව ඇතුළතය. තවද ලෝ පුරා ගුවන් නියමුවන් සිටිනුයේ ඉතාම අල්ප පිරිසකි. තවත් පැතිකඩක් හරහා බලන විටදී සඳුදා දිනයේ උදේ 07.30 සිට උදේ 9.00 දක්වා රාහු කාලය වේ. සුබ වැඩ අත්හල යුතු යැයි දක්වා ඇත. ගුවන් නියමුවාට ගුවන් ගමන යෙදී ඇත්තේ සඳුදා උදේ 08.30 නම් රාහු කාලයට ඔහු වැඩියෙන් නැඹුරු වන්නේ නම් ඊට පසු සිදු වන්නේ කුමක්ද? කාලෝචිතව එදිනෙදා වැඩකටයුතු කළ යුතුයි.

දකුණු පළාතේ එක්තරා කාන්තාවක් සිය සැමියාට රාහුගේ අපලයක් ඇතැයි බියක් ඇති වූ නිසා එක්තරා ඡ්‍යොතිෂවේදී භික්ෂූන් වහන්සේ නමකගෙන් කේන්දරය පරීක්ෂා කර බැලූ විට මහත්තයට රාහු මහ දශාවේ අතුරු දශාවන් අයහපත් රැකියාවට බාධා පැමිණෙනවා. මේ අපලෙට යන්ත්‍රයක් තියෙනවා. ඒක ජීවම් කරලා බඳින්න කියලා. ගුවන් නියමුවන් යන්ත්‍ර පලඳිනවද මන්දා. ඒක වෙනම කතාවක්.

ඒ නෝනා පවසා ඇත්තේ මහත්තයා ගුවන් නියමුවෙක් කියලා, කතාව එතනින් අවසන් විය.? රාහු ඔළුවේ ඉන්න අයත් රාහුගේ මහ දශාව ලබා ඇති අයත් මේ සියලු දෙනාටම ඔය කියන විපත් අනතුරු හා ජීවිතයේ කඩාවැටීම්, යුගදිවිය අසාර්ථක වීම් සිදු වේද රාහුගේ දශා කාලය තුළදී සිය වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණු වී මහ ධන කුවේරයින් බවට පත්වූ අය ඕනෑ තරම් සිටී. වෙනත් ග්‍රහ කිරණ බලශක්තිය ආරෝහණය වීම හරහා ධනාත්මක පැත්ත තව තවත් වර්ධනය වනු ඇත.

සංගීතඥයින් චිත්‍ර හා මූර්ති ශිල්පීන්, කවියන්, ගත් කරුවන් ප්‍රකට මාධ්‍යවේදීන් (මුද්‍රිත හා විද්‍යුත්) වෛද්‍ය හා ඉන්ජිනේරු, ගණකාධිකාරවරුවන් වැනි ඉහළ තලයේ පුද්ගල චරිත මෙහෙයවා ඇත්තේ රාහු බැව් පැහැදිලි කරුණකි. අසුබ පැතිකඩද ඕනෑ තරම් මිශ්‍ර වීම් තිබේ. ඔය කියන තරම්ම බියකරු නොවේ.

රාහුගේ දශාව දරුවකුට ශිෂ්‍යත්වයට, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ට පෙනී සිටින අවධියේ ලැබූ විට දෙමාපියන් බියවෙන ස්වභාවයක් දක්නට ඇත. යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ආදියට පෙලඹේ. ඒවා කිරීම අයහපත් නොවේ. නමුත් වන්නේ දරුවා සමහර දෙමාපියන් බිය ගන්වන බැව් පෙනේ. කුඩා දරුවන්ගේ මනස තුළට ග්‍රහයින්ගේ හරි වැරැදි ඔළුවට දැමීම එතරම් බුද්ධිමත් නොවේ. කළ යුත්තේ දරුවාගේ මනස හඳුනාගෙන විභාගයට උපදෙස් හා අත්වැලක් සැපයීමයි.

බෝධි පූජා වැනි දෑ කිරීම ඉතා යහපත්ය. බෝ වෘක්ෂයෙන් නිකුත් කරන ළා නිල් පැහැය වර්ණ විද්‍යාව අනුව බලන විට ඉතාම ධනාත්මකයි. නිල් හා රතු සංයෝග වූ විට දම් පැහැය නිකුත් වේ. හිරුගෙන් උදය කාලයේ ප්‍රසාරණය වනු ඇත. අපි මෙතෙක් කතා බහ කළ රාහුට බිය වීම නොව රාහුගෙන් වැඩ සාර්ථක කර ගැනීමට වෑයම් කළ යුතුයි.

අත්බණනයක (හෑන්ඩ් ෆෝන්) ඇතුළත ඇති අඟල් භාගයක ප්‍රමාණයේ (සිම්පත) නිර්මාණය කළ අති දක්ෂ විදුදරයා රාහු කාලයත් රාහු දශාවත් ගැන නොසිතන්නට ඇති. බුද්ධිය මෙහෙයවා තෙවැනි ඇසින් විශ්මිත මෙවලමක් වූ සිම්පත සොයා ගැනීම කෙතරම් අගනේද? අපල නොමැති කෙනෙක් මෙලොව ඉපදී නොමැත. කළ යුත්තේ සියලුම භෞතිකමය යෙදෙන අපලවලට මුහුණදී කාලෝචිතව එදිනෙදා වැඩ කිරීමයි. අවසන් වශයෙන් කිව හැක්කේ රාහුටත් රාහුගේ දශාවටත් බියවීම නොව බුද්ධිගෝචරව කටයුතු කිරීමයි. මේ පිළිබඳ විවිධ මත තියෙන්නට පිළිවන. එය ස්වාභාවිකයි. උකුස්සා පියාඹන්නේ ගුවන් තරංග තුළ ඇති අඩු පීඩන කලාපය ඇසුරු කොට ගෙනය. අපි කළ යුත්තේ රාහු වැනි දශාවලදී උපක්‍රමශීලිව අසුබ පැතිකඩ ඇසුරු නොකොට ධනාත්මකව මනස මෙහෙයවීමයි.

 

 

ඡ්‍යොතිෂවේදී දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.