ජනවාරි මාසයේ උපන් පෞද්ගලික අංක 7,8,9 හිමි ඔබ ගැනයි...

ඔක්තෝබර් 27, 2023

දෙසැම්බර් මස 25 සහ ජනවාරි මාසයේ 7, 16 25 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 7 වන අතර, මොවුන් නැප්චූන්, සඳු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. එම නිසා තමාගේ හෝ තමන්ට පැවැරෙන හෝ ඕනෑම කටයුත්තක් නිසි පරිදි ඉටු කිරීමට දැඩි කැපකිරීමක් කිරීමේ ස්වභාවයක් ඔවුන්ට හිමි වේ. එසේම ඔවුන් බොහෝදුරට තමන්ගේම මානසික ලෝකවල ජීවත් වනු ඇත.

යම් ආගමික නැඹුරුවක් දක්නට ලැබෙන අතර, එහි අසාමාන්‍ය ස්වභාවයක් දැකිය හැකි වේ. සියලු කටයුතු සම්ප්‍රදායික නොවේ. එසේම මේ දිනවල උපන් බොහෝ අය සංචාරය සඳහා විශේෂ කැමැත්තක් දක්වයි. ඒ සඳහා බොහෝ විට මුහුදු සංචාරයන් යොදා ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් දැකිය හැකිය. තවද මේ දිනවල උපන් අය අධිකාරීමය බලයක් ඇති තනතුරු සඳහා නිතැතින්ම තල්ලු වේ.

එසේම මේ දිනවල උපන් පුද්ගලයන්ගේ ආර්ථිකය එතරම් යහපත් නොවේ. මුදල් ඉතිරි කිරීම සිදු නොවේ. මන්ද ඉතිරි කිරීමට තරම් මුදලක් අත ඉතිරි වන්නේ නැත. විවාහය සාර්ථක වුවද විවාහය දිවියට ඇතුළු වීම සඳහා දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවේ. උගුර, පෙණහළු ආශ්‍රිත රෝගාබාධයන් සඳහා වැඩි ඉඩකඩක් ඇති බැවින් විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මන්ද මොවුන්ගේ රෝගයන් හඳුනා ගැනීම පහසු වන්නේ නැත. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම 2, 7, 11, 16, 20, 25 යන දිනයන් හෙවත් අංක 2,7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. කහ පැහැය, කොබෙයියාගේ අළු පැහැය, කොළ ක්‍රීමි සුදු පැහැය ආදි වර්ණයන් සුබ වර්ණ වේ.

ජනවාරි මාසයේ 8, 17 දෙසැම්බර් 26 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර, මොවුන් පෞද්ගලික අංකයට අදාළව සහ මාසයේ බලයෙන් ශනි ග්‍රහයාගේ කම්පනයට යටත් වේ. මාසයේ බලයෙන් සහ උපන් දිනයෙන් ශනි ද්විත්ව ආකාරයෙන් ක්‍රියාත්මක වන හෙයින් මේ දිනවල උපන් පුද්ගලයන්ට බරපතළ වගකීම් දරා ගැනීමට සිදුවේ. විශේෂයෙන් වයස අවුරුදු 4, 8, 13, 17, 22, 26 ආදි වූ අංක 4 හා අංක 8 යෙදන වසරවලදි අතිශය පීඩාකාරි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවේ. එදිනෙදා කටයුතුවලදි පවා ප්‍රබල මානසික කඩා වැටීම්වලට මොවුන්ට මුහුණ පෑමට සිදුවේ. සෑම විටම තමා මත රැඳෙමින් කටයුතු කිරීම ඔවුන්ගේ ක්‍රමය වේ. එහෙත් මේ පුද්ගලයන් කරන සියලු කටයුතු දැඩි කැපකිරීමකින් සහ අධිෂ්ඨාන පූර්වකව කිරීමට කැප වේ. විවාහය සාර්ථක නොවේ. එම නිසා විවාහය ප්‍රමාද වන්නේනම් එය යහපත් වේ.ආර්ථිකමය දියුණුවක් බලාපොරොත්තු විය නොහැකිය. කිසිවිටෙක සූදුව හෝ ඔට්ටු තැබීම ලොතරැයි ජයග්‍රහණ බලාපොරොත්තු විය නොහැකිය. බොහෝ විට ලැබෙන ධනයක් වේ නම් අනිත් අයට බෙදා දීම හෝ පුණ්‍ය ආයතනවලට දීම සිදුවිය හැකිය. බලාපොරොත්තු රහිත ලෙස අසනීපවලට මඟ පෑදෙන අතර ආහාර මාර්ගයේ අවහිරතා අභ්‍යන්තර අවයවවල දෝෂ ඇතිවිය හැකිය. තවද කොඳු ඇට පෙළට ඇතිවන හානි දෙපා, වළලුකරට සිදුවන උපද්‍රව හදිසි අනතුරු නිසා හෝ ඇතිවිය හැකිය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම 1,2, 7, 10, 11, 16 යන දිනයන් හෙවත් අංක 1, 2, 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. කාක නිල් , නිල්, අළු පැහැයේ වර්ණ ආදි වර්ණයන් සුබ වර්ණ වේ.

ජනවාරි මාසයේ 9, 18 දෙසැම්බර් මාසයේ 27 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර, මොවුන් කුජ සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. දැඩි අධිෂ්ඨානයත් ජීවිතයේ ඉහළ නැඟීම අරමුණ කරගත් ජීවන ගමනේදී තමා හමුවට පැමිණෙන ඕනෑම බාධකයක් ජය ගත හැකි පුද්ගලයෝ මේ දිනවල උත්පත්තිය ලබති. නමුත් ජීවිතයේ මුල් භාගය ඉතා දුෂ්කර වේ. විශේෂයෙන් දිවිගමනේදි වරින් වර සාර්ථක අසාර්ථකභාවය දෝලනය වෙමින් පැමිණීම සිදුවේ. මිනිසුන් සංවිධානයකර කටයුතු කිරීම මොවුන්ගේ ක්‍රමය වන අතර, ඒ සඳහා අවස්ථාව ඔවුන්ට හිමිවේ. හදිසි අනතුරුවලට මුහුණ දීමට සිදුවේ. මේ පුද්ගලයන්ට සතුරන් ඇතිවීම ස්වභාවයෙන්ම සිදුවේ. සමාජීය වශයෙන් හොඳ විවාහයකට උරුමකම් කියන අතර, යම්කිසි කණගාටුදායක සිදුවීම් පසු කාලිනව ඇතිවිය හැකිය.

ජනවාරි මස මේ දිනවල උපන් පුද්ගලයන් වයස 35 න් පසු හොඳ ආර්ථිකමය පසුබිමක් ඇති කර ගන්නා නමුත් වයස 60න් පසුව ධනය රැක බලා නොගතහොත් ආර්ථිකමය ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. සෞඛය තත්ත්වය ඉතාමත් යහපත් වන මුත් අවිවේකි බව හේතුවෙන් හෘදයාබාධවලට පැහැදිලි ඉඩකඩක් ඇත. කනගාටුව කිසිම දැනුම් දීමකින් තොරව හදිසියේ සිදුවන මරණයකට මුහුණ දීමයි. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම 3, 6, 9, 12, 15, 18, ආදි දිනයන් හෙවත් අංක 3, 6, 9 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රෝස රතු පැහැයේ වර්ණයන් සුබ වර්ණ වේ.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.