ග්‍රහලොව රජු සතුරු වෘෂභයේ

මැයි 12, 2023

 

පරිසරයේ අඳුරු ගතිය වැඩි වෙයි

ආදරය-ආලය බිඳ වැටේ

දරුවන්ට, කාන්තාවන්ට අපල

කොරෝනා, මී උණ, ඩෙංගු, පාචනය වැඩි වන ලකුණු

සොරුන්-වංචනිකයන් නීතියේ රැහැනට

 

රවි ග්‍රහයා 2023 මැයි මස 15 වන සඳු දින පෙ.ව. 11.45 ට පමණ සිය සතුරු රාශියක් වන වෘෂභයට පැමිණෙයි. මසකට වරක් මෙසේ රාශි මාරු කරන රවි පෙබරවාරි 13 දින සිට මාර්තු 15 දක්වා කුම්භ රාශියේ සතුරුව සිට රටට විවිධ පීඩා ගෙන දුන් අතර ඉන් පසුව මීන රැසෙහි මිත්‍රවද මේෂ රැසෙහි උච්චවද සිට රටට සුබවාදී බවක් ගෙන ඒමට සමත් විය. එහෙත් මෙවර රවිගේ සතුරු බව නිසා අපට පමණක් නොව මුළු ලොවටම අයහපත් තත්ත්වයක් උදා කෙරෙනු ඇත.

රවි ග්‍රහ මඬුල්ලේ ප්‍රධාන ග්‍රහයාය. ඒ නිසා රවි ග්‍රහ මඬුල්ලේ රජු ලෙසද හඳුන්වයි. පංච මහා භූතයන් අතරින් තේජෝ ධාතුවට අයත් නිසා රවි උෂ්ණත්වය පාලනය කරයි. රවි ආලෝක ග්‍රහයා වන හෙයින් මුළු විශ්වයම පාලනය කරමින් ‘ජගත් ආත්ම කාරක ග්‍රහයා’ යන නමද ලබයි. මේ දිනවල අඳුරු ස්වභාවයක් ගන්නා පරිසරය තව තවත් අඳුරින් වෙලා ගැනීමට මෙම රවි සතුරු භාවය හේතුවෙයි. පරිසරයේ ගහකොළ තුරු වදුළුවල මල් පිපීමට ඵල හට ගැනීමට පවා ආධාර වන රවි සතුරු රාශියකට පිවිසීම බොහෝ විට අපවිත්‍ර සහගත වට පිටාවක් තැනීමට හේතුවෙයි.

පරිසරයේ තිබෙන විෂ බීජ හා විවිධ වෛරස විනාශ කිරීමට අපමණ මෙහෙයක් සිදු කරන රවි මෙවර ඒ පිළිබඳවද ආකර්ෂණය නොවීම තුළ විවිධ වෛරස් රෝග, බෝවන රෝග වන, කොරෝනා යළි හිස එසවීමට, මී උණ, ඩෙංගු, පාචනය මෙන්ම මැලේරියාවද දැඩි ලෙස ව්‍යාප්ත වීමට ඉඩ ඇත. එසේම සෙනසුරු රවිගේ සතුරු ග්‍රහයාවීම ඉහත කී ලෙඩ රෝග ව්‍යාප්තියටද, සිකුරු රවිගේ සතුරු ග්‍රහයකු වීම නිසාද ආදරය, ආලය බිඳ වැටීම් පවුල් ජීවිතවලට තර්ජන ගර්ජන එල්ල වීම් මෙන්ම බාල වයස්කාර අපයෝජන, කාන්තා හිංසනය ඉහළ යාමටද බලපායි. ඒ අතින් බලනවිට රවි සතුරු වී මාසයක් පමණ ඇතුළත ජනතාවට පාරිසරිකව කාලගුණිකව විඳින්න සිදුවන පීඩන දෙගුණ තෙගුණ වීමට ද ඉඩ ඇත. රවි රාජ්‍ය කාරක හා පීතෘ ග්‍රහයා මෙන්ම ග්‍රහලොව ප්‍රධානියා ලෙසින් යම් යම් ආයතනවල ප්‍රධානීන්ට ස්ථානමාරු තනතුරු මාරු සහ තනතුරුවලින් ඉවත්වීමටද සිදු විය හැකිය. බොහෝවිට රජයට පක්ෂග්‍රාහී පිරිස් සිය දේශපාලන මතිමතාන්තර පසෙක දා රජය සමඟ එක්වීමට පිල් මාරු කිරීමටද මෙම ග්‍රහ තත්ත්වය බලපානු ඇත.

රවි ඇසට පමණක් නොව හෘදයට ද බලපෑම් එල්ල කරන නිසා වැඩිපුර හෘදයාබාධ වැලඳීම හෘද සාක්ෂියට විරුද්ධව කටයුතු කරන සොරුන් වංචනිකයන් හා මත් උවදුරුවල යෙදෙන්නන් වඩ වඩාත් නීතියේ රැහැණට හසුකර ගැනීමට ද හැකි වනු ඇත.

කුම්භ රාශිය නියෝජනය වන ලංකා කේන්ද්‍රයට අනුව සිව්වැන්න රවිගේ පැමිණීම ඉහත කී පාරිසරික ආර්ථික හා පොදු දේපළ පිළිබඳ ගැටලු මතු කරන අතර සිංහ රාශිය නියෝජන කරන ජනරජ කේන්ද්‍රයට අනුව 10 වැන්නට රවි සම්ප්‍රාප්ත වීම රජයේ උසස් නිලතල හා තානාන්තර රජයේ වෙනස්වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

ඒ අතර ලෝකායතන කේන්ද්‍රයට අනුව මේෂ රාශිය නියෝජනය වන විශ්ව කේන්ද්‍රයේ රවි දෙවැන්නේ සතුරු වීමද මෙසේ සතුරු වන්නේ මේෂ රාශියේ උච්ච ග්‍රහයා හෙයින් ලෝකයේ විවිධ රටවල්වල දැනට උද්ගතවී තිබෙන සටන් එදිරිවාදිකම් තව තවත් ඉහළ යනු ඇත. උදාහරණයක් ලෙස පකිස්ථානය වැනි රටවල හදිසියේ උදා වූ ගැටලුව වැනි විදෙස් රජයන් හි ජනතාව අතර ඇතිවන විරෝධතා තව තවත් වැඩි වනු ඇත. එහෙයින් මෙම තත්ත්වයන් මත ඇසට දකිනදේ යහපත් විදියටත් හෘදයට දැනෙන දේ හෘද සාක්ෂියට අනුව යහපත් ලෙසටත් ග්‍රහණය කර ගැනීමටත් උනන්දු වීම යෝග්‍ය වෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.