සතර දළදා වහන්සේ පිහිටයි

ජනවාරි 6, 2023

එළැඹ ඇත්තේ 2023 නව වසරයි. නව වසරේ දළදා සමිඳුන් වැඳ පුදා ගෙන සතර දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව පැතීම ලක්වාසීන්ගේ සිරිතයි. දළදා වහන්සේ ලක්දිවට උරුම වූ අසිරිමත් පුවත මෙසේය.

ශ්‍රී දළදා වහන්සේලාගෙන් එක් නමක් තව්තිසාපුර සිළුමිණ සෑයේද තවත් නමක් නා ලොවේද තවත් නමක් ගන්ධාර පුරයේ ද තවත් නමක් ලක්දිවෙහි ද තැන්පත් කොට පුද පූජා පවත්වන්නට වූහ. කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනට වැඩම කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙසක් පෝදින අලුයම් කාලයේදී පිරිනිවන් පෑසේක. එහිදී මල්ල රජ දරුවන් විසින් ශ්‍රී දේහයට දින හතක් පුරා පුද පූජා පවත්වා මකුටබන්ධන චේතිය නම් ස්ථානයේ තැන්පත් කර තැබීමෙන් පසු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ගේ උපදෙස් පරිදි ශ්‍රී දේහය රණින් කළ දෙනකින් වසා ආදාහනය කළහ. එහිදී සතර දළදා වහන්සේ ද දෙඅකු ධාතුන් වහන්සේද ලලාට ධාතුන් වහන්සේද දැවී අළු බවට පත් නොවී තැන්පත් වූහ. අනෙකුත් ධාතුන් වහන්සේලා ශේෂව දෙණෙහි රශ්මිධාරාව නිවී ගියේය.

එම අවස්ථාවේදී මල්ල රජදරුවන් විසින් සුවඳපැන් චිතකයට ඉස ධාතුන් වහන්සේලා ආරක්ෂා කිරීමට පියවර ගත්හ. බුදුන් වහන්සේ උපවත්තන සල්උයනේදී පිරිනිවන් පා ඇති බව දැනගත් දඹදිව රජවරුන් සේනා සංවිධානය කොට පැමිණ ධාතුන් වහන්සේලා ලබාගැනීමට තම තමන්ට ඇති අයිතිය ප්‍රකාශ කරන්නට වූහ. මෙහිදී ඇතිවන්නට ගිය තත්ත්වය ගැන සැලකිල්ලට ගත් ද්‍රෝණ බ්‍රාහ්මණ තැන තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා ඉදිරිපත් වී ධාතුන් වහන්සේලා බෙදන අටියෙන් දකුණු දළදා වහන්සේ ගෙන තම හිස්වැස්මෙහි සඟවා ගත්තේය. ඒ බැව් දුටු සක්දෙවිඳු බමුණාට නොදැනෙන සේ එම ධාතුන් වහන්සේ ගෙන දෙව්ලොවට වැඩමවා සිළුමිණසෑයෙහි තැන්පත් කරන ලදී. ධාතුන් වහන්සේලා බෙදන අවස්ථාවේදී ලබාගත් දළදා වහන්සේලා තව්තිසා පුර සක්දෙවි රජ ළඟද නා ලොව නාරජු ළඟද ගාන්ධාර පුරයේද කාලිංග රජුටද ලැබිණ.

කාලිංග දේශයේ ගුණසීහ රජු වෙත ලැබුණු ශ්‍රී දළදාව පුද පූජා සත්කාර ලබමින් වන්දනාමානයට ලක්කරමින් පැවතිණ. එයට කිපුණු නිගන්ඨයෝ රජුට බොරු චෝදනා නඟමින් රජු මිනී ඇටයකට පුද සත්කාර කරන බවට බොරු චෝදනා පඬි රජුට දැන්වීය. ඉන් කිපුණු පඬි රජු එම දේශය ආක්‍රමණය කොට පුද සත්කාර නතර කිරීමට පියවර ගත්තේය. අනතුරුව ගුණසීහ රජු විසින් පුද සත්කාර කරන ලද ධාතුන් වහන්සේ ගෙන්වාගත් පඬිරජු එය මිනීඇටයක් යැයි කියමින් ගිනි වළක ලා අළුකරලීමට නියෝග කළේය. එමෙන්ම කිණිහිරියක දා පහරදී කුඩු කර දැමීමටත් මලමුත්‍රාවලින් පිරුණු දිය අඟලකට දමා විනාශ කිරීමටත් නියෝග කළේය. ධාතුන් වහන්සේ ගින්නෙන් පුලුස්සා දැමීමට උත්සහ දැරීමේදී ගිනිගොඩ මැදින් රතු නෙළුම් මලක් හටගෙන දළදා වහන්සේ එයට වැඩම කරන ලදි.

කිණිහිරියෙන් තැලීමේදී අහසට නැගි ධාතුන් වහන්සේ බුදුරැස් විහිදුවන ලදි. මෙපුවත් ඇසූ පඬිරජු මහත් කම්පනයට පත්ව දළදා වහන්සේ ඉදිරියට පැමිණ වැද වැටී සමාව අයැද සිටියේය. පසුව පුද පූජා පවත්වා තමාටද ඇතිවූ මහත් භක්තිය නිසා තම හිස මතට වඩින ලෙස ආයාචනා කළේය. බුදුරැස් විහිදුවා පෙළහර පාමින් හිස මතට වැඩි දන්ත ධාතුන්වහන්සේට මාළිගාවක් සාදා තැන්පත් කොට පුද පූජා පවත්වන ලදි. මේ අතර රටේ පැවැති යුද තත්ත්වය අඩුවීමෙන් පසු පඬි රජු සමඟ මිත්‍රවූ ගුණසීහ රජු පඬි රජු සතුව තිබූ දළදා වහන්සේ ඉල්ලාගෙන නැවත පූජා පවත්වන්නට වූහ. මේ අතර පඬි රජුගේ බෑනණුවන් කෙනෙකුවූ ක්ෂිරධාර රජ නැවත දළදා වහන්සේ ඔහුට ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර නුදුනහොත් යුද්ධ කිරීමට සූදානම් බව පවසමින් යුද වැදීමට පිවිසියේය. එහිදී ගුණසීහ රජු තම බැනණුවන් වූ දන්ත කුමරු කැඳවා එළඹ ඇති යුද්ධයෙන් ජය ගැනීම සැක සහිත බව පවසා හේමමාලි කුමරිය සමඟ දළදාව රැගෙන ලක්දිවට යන ලෙස උපදෙස් දුන්නේය.

දන්ත කුමරු උදේනි රජුගේ පුත්වූ අතර හේමමාලි කුමරිය කලිඟුදේශයේ ගුණසීහ රජුගේ දියණියයි. තවද ගුණසීහ රජුගේ හිත මිත්‍ර ලක්දිව රජව සිටි මහසෙන් රජුට දළදාව භාරදී නොකඩවා පුද පූජා පවත්වන ලෙස දන්වන ලෙසට ද පැවසීය. උපදෙස් පිළිගත් දන්තකුමරු තම මෙහෙසිය සමඟ බමුණු වෙස් ගෙන දළදා වහන්සේ හේමමාලි කුමරියගේ කෙස් කළඹේ සඟවාගෙන කලිඟු දේශයෙන් පිටත්ව ගියේය. ඔවුන් නැව් නැඟ ත්‍රිකුණාමලයට නුදුරු ඉලංකයිකුරෙයි නම් ස්ථානයට ගොඩබසින විට මහසෙන් රජු කාල ක්‍රියාකොට එතුමාගේ පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු ක්‍රි.ව. 301 -328 රජු බවට පත්ව සිටියේය. දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ බව මහා විහාරවාසී හිමිවරුන්ගෙන් දැනගත් රජතුමා මහත් සතුටට පත්ව මේඝගිරි විහාරයට ගොස් දළදාවහන්සේ හා සෙසු පිරිස පිළිගෙන පළිඟුමිණෙන් සාදන ලද කරඬුවක දළදා වහන්සේ තැන්පත්කොට පුද පූජා සිදු කොට මහපෙරහරින් අනුරාධපුර රාජධානියට වැඩමවාගෙන විත් රජමාලිගාවේ තැන්පත්කොට පුද පූජා පැවැත්වූහ.

දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද ධම්මචක්ක ගෘහයෙහි වැඩහිඳ වූහ. එමෙන්ම පුද පූජා පවත්වමින් පෙරහරද පැවැත්වූ රජතුමා නොනවත්වාම දළදා පෙරහර පවත්වන ලෙසටද නියෝගයක් කළේය. මේ අතර දන්තධාතුන් වහන්සේ අවපැහැගැන් වී ඇත්තේ කෙසේද යන්න කිත්සිරිමෙවන් රජුට සැකයක් ඇතිවිය. එවේලේ දළදා වහන්සේ අහසෙහි දක්ෂිණාවෘතව ගමන් කොට සවණක් රැසින් පෙළහර පා රජු ඇතුළු පිරිසකගේ සැක දුරු කළහ. ඒ දළදා වහන්සේ ලක්දිව පෑ පළමු පෙළහරයි. අනතුරුව රජතුමා සිංහාසනය මත සුදු ඇතිරිල්ලක් යොදා ඒ මත දළදා වහන්සේ වැඩමවා සමන්මල්වලින් වැසී ය. එකෙණෙහිම දළදා වහන්සේ සමන් මල්ගොඩ මුදුනෙහි පැනනැඟී බුදුරැස් විහිදුවාලීය. ඒ දෙවන පෙළහරයි. නැවතත් රජතුමා සිංහාසනය මත ඇතිරිල්ලක් දමා දළදා වහන්සේ ඒ මත වැඩ හිදුවා සිනිදු සළු සියයකින් පමණ වැසීය. එහිදී දළදා වහන්සේ මතුවී සිවු දිසාවන්හි බුදුරැස් විහිදුවා ලූහ. එවේලෙහි මහ පොළොව කම්පා විය මහ වැසි වැසිනි. ඉන් පැහැදුණු රජතුමා පුද පූජා පවත්වා ඉදිරියටත් එසේ පුද පූජා පවත්වා පෙරහර පවත්වන ලෙසට ලේඛනගත කළේය.

සතර දළදා වහන්සේලා අතරින් වම් යටි දළදාව වැඩ සිටින්නේ දළදා මාලිගාවේය. එම දළදා වහන්සේ වෙනුවෙන් අලුත් සහල් කිරිපිඬු පූජා මංගල්‍ය, කාර්තික මංගල්‍යය ඇතුළු පුද පූජා මංගල්‍යය රැසක්ම පවත්වනු ලබන අතර වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය ද පැවැත්වේ.

 

ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

සටහන - මාධ්‍යවේදී බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.