ජන්මියාගේ අධ්‍යාපනය කේන්දරයෙන් හෙළිදරවු කරගත හැකියි

මැයි 27, 2022

අතීතයේ දී මෙන් නොව වර්තමානයේ ඕනෑම පුද්ගලයකුට කිසියම් වෘත්තියක යෙදීමට අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුය. එහෙයින් එදාට වඩා අද වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අධ්‍යාපනය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව ලග්න කේන්දරයක 2, 3, 4, 5, 9, 11 යන භාවත් බුද්ධි කාරක බුධත් ඥාන කාරක ගුරු යන ග්‍රහයනුත් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අවශ්‍යවන භාව සහ ග්‍රහයන් වෙයි.

 

ඒ අනුව යටකී භාව සහ ග්‍රහයන් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට ඉවහල් වන්නේ කෙසේද? යන්න පිළිබඳව කෙටියෙන් කරුණු විග්‍රහ කළහොත් ලග්න කේන්දරයක ජන්මියා සතු සහජ දක්ෂතාවයන් පිළිබඳව කලට හෙළිදරව් කරන 3 වැනි භාවය ජන්මියාගේ ප්‍රාථමික අධ්‍යාපනය, සාර්ථක කර ගැනීමට ඉවහල් වන භාවයක් වන අතර, එමඟින් ජන්මියාට මවුපියන්, ගුරුවරුන්, ඇසුරෙන් ලැබෙන අධ්‍යාපනය සහ ජන්මියා සතු සහජ දක්ෂතාවයන් පෙන්නුම් කෙරේ. (නැටුම්, ගැයුම්, ක්‍රීඩා වැනි දක්ෂතාවයන්) ඒ අනුව 3 වැන්නත් එහි අධිපතීන් 3 වැන්නට කාරක බුධ ග්‍රහයන් බලවත් නම් ජන්මියා ගේ ප්‍රාථමික අධ්‍යාපනය සාර්ථක වන්නේය.

සිවුවැන්න ජන්මියා ගේ පාසල් අධ්‍යාපනය පිළිබඳව කරුණු හෙළිදරව් කරන භාවයක් වන අතර, ඒ අනුව 4 වැන්න ජන්මියා අපොස උසස් පෙළ දක්වා ලබන අධ්‍යාපනයේ සාර්ථක, අසාර්ථක බව පෙන්වා දෙන භාවයක් වන්නේය. ඒ අනුව 4 වැන්නාධිපති ලග්න කේන්දරයේ 2, 11 හෝ කේන්ද්‍ර, ත්‍රිකෝණ භාවයක පවතින ඥානකාර ග්‍රහයන් වන බුධ, ගුරු යන ග්‍රහයන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක්ව ඇත්නම්, ජන්මියාගේ පාසල් අධ්‍යාපනය සාර්ථක වන අතර මීට ප්‍රතිවිරුද්ධව එනම්, 4 වැන්නාධිපති 2, 11 කේන්ද්‍ර, ත්‍රිකෝණ භාවයක දුර්වලව සිටියදී ඥාන කාරක ගුරු, බුධ යන ග්‍රහයනුත් නීච, සතුරු අස්ත යන බලයකින් යුතුව පාප පීඩිතව ඇති විටකදී සිවුවැන්නෙහි කුජ, සිකුරු හෝ චන්ද්‍ර, සිකුරු/ රාහු, සිකුරු/ රවි, සිකුරු යන අතිධාවන කාම යෝගයක් ද යෙදී ඇති විටකදී, මෙකී යෝගයන්ට සම්බන්ධ කුජ, චන්ද්‍ර, රාහු, සිකුරු යන මහා දශාවක් ද පාසල් අධ්‍යාපනය ලබන අවධියේ කේන්දර හිමියා ලබා ඇත්නම් එවන් ග්‍රහ පිහිටිමක් ඇති ජන්මීන් පාසල් යන වයසේ ඇති කර ගන්නා ප්‍රේම සම්බන්ධතා හේතු කොට ගෙන පාසල් අධ්‍යාපනය අසාර්ථක කර ගනියි.

5 වැන්න වූ කල්හි ජන්මියාට උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය අන්තර් ඥානය, දුර දක්නා නුවණ යන ඥාන ශක්තීන් ලබාදෙන භාවයකි. එහෙයින් භාවාත් භාවම් සංකල්පයට අනුව 9 වැන්නෙන් කියැවෙන උසස් අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට මහෝපකාරීවන ඥාන ශක්තිය ලබා දෙන භාවයක් වන 5 වැන්නත් එහි අධිපතියනුත් ඥාන කාරක බුධ / ගුරු යන ග්‍රහයන් බලවත් නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සාර්ථක කර ගනියි. මෙකී 5 වැන්න අනෙක් අතට ප්‍රේම සම්බන්ධතා කාම ආශාවන් ගැන කියැවෙන භාවයක් වන හෙයින් එතැනදී 5 වැන්නෙහි කුජ, සිකුරු / චන්ද්‍ර, සිකුරු / රාහු , සිකුරු/ චන්ද්‍ර, සිකුරු, කුජ / රාහු, කුජ, සිකුරු / කුජ, රාහු යන ලිංගික ආශාවන් උද්දීපනය කරන ග්‍රහ සංයෝගයක් හෝ ත්‍රී ග්‍රහ යෝගයක් වෙතොත් ප්‍රේම සම්බන්ධතා හෝ ලිංගික ආශාවන්ට මුල් තැන දී කටයුතු කිරීම නිසා උසස් අධ්‍යාපනය අසාර්ථක කර ගනියි.

නව වැන්න වූ කල්හි විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිවේදනය කරන භාවයක් වන අතර නව වැන්නත් එහි අධිපතිත්, බලවත්ව සිටියදී එකී නව වැන්නට හෝ නව වැන්නාධිපතිට ඥාන කාරක ග්‍රහයන් වන බලවත් වූ බුධ සහ ගුරුගේ දෘෂ්ටියක් වෙතොත් සහ නව වැන්නාධිපතිගේ කාර්යය ඉටුකර දෙන 5 වැන්නත් එහි අධිපති බලවත් නම් එවන් ග්‍රහ බලයක් හිමි කේන්දර හිමියා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථක කර ගනියි.

පස් වැන්නේත් හත් වැන්න වූ එකොළොස් වැන්න යම් දෙයක් ඉතා වැඩිකර දෙන භාවයක් වන හෙයින් එකොළොස් වැන්නෙහි ඥාන කාරක බුධ, ගුරු යන ග්‍රහයන් වේද, නැතිනම් බලවත් ඥාන කාරක බුධ, ගුරු යන ග්‍රහ දෘෂ්ටියක් 11 වැනි භාවයට වැටී ඇති විටදී පස් වැන්නාධිපති 11 වැන්නාධිපති සමඟ කේන්ද්‍ර ත්‍රිකෝණ හෝ 2, 11 යන භාවයක පතිතව ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියා උසස් අධ්‍යාපනයේ උච්ච ස්ථානය වෙත ළඟා වී ආචාර්ය උපාධියක් ලබාගෙන මහාචාර්යවරයෙක් බවට පත් වන්නේය.

එමෙන්ම දෙවැන්න ලග්න කේන්දරයක ජන්මියාගේ දක්ෂතාවයන් පිළිබඳව කරුණු හෙළිදරව් කරන භාවයක් වන හෙයින් ඉහත සඳහන් අධ්‍යාපනයට සම්බන්ධ ග්‍රහයන් සහ භාව දුර්වල වීම හේතු කොටගෙන ජන්මියාගේ පාසල්, උසස් අධ්‍යාපනය අසාර්ථක වුවත් ඉහත කී දෙවෙනි භාවයේ බලවත් ඥාන කාරක ග්‍රහයන් දෙදෙනෙක් වන බුධ, ගුරු යන ග්‍රහයන් දෙදෙනාම හෝ දෙදෙනාගෙන් කෙනෙක් යෙදී ඇති විටදී 2 වැන්නාධිපති කේන්දර හෝ ත්‍රිකෝණ භාවයක හෝ 2, 11 යන භාවයක යෙදී ඇත්නම්, එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියා තම දක්ෂතාවයට අනුව වෘත්තීය අධ්‍යාපනයක් ලබා තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනියි.

ලග්න කේන්දරයක 2, 3, 4, 5, 9, 11 යන භාවයන්ගෙන් බලවත් භාව අධිපතියා අනුව ජන්මියා ඉගෙනීමට කැමැති විෂය පෙන්නුම් කෙරේ. ඒ අනුව 2 වැන්නාධිපති බලවත් වූ කල එනම් 2 වැන්නාධිපති අඟහරු වී ජන්මියා යන්ත්‍ර, සූත්‍ර අලුත්වැඩියා කිරීමට ඇති දක්ෂතාවය නිසා ඒ අංශයේ වෘත්තීය අධ්‍යාපනයක් හදාරා එම අංශයේ රැකියාවකට යොමු වෙයි. 2 වැන්නේ බුධ වැනි ග්‍රහයෙක් බලවත්ව සිටි නම් පරිගණක, ජංගම දුරකතන යන්ත්‍ර වැනි යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට ඇති හැකියා වන නිසා ඒ සම්බන්ධ පාඨමාලාවක් හදාරා එම අංශයේ රැකියාවකට යොමු වෙයි. 2 වැන්නේ සිකුරු බලවත්ව යෙදී ඇත්නම් සංගීතය එනම් ජන්මියා සතුව ඇති ගායන හැකියාවන් හේතු කොට ගෙන ඔහු සංගීතය පිළිබඳව පාඨමාලාවක් හදාරා ගායනය ඔහුගේ වෘත්තිය බවට පත් කර ගනියි.

මේ ආකාරයට 3 වැන්නාධිපති බලවත් නම් 3 වැන්න කුඩා කාලයේ දී ජන්මියා ලබන අධ්‍යාපනය පෙන්නුම් කරන හෙයින් සහ ජන්මියා සතු සහජ දක්ෂතා පෙන්නුම් කරන භාවයක් වන හෙයින් 3 වැන්නෙහි බලවත් අඟහරු වී නම් ජන්මියා සටන් කලාව ඉගෙන ගනියි. 3 වැන්නේ බලවත් බුධ වේ නම් ලේඛනයට ඇති දක්ෂතාවය නිසා ජන්මියා ලේඛන කලාව ඉගෙන ගනියි. 3 වැන්නෙහි බලවත් සිකුරු වී නම් කේන්දර හිමියා නැටුම්, ගැයුම්, වැයුම් සහ රංගනය ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වයි.

මේ ආකාරය පාසල් අධ්‍යාපනය ගැන කියැවෙන සිව්වැන්නත් එහි අධිපති බලවත් නම්, ජන්මියා පාසල් අධ්‍යාපනයේ දී වඩාත් පි‍්‍රය කරන සහ වැඩියෙන් ලකුණු ගත් විෂයක් වැඩිදුරට ඉගෙනීමට කැමැත්තක් දක්වයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.