ජන්මියකුගේ මරණය සඳහන් වන අටවැන්න

මාර්තු 18, 2022

කියනකොටත් බය හිතෙන කරුණු සමූහයක්. ඒත් දැනගන්න ආසයි. දැනගත්තට පසු හිත කඩා වැටෙනවා. තැවෙනවා. කවුරුත් කැමැති එක මොහොතක් හෝ වැඩිපුර ජීවත්වන්නයි. බෞද්ධ දර්ශනය හදාරන කවුරුත් පින් දහම් කරන්නේ දිව්‍ය ලෝකයේ යන්න. අඩුම තරමින් නිවන් හරි දකින්න බව පැහැදිලි කරුණක්. ඒක ලබාගන්න තමයි පූර්ණ උත්සාහය.

දවසක් බණ දේශනාවකට එක හාමුදුරුනමක් ඇවිල්ලා නිවන ගැන ලස්සනට කතා කියල එතැන හිටපු උපාසක, උපාසිකාවන්ගෙන් ඇහැව්වා නිවන් දකින්න කැමැති අය අත උස්සන්න කියල. බණ ශාලාවේ සිටි හැම දෙනාම අත ඉස්සුවා. ඊළඟට හාමුදුරුවො කිව්වා එහෙනම් මම කියන ගාථාව කියන්න ක්ෂණයෙන් එතකොට නිවන් යාවි කියලා. හාමුදුරුවො ගාථා පදයක් කිව්වා. කෝ කවුරුවත් ඒක කිව්වෙ නැහැනේ. දැන් හාමුදුරුවො ඇහැව්වා නිවන් දකින්න කැමැති කිව්වනේ එහෙනම් මේ ගාථාව නොකිව්වේ ඇයි කියලා. එතකොට එක එක්කෙනා කිව්වා. නිවන් දකින්න නම් කැමැතියි හාමුදුරුවනේ ඒත් දැන්ම නොවෙයි. අපේ ගෙවල් වල තිබෙන ප්‍රශ්න ටික ඉවර වුණාමයි කියලා. ඔවුන් කිව්වා. එක එක ප්‍රශ්න කිව්වා. දැන් වැටහෙනව ඇති අපි තදින් අල්ල ඉන්න ඒවා ලෙහෙසියෙන් අතහරින්න කැමැති නැහැ. එකක් අත්හරින කොට දෙකක් අල්ලගන්නවා. ලොකු දුවගේ මගුල ඉවර වුණාම නිවන් දකින්න කැමැති කිව් කමලාවතී උපාසකම්මා මංගල්‍යය ඉවර වුණාම කිව්වේ ලොකු කෙල්ලට දරුවෙක් ලැබුණම එයාව බලලම නිවන් දකිනවා කියලා. ඔය විදියට අල්ලා ගැනීම දියුණු කර ගන්නවා දවසින් දවස.

මේ කොච්චර අල්ලගත්තත් කැමැත්ත තිබුණත් හිස් අතින් ආ අප හිස් අතින්ම යනවාමයි. ගමන යන්නෙ කොහොම ද, කවදද යන්නෙ කියල දැන් නොදන්නවට ඒක කේන්දරයේ හරි පැහැදිලිව සටහන් වෙලා තිබෙනවා. ඔබ නොහිතපු වෙලාවක මේ ලෝකෙට ආවාට, ඔබ නොසිතන වෙලාවක, කොයි විදියට ද නොඑනා ගමන් යන්නෙ කියල ද හිතාගෙන හිටියේ.. නමුත් ඔබ යන දවස, හේතුව දැනගන්න කැමැති නම් මේ සටහන කියවන්න. හැබැයි පසුව පසුතැවිලි වන්න. දුක් වන්න ඔට්ටු නැහැ හොඳේ.

“නවනාථය” යන්ත්‍රය ගැන විස්තරාත්මකව හඳුන්වන්නට වෙනමම පොතක් තිබෙනවා. හැම පොතකම මේ යන්ත්‍රය ගැන විස්තර සඳහන් නැහැ. ඒ වගේ ජන්මියකුගේ මරණය ගැන ඡ්‍යොතිෂයේ විස්තර කරන්නේ “චූල නක්ශාස්ත්‍ර” පාඩම් වල විතරයි. යහපත් ගුරුවරයෙක් නම් තම ගෝලයාට ඒ ශාස්ත්‍රයත් ඡ්‍යොතිෂ අන්තිම පාඩම් වලදී කියාදෙනවා. ගුරු මුෂ්ටි එහෙම කියා දීලා ගෝලයට වරම් දෙනවා. ඡ්‍යොතිෂය කිරීමට හැබැයි. චුල ශාස්ත්‍රය ප්‍රායෝගිකව කරන්න එපා කියලත් කියනවා. මොකද ඕනෑම කෙනෙක් මැරෙන දවස දැනගන්න කැමැතියි. නමුත් දැනගන්තට පස්සේ මානසිකව වැටිලා නොමැරි මැරෙනවා. නමුත් ඡ්‍යොතිෂය හදාරන කොට මරණය ගැන දැනගන්න ස්ථානයක් තිබෙනවා. ඒ අට නැතිනම් අෂ්ටමය. ඔබ දැනහිටියේ නැහැ නේද? මේ අට කොච්චර භයානක ද කියලා. එහෙනම් අද දැනගනිමු.

රාශි මණ්ඩලයේ මේ ස්ථානය එක එක නම්වලින් හඳුන්වනවා. පොදු ශ්ලෝකයට අනුව “මුත්ත්‍රංච” කිව්වෙත් අෂ්ඨමය කිව්වෙත් මෙතැනටම තමයි. තවත් පොත්වල මාරක ස්ථානය හෝ රණ්ඩු ස්ථානය කිව්වෙත් මෙතැනට තමයි. රාශි චක්‍රයේ එක එක ස්ථානවලට එක එක නම් තිබෙනවා. ඔය එකක් දෙකක් කියනව නම් 2,8,11 යහපත් ස්ථාන තමයි. හැබැයි යෝග වුණොත් මාරක ස්ථාන වනවා. 6,8,12ත් එහෙමමයි. මීට අමතරව අද දැනගතිමු මාරක රාශිය අට නැත්නම් අෂ්ඨමය ගැන. මෙතැන නරක් වුණොත් ඉව රටම ඉවරයි. කොටින්ම කිව්වොත් මෙතැන මොනම ග්‍රහයෙක් නොසිටින තරමටම ජන්ම පත්‍රය වාසනාවන්තයි. පොඩියට හරි ඉන්නව නම් “සිකුරා” විතරයි.

අපේ ජන්ම පත්‍රවල මේ පිහිටීම් තිබෙනව නම් ඉතින් මොනව කරන්න ද? හැබැයි ප්‍රවේශම් වුණොත් විපාක දීම, දඬුවම අවම කරගන්නත් බැරි නැහැ. අපි හිතමු අටවැන්නෙ හිරු ග්‍රහයා හිටියා කියලා. පාපියට අහුවුණොත් මරණය වන්නෙ ගින්දරින් තමයි. ගින්දර කිව්වට වර්තමානයේ ගෑස් වලින් ද බැරි නැහැ.

ඔබ මම දන්නවා ඡ්‍යොතිෂයේ රාශි වර්ග තුනක් තිබෙන බව. ඒ කිව්වේ 1,4,7,10 චර රාශි වශයෙනුත් 2,5,8,11 තිර රාශි වශයෙනුත්, 3,6,9,12 උභය රාශි වශයෙනුත් හඳුන්වනවා. ඕනෑම කේන්දරයක 8 වැනි රාශිය චර රාශියක් නම් බොහෝදුරට මරණය සිදුවන්නෙ පරදේශයක බවත්, තිර රාශියක නම් ඉපදුණු දේශයක බවත් උභය රාශියක නම් මඟදී මරණය සිදුවන බවත් කියැවෙනවා. මරණය රෝහලක සිදුවුවත් උභය රාශි මරණයක් බව අමතක කරන්න එපා. අපි හිතමු අෂ්ඨමයේ ග්‍රහයෝ කීපදෙනෙක් ඉන්නව කියලා. එතකොට ටිකක් පරික්ෂා කරලා විභාග කරල මිස නිකන්ම නිගමනයකට එන්ට එපා. ඒ ඉන්න ග්‍රහයන්ගෙන් වැඩි බලතල වැඩි සාන්ද්‍රත්වයක් ඇති. ග්‍රහයට අනුව ප්‍රතිඵල ලැබෙනවා. මේ ජන්ම පත්‍රවල මරණය සිදුවීමට තවත් ස්ථාන උදව් නොකරනවා නොවේ. නමුත් මූලිකත්වය ගන්නෙ අෂ්ඨමය. එපමණක් ද නොවේ විවාහයෙන් පසු භාර්යාවගේ සනීප අසනීප තත්වය කියන්නෙ ද අටෙන්. මේ ආකාරයට මරණය ගැන අවබෝධයක් ලබන මේ වෙලාවේ අපි දන්නවා ග්‍රහයන්ගේ අවස්ථා 12ක් තිබෙන බව. ඒ නම් ශයන, උපවෙශන, නේත්‍රපාන, ප්‍රකාශ, ගමන, ආගමන, සභා, ආගම, භෝජන, නෘත්‍යලිප්සා, කෞතුක හා නිද්‍රා වශයෙන්. ප්‍රතිඵල දෙන්න මේ ග්‍රහ අවස්ථා ගොඩක්ම බලපානවා. ග්‍රහයකුගේ නිද්‍රා අවස්ථාවේ ආරම්භ කරන මොනම ක්‍රියාවක්වත් සම්පූර්ණ වන්නෙ නැහැ. එවගේම ග්‍රහ පවතින අවස්ථා ගැනත් දන්නවනේ. එනම් ශත්‍රෘ නීච අවස්ථාවේ කිසියම් පාප ග්‍රහයකු පැමිණිය හොත් හා පාපයින්ට පෙනුණොත් භාර්යාවට තද බල දුක් කරදර සිත්තැවුල් ගෙන දෙන බව දැනගත්තොත් හොඳයි. තව එකක් මතක තබා ගත යුතුමයි. ශරීරයේ රහස් ප්‍රදේශයත් අයිති වන්නෙ අෂ්ඨමයටයි. සතුටේ කෙළවර දුක බව බුදු දහමේ පෙන්නුම් කරනවා.

නමුත් බාලාරිෂ්ඨ යෝගවලදී මේ නියමයන් එකඟ නොවන බව පෙනී යන තැන් බොහෝ විට ඡ්‍යොතිෂයේ පෙන්වනවා. බාලාරිෂ්ඨ යෝග පුංචි කාලෙදි ආවත් ඒ සඳහා කිරණ පතිත වුණත් සිකුරගේ යහපත් දෘෂ්ඨියෙන් ඒ නරක අපල නැතිවී ගිය බොහෝ අවස්ථා තිබෙනවා.

මේ අනුව බලාගෙන යන කොට බොහෝදුරට මරණය සිදුවීමට අටවැන්න බලගතුවනවා. අපි කලින් සඳහන් කළා අටවැන්නෙ රවි රාශි ගත වුණොත් ඒක තවත් පාපියෙක් දුටුවොත් ගින්නකින් මරණය සිදු වන බව. ඒ වගේම ඒ .තත්ත්වයෙන් ජන්මියා ප්‍රවේශම් වුණොත් “පිත්” අමාරුවකින් මරණය සිදුවනවා. බොහෝ දෙනෙකුගේ මරණය ස්වභාවිකව සිදුවන්නේ “තුන්දොස් කිපිලා” එනම් වා, පිත්, සෙම් කිපිලා පිතට බලගතු රවි නම් වාතයටත්, සෙම් අමාරුවලටත් මුල් වන්නේ සඳු. වගේම අඟහරුවා රවි වගේම තමයි. එකිනෙක රෝග කාරක මෙසේ අයිති වුණාට බුධ ග්‍රහයා මේ තුන්දොස්වලටම බලගතුයි. බුධ ඉතින් ශරීරයේ බෙල්ලෙන් පහළ නහර අමාරුවලටත් මුල්තැන ගන්න බව දන්නවනේ. පාපිත්වය දෙන්න මේ වගේ ග්‍රහයෝ පතිත වන්නට ඕනෑ නැහැ.

පාපි දෘෂ්ටි ගත වුණොත් ඇති හොඳේ.

ඒ වගේ මේකත් මතකයේ තබා ගන්නකෝ. මීන ලග්නයේ සඳු හිරු දෙන්න ලග්නයේ නම් ඇළවල්, දොලවල්වල නාන්න යන්නේ බලාගෙනයි. මරණය සිදුවන්නෙ දියේ ගිලීලා. ඔබ කොච්චර පීනන්න දක්ෂ වුණත්. අනික තමයි 4 වැන්නේ රවි ගෝචරය වෙලා දසවැන්නෙ අඟහරු ගෝචරය වෙලා සෙනසුරුගේ පාපි දෘෂ්ටි වැටුණොත් ඒ පුද්ගලයා මැරෙන්නේ පොලු පහරකින් බව අමතක කරන්න එපා.

විවාහ වූ හැම දෙනෙක්ම ඉතාම නිරෝගිව සතුටින් ජීවත් වන්න ඕනෑ. අපේ පැතුම ද එයයි. නමුත් ජන්මියෙකු ගේ කේන්දරයේ අශුභයෝ දෙදෙනෙක් පස්වැන්නේ හා නම වැන්නේ හිටියොත් ඒ ග්‍රහචාරය සෞම්‍යයන් විසින් දකිනු නොලැබුවොත් එකී උපන් තැනැත්තා හිරේ විලංගුවේ වැටි මරණය ද සිදුවනවා.

මෙසේ මරණය සිදුවන ග්‍රහ පතිත වීම් යෝගවීම්, එකක් හෝ කීපයක් ඔබේ ජන්ම පත්‍රයේ තිබුණත් ඔබ කලබලවන්ට එපා. ඡ්‍යොතිෂයේ “දෝස භංග“ කියල දෙයක් තිබෙනවා. බොහෝ අය මේ දෝස භංග නොදත් කමින් හොඳට ගැලපෙන පොරොන්දම් නුසුදුසු බවට වාර්තා දුන් අය සිටින බව මම වගකීමෙන් කියනවා. දෝස භංග ගොඩක් තිබෙනවා. අඩුම තරමින් දැනට හිතන්න. ඕනෑම නරක යෝග වීමක් විශේෂයෙන් 7 හෝ 8 රාශිවල පතිත නම් ඒවා දීප්තිමත් බ්‍රහස්පති හෝ සුබ චන්ද්‍රයා (පුර) දකිනවා නම් ඒ දෝෂය භංග වනවාමයි.

 

මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.