උදාවෙන නැකැත් බලා ගමන් යන්න

මාර්තු 4, 2022

ගමනක් සඳහා නිවසින් පිටත් වී කරදරයක් නැතුව ආපසු නිවසට එන්නේ නම් එම ගමන ඉතා වාසනාවන්ත ගමනකි. තව ද යම් බලාපොරොත්තුවක් ඇතුව ගමනක් යන ඔබට එය සම්පූර්ණයෙන් ම ඉෂ්ඨ වේ නම් එම ගමන ද සාර්ථක ගමනකි. බොහෝවිට එය එසේ සිදු නො වේ. විවිධ අනතුරුවලට මුහුණ පෑමට සිදු වේ. වාහන අනතුරු, දියේ හා මුහුදේ ගිලීමෙන් අනතුරු දිනපතා ඇසීමට අපට සිදුවේ. ගමනක් යෑමේ දී විවිධ ප්‍රශ්නවලට මුහුණ පෑමට ඉඩ ඇත. තවත් විටෙක යන ගමන කිසිම අනතුරක් හෝ කරදරයක් නැතුව ආපසු එන අවස්ථා ද තිබේ. යන ගමනේ අරමුණ ඉෂ්ඨ වීම මෙන් ම ඉෂ්ඨ නො වීමට ද පුළුවන. සමහර ගමන්වලින් ආර්ථික ලාභ මතු වෙයි. තවත් විටෙක බලවත් පාඩු ගෙන දෙයි.

මෙසේ ගමන් යෑමට පෙර සුබ හෝ අසුබ දැන ගෙන යන්නේ නම් තමන්ට සිදු වෙන කරදර අඩු කර ගත හැකිය. එදා සිටි මුතුන් මිත්තන් මෙම නැකැත්වලින් විපුල පල නෙළා ගත්තත්, වර්තමාන සමාජයේ සිටින අපේ අය ඡ්‍යොතිෂයෙන් පලප්‍රයෝජන ගන්නේ නැත. එය සමාජය තුළ දකින්නට ලැබෙන අවාසනාවන්ත සිදුවීමකි.

දවසේ උදා වෙන සුබ නැකැත් බලා ගමන් සඳහා පිටත් වන්න. හැම නැකැතක්ම සුබ නැත. නැකැත අසුබ නම් එදාට එම ගමන නොගොස් වෙන දවසක යන්න. ඔබේ වටින ජීවිතය ආරක්ෂා කර ගත හැකිය. නැකැත සුබ නම් ගමන සාර්ථක ය. උදා වෙන නැකැත් 27 ට සුබඅසුබ පහත දැක්වේ.

අස්විද නැකැත

අස්විද නැකැත ඇති දිනයක ගමන් යාමෙන් සුබ පල දෙන්නේ නැත. ගමනේ අරමුණ ඉෂ්ඨ නො වේ. කාලය මෙන් ම ධනය නිකරුණේ විනාශ වේ. එදින ගමන් යාම සුබ පල නැත.

බෙරණ නැකැත

බෙරණ නැකැත ඇති දිනයක ගමනක් පිටත් වූයේ නම් එම ගමන සාර්ථක නැත. හිස් අතින් ආපසු ඒමට සිදු වේ. බලාපොරොත්තු ඉෂ්ඨ නො වේ.

කැති නැකැත

කැති නැකැතින් ගමන පිටත් වන්නේ නම් බාධා ගෙන දෙයි. එම ගමන මුදල් කටයුතු සම්බන්ධ ගමනක් නම් එය කොහෙත් ම ඉෂ්ඨ නො වෙයි.

රෙහෙණ නැකැත

රෙහෙණ නැකැත උදා වී ඇති විටෙක ගමනක් යාමෙන් සුබ පල ගෙන දෙයි. ගමන සාර්ථක වේ. රසවත් කෑම මෙන්ම හිත මිතුරන් හමු වේ. සිතට සතුට ගෙන දෙයි. ගමනේ විඩාව නො දැනේ.

මුවසිරස නැකැත

මුවසිරස නැකැතින් ගමනක් යන විට බාධා මැඩ ගෙන ඉදිරියට ගියත්, එම ගමනින් සාර්ථක ප්‍රතිඵල නොලැබේ .යම් මුදල් ලාභයක් ලැබුණත් එම මුදල ඉතිරි කර ගැනීමට අසීරු ය.

අද නැකැත

උදා වූ අද නැකැතින් කිසිම ගමනක් යාම සුදුසු නොවේ. කරදර ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදු වේ. ගමන් බිමන්වලට සුදුසු නැත. මනස අවුල් කරයි.

පුනාවස නැකැත

පුනාවස නැකැත උදාවූ දවසක ගමන යන්නේ නම් ධන සම්පත් හිමි වේ. ලොතරැයි වාසනා ගෙන දෙයි. ප්‍රභූන්ගෙන් යහපත් උදව් උපකාර ලැබේ. බාධකවලින් තොර සාර්ථක ගමනක් වේ.

පුෂ නැකැත

පුෂ නැකැත උදාවූ විට ගමනක් යාමෙන් සුබ පල ගෙන දෙයි. විශේෂයෙන් වන්දනා ගමන් යෑමට සුදුසු ය.

ඕනෑම ආගමික ගමනක් සඳහා මෙම නැකත තෝරා ගන්න. සිතට භක්තිය ගෙන දෙයි.

අස්ලිස නැකැත

අස්ලිස නැකත උදා වූ විට ගමනක් යාමෙන් අපේක්ෂිත අරමුණුවලට බාධා ගෙන දෙයි. එම අරමුණු ඉෂ්ට නොවේ. නැති ප්‍රශ්න ඇති වේ.

මා නැකැත

මා නැකැත උදා වූ විට ගමනක් යාමෙන් සාර්ථක සුබපල ගෙන දෙයි. ප්‍රනීත ආහාරපාන ලැබේ. යන ගමන සාර්ථක වේ.

පුවපල් නැකැත

පුවපල් නැකැත උදාවූ විට ආදර සම්බන්ධතා ගොඩ නැඟීම සඳහා යන ගමනක් නම් හොඳ ප්‍රතිඵල ගෙන දෙයි.

විශේෂයෙන් මංගල කටයුතු සඳහා ගමන් යාමට සුදුසු යි. නෑදෑ හිතවතුන් ගෙන් උදව් උපකාර ලැබේ.

උත්‍රපල් නැකැත

උත්‍රපල් නැකැතින් ගමනක් යාමෙන් සිතට සැනසුම ගෙන දෙයි. ගමන සාර්ථක වේ. මැති ඇමතිවරු හමුවීමට සුදුසුය. රාජ්‍ය අංශයෙන් උදව් උපකාර ලබා ගත හැක.

හත නැකැත

හත නැකැත ඈත ගමන්වලට සුදුසු නැත. කෙටි ගමන්වලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ.

සිත නැකැත

සිත නැකැතින් ගමනක් යාමෙන් කරදර බාධක ගෙන දෙයි. හදිසි අනතුරු ගෙන දෙයි. ගමන් බිමන් යාමට සුබ නැත.

සා නැකැත

සා නැකතින් ගමනක් යාමෙන් බලාපොරොත්තු වන ගමන අවුල් කරයි. මනස වට්ටයි. කරදර ගෙන දෙයි. ගමන්වලට සුදුසු නැත.

විසා නැකැත

විසා නැකැතින් ගමනක් යන්නේ නම් මුදල් හා නඩු වැනි දෙයකට සුදුසු නැත. ආගමානුකූල ගමන් හා වන්දනාගමන්වලට සුබ පල ගෙන දෙයි.

අනුර නැකැත

අනුර නැකැතින් ගමනක් යාමෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි. මුදල් ලාබ හා අලුත් සම්බන්ධතා ගොඩ නැඟෙයි. ගමන් බිමන්වලට බාධා නැත.

දෙට නැකැත

දෙට නැකැතින් ගමනක් යන්නේ නම්, විවිධ බාධා මතු වෙයි. කරදර ප්‍රශ්න වැඩි වෙන නිසා ගමනට සුදුසු නැත.

මුල නැකැත

මුල නැකැතින් ගමනක් යාමෙන් ඉතා සුබ පල ගෙන දෙයි. ගමන බාධා නොවී අවසන් කළ හැක. බලාපොරොත්තු වන අයගෙන් උදව් උපකාර ලැබේ. කාර්යය ඉෂ්ඨ වේ. ගමනට සුබයි.

පුවසල නැකැත

පුවසල නැකැතින් ගමනක් යාමෙන් අරමුණ ඉෂ්ඨ නොවේ. අනවශ්‍ය වියදම්වලින් කරදර මතු වේ. ඒ නිසා ගමනට සුදුසු නැත.

උත්‍රසල නැකැත

උත්‍රසල නැකැතින් ගමනක් යාමෙන් සුබපල ගෙන දෙයි. රාජ්‍ය අංශයෙන් උදව් උපකාර ලබා ගැනීමට සුදුසු ය. රාජ්‍ය අංශයේ නිලධාරින්ගේ අනුකම්පාව ලැබේ.

සුවණ නැකැත

සුවණ නැකැතින් ගමනක් යාමෙන් කරදරවලින් තොරව ගමන අවසන් කළ හැක. නඩු හා විභාගවලින් ජය ලබා ගත හැක. ගමනට බාධා නැත.

දෙනට නැකැත

දෙනට නැකැතින් ගමනක් යාමෙන් ප්‍රතිඵල අසුබ වේ. හදිසි අනතුරුවලට මුහුණ පෑමට සිදු වේ. කුඩා දරුවන් සමඟ ගමන් යෑම සීමා කළ යුතුය.

සියාවස නැකැත

සියාවස නැකැතින් ගමනක් යාමෙන් සුබ හෝ අසුබ නැත. මධ්‍යම ප්‍රතිඵල ගෙන දෙයි. තරමක් දුරට වැඩි බලාපොරොත්තු නැතුව ගමන් යන්න.

පුවපුටුප නැකැත

පුවපුටුප නැකැතින් යන ගමන් ලෙඩ රෝග සම්බන්ධ නම් යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. යාළු මිතුරු හමුවීම සඳහා යන ගමනක් නම් හොඳ ප්‍රතිඵල ලැබේ.

උත්‍රපුටුප නැකැත

උත්‍රපුටුප නැකැතින් ගමන් යාමෙන් සාර්ථකව ඉක්මන් සුබ පල ගෙන දෙයි. මෙම නැකත ගමනට ඉතා හොඳයි.

රේවතී නැකැත

රේවතී නැකැතින් ගමන් සඳහා පොළොවෙන් ලැබෙන දේවල් ගැන කතා කරන්නට යෑම සුදුසු ය. මැණික් ගැරීම හා රන් ආභරණ ලබා ගැනීමට නම් මෙම නැකැතින් ගමන් කරන්න. සුබ පල ගෙන දෙයි. සුබ නැකැත් තෝරා ගෙන ගමන් යන්න. අසුබ නැකැත් දිනවල විශේෂ ගමන් නො ගිහින් ඒ දවස අත් හරින්න. පංචාංග ලිතකින් හෝ ‘සුබසෙත’ පුවත්පතේ පළවන “සතියේ පඤ්චාංගය” පිටුවෙන් දවසේ උදාවෙන නැකැත බලා ගත හැකිය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.