වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අපල සපල කරන ස්ත්‍රී කේන්දරේ
දහසක සිහින සැබෑ කරමින් ස්ත්‍රී පුරුෂ දෙදෙනකු එක්වන්නේ ජීවිතයේ සුන්දරම අත්දැකීම විඳගන්නටය. එය විවාහයයි. එය කෙනකුට මිහිරි අත්දැකීමක් වුවත් තවත් අයකුට එය කටුක අත්දැකීමක් විය හැකියි. විවාහයෙන් පසු කෙනකුගේ ජීවිතයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සිදු විය හැකි අතර එවන් සුබ හෝ අසුබ තත්ත්වයන් කෙරෙහි පුරුෂයකු විවාහ කරගනු ලබන සහකාරියගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් බොහෝවිට බලපාන බැව් ඡ්‍යොතිෂය පෙන්වා දෙයි.
ගුණ නුවණින් හා යහපත් චරිත ලක්ෂණයන්ගෙන් පිරිපුන් ස්ත්‍රියක හා විවාහ වීමෙන් පුරුෂයාගේ සියලු අරිෂ්ට යෝග භංගවෙන බව ඡ්‍යොතිෂයෙන් පැහැදිලි කරයි. පසුව ස්ත්‍රියගේ වාසනා මහිමයෙන් පුරුෂයා යස ඉසුරින් පිරි අයකු වන බවට සමාජයේ පිළිගැනීමක් ද ඇත. එවන් ස්ත්‍රියක හා විවාහ වූ පුරුෂයා දිනෙන් දිනම දියුණුව කරා ළඟාවේ. “දියුණුවු හැම පුරුෂයකු පසුපසම ස්ත්‍රියක් සිටී” ආදී වශයෙන් සමහරු පවසන්නේ විවාහයෙන් පසුව පුරුෂයකුගේ වාසනාව මතුවී පෙනෙන අවස්ථාවලදී ය. කෙසේ වුවද ස්ත්‍රී කේන්දරයේ ග්‍රහ පිහිටීම් පිළිබඳ ලියැවී ඇති කරුණු දෙස බැලීමේදී ඒ තුළින් ගෙනදෙන සුබ අසුබ තත්ත්වයන් පිළිබඳව ඡ්‍යොතිෂයේ සඳහන් කර ඇති කරුණු පිළිබඳව දැන් සලකා බලමු.
ස්ත්‍රී කේන්දරයේ චන්ද්‍ර, ශුක්‍ර සහ කුජ ගුරු යන ග්‍රහයන් බලවත්ව සිටීනම් එය ඉතා බලවත් පිහිටීමකි. තුන, හත, පහ, එකොළහ යහපත්ව පිහිටා තිබීමත් ලග්නය බලවත්වීම ද හේතුවක් වේ.
ස්ත්‍රියගේ ලග්නයෙහි චන්ද්‍රයා සිටීම ඉතාම යහපත් ය. කේන්දරයේ දෙවෙනි ස්ථානයේ සුබ ග්‍රහයෝත්, දෙවෙනි අධිපතියා සුබයින් සමඟ හෝ සුබ ග්‍රහයින්ට පෙනී යහපත් ස්ථානයක සිටියේ නම් විවාහපත් වීමෙන් පසු වාසනාවන්ත යුග දිවියක් ගත කිරීමට හැකිවෙයි. ගුරු උච්චව හතේ සිටියදී උපන් තැනැත්තිය ස්වකීය ක්‍රියාවෙන් හා වස්තුවෙන් සතුටට පත්වන්නා වූ ස්වාමිපුරුෂයාට කීකරුවන්නාවූ ඉතා යහපත් තැනැත්තියක් වන්නීය. ස්වාමිපුරුෂයාද එසේම ගුණවතකු වෙයි.
හතේ ත්‍රිකෝණයක් වූ දෙවැන්නද විවාහය සම්බන්ධව බලපවත්වන විශේෂ ස්ථානයකි. එහි ග්‍රහයකු සිට හත දකීනම් ඉතා යහපත් ය. යම් ස්ත්‍රියකගේ හත්වැන්න එක ග්‍රහයකුගෙන් යුක්තව හෝ එක ග්‍රහයකුගේ දෘෂ්ටි ලබා තිබේනම් ඇය ස්වාමි පුරුෂයාට ඉතා පි‍්‍රය වේ. සුබයින් දෙදෙනකුගෙන් යුක්තව හෝ දෙදෙනකුගෙන් දෘෂ්ටි ලැබ තිබේනම් ආචාරසම්පන්න වේ.
සුබයින් තිදෙනකුගෙන් යුක්තව හෝ තිදෙනකුගෙන් දෘෂ්ටි ලබා තිබේ නම් ඉතා යහපත් උසස් තැනැත්තියක වේ. බුධ උච්චව හත්වැන්නේ සිටියදී උපන් තැනැත්තියගේ ස්වාමිපුරුෂයා රූප සම්පත්තියෙන් යුක්තවූ ආගමික කටයුතුවලට පි‍්‍රය වූ උගත් අයකු වේ. රාහු හතේ උච්චව සිටියදී උපන් තැනැත්තිය බලවත් ස්වාමිපුරුෂයකුගේ භාර්යාවක වෙයි. රාහු දුබලව හෝ පාපයින්ට පෙනෙමින් හතේ සිටීම අසුබ පිහිටීමකි. ස්ත්‍රී කේන්දරයක ග්‍රහයින් සිවු දෙනෙක් උච්චව සිටියේ නම් ඇය රජ බිසවක හා සමාන වන අතර එවන් ස්ත්‍රියක සමඟ විවාහයටපත් පුරුෂයාට සමාජයේ උසස් තැනක වැජඹෙන්නට හැකිවේ. පුරුෂ කේන්දරය බලයෙන් හීනවුවත් රවි, කුජ, ගුරු, ශනි ග්‍රහයින් කේන්ද්රස්ථානවූ ලග්නය හතර, හත, දහය යන රාශිවල උච්චව සිටිත්නම් ඇගේ පුරුෂයා දේශපාලන ක්ෂේත්රයේ ඉහළ තැනක සිටින උසස් සමාජය ඇසුරුකරන ගෞරව ලබන අයකු වන අතර බොහෝ සැප සම්පත් ලබන්නකු ද වෙයි.
ස්ත්‍රී කේන්දරයක දෙවැන්නේ කුජ පිහිටීම පුරුෂයාගේ විවිධ ගති පැවතුම් හා ජීවන රටාවන් වෙනස්කරලිය හැකි ආකාරයේ පිහිටීමකි. විවාහයට පෙර නාස්තිකාර, සෙල්ලක්කාර ජීවිත ගත කළ නොමනා ගති පැවතුම්වලින් යුතුව සිටි පුරුෂයන් පවා යහමඟට පත්කර ඔවුන් යහපතෙහි පිහිටුවා තමාගේ වදනින් අවනත කර ගැනීමේ හැකියාව හා ශක්තිය කුජ දෙවැන්නේ පිහිටි ස්ත්‍රිය සතුව පවතියි.
කුජ සමඟ රවිද දෙවැන්නේ තැන්පත්ව සිටියේ නම් එම තත්ත්වය තවදුරටත් යහපත් ලෙස හරවා ගත හැකි අතර එම ස්ත්‍රිය ලබන ස්වාමිපුරුෂයාද ධනයෙන්, බලයෙන් අනූන කීර්තිමත් අයකු වනු ඇත.
ස්ත්‍රියකට වඩාත් සුදුසුවන්නේ ස්ත්‍රී රාශියකි. ස්ත්‍රී රාශියක ඉපදී සඳු, රවි සංයෝගය ස්ත්‍රී රාශියක වී නම් ඇගේ ස්වාමිපුරුෂයා යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුත් ධෛර්යය සම්පන්න පුද්ගලයකු වේ. මෙවැනි ග්‍රහ පිහිටීම් යෙදී ඇති ස්ත්‍රියක් හා විවාහ වීමෙන් පුරුෂයාට යෙදී ඇති අරිටු යෝගවල බලහීන වන බව ඡ්‍යොතිෂයේ සඳහන් වී ඇත.
ස්ත්‍රී කේන්ද්‍රයේ චන්ද්‍රයා බලවත් වෙයි. ඊළඟට කුජය. චන්ද්රයට හයේ, අටේ, එකට හෝ වෙන වෙනම හෝ බුධ, ගුරු, සිකුරු සිටීමෙන් අධියෝගය යෙදේ. දෙදෙනකු නම් මධ්‍යම වශයෙන් ද, එක් අයකු නම් අඩු වශයෙන්ද යෝගය යෙදේ. මොවුන්ගෙන් එක් කෙනකුට හෝ දෙදෙනකුට හෝ තිදෙනකුට හත පෙනේ නම් ඒ ඒ අනුව බලයක් වේ. මෙම යෝගය සම්පූර්ණයෙන් යෙදුණ ස්ත්‍රිය සියලු දේවලින් සම්පූර්ණ වූ රජකු හා සමාන කෙනකු සමඟ විවාහවන බැව් පැවසේ.
හිඹුටානේ පියතිලක ද අල්විස්