දීර්ඝායු විඳීමේ රහස්

පෙබරවාරි 11, 2022

 

මෙලොව ජීවත්වන මිනිසා ඇතුළු සියලු සත්වයින් මොහොතක් හෝ වැඩිපුර ජීවත්වීමට ආශා කරති. කුරා කුහුඹුවන් ඇතුළු තිරිසන් සතුන් අනතුරක් දුටුසැණින් ආරක්ෂක ස්ථානයකට ගොස් සැඟවෙන්නේ එම ජීවිතාශාව නිසාය. මිනිසා ද සිය ආයුකලය දීර්ඝ කරගැනීම සඳහා දිගුකාලීනව නොනවතින අරගලයක යෙදී සිටී.

විද්‍යාඥයින් දිවා රෑ නොබලා ඒ සඳහා පර්යේෂණ කරති. එම විද්‍යාඥයින් ලෙඩ රෝග සඳහා ඖෂධ සොයාගෙන ඇති අතර මිනිසා අමරණීය කර ගැනීම සඳහා නව නිපැයුම් මෙතෙක් සොයාගෙන ඇත.

එහෙත් වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් පුදුමයට පත්කරමින් ශතවර්ෂය ඉක්මවා නිදුක් නීරෝගිව ජීවත්වන මිනිසුන් ලොව පුරා විසිරී සිටිති.

“යමෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණු කෙරෙහි ගැති නොවී ඉන්ද්‍රිය දමනය ඇතිව කෑමෙහි පමණ දැන, සැදැහැතිව වීය¸යෙන් යුතුව විසීමෙන් සුළඟට මහ පර්වතයක් සෙළවිය නොහැකි සේ කෙලෙස් මාරයාට ද ඔහු මැඩ ලිය නොහැක” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇත. උන්වහන්සේ සැවැත්නුවර, විසූ සුබ නම් තරුණයාට දේශනාකර ඇත්තේ සතුන් මැරීමෙන් වැළැකී සියලු සතුන්ට දයාව, අනුකම්පාව දැක්වීමෙන් දීර්ඝායු ලැබෙන බවත් ය.

දීර්ඝායු ලැබීම සඳහා මධ්‍යම ප්‍රතිපදාව ඉතා හොඳ ඖෂධයක් බව දෙසූ උන්වහන්සේ ආනන්ද තෙරුන් අමතා, “ආනන්ද යමෙකුට මනාකොට පුරුදු කරන ලද සතර ඍධිපාදයෝ වෙත්ද, ඉදින් හේ කැමති නම් කල්පයක් හෝ කල්පාවශේෂයක් විසිය හැකිය” යනුවෙන්ද දේශනා කර ඇත.

වසර සියය ඉක්මවා ජීවත් වූ බොහෝ දෙනා සොබාදහමට ළංව අල්පේච්ඡ ජීවිත ගත කළ අය බව තොරතුරු සොයා බැලීමේදී පසක් වී ඇත.

අප රටේද දීර්ඝායුෂ විඳියවුන් ගම්බද ප්‍රදේශවල ජීවත්වන අතර අපවත්වී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් සහ රේරුකාණේ චන්දවිමල හිමියන් එසේ ශතවර්ෂය ඉක්මවා ආයු වැලඳූ තෙරනුවන් දෙදෙනෙකි. සෝවියට් දේශයේ අසර්බයිජානයේ චෙරිකන් නමැති ගමේ විසූ ගිරින්ගයානොව් උපන්නේ 1817 දීය. චාම් දිවියක් ගත කළ ඔහු ඇඟ වෙහෙසා සිය ගොවිපලෙහි වැඩ කළේය. ආහාර වශයෙන් ගත්තේ කිරි, පලතුරු හා නැවුම් එළවළුය. පානය කළේ කඳුකරයෙන් ගලා හැළෙන දිය ඇලිවල සිසිල් පිරිසුදු ජලයයි. සිත කැලැඹිලි නොමැතිව දුම්පානයෙන් සහ මත්පැන් පානයෙන් වැළකී සෑහෙන වේලාවක් දිනපතා හිරුඑළිය යහමින් ඇති කඳුවැටිවල ඇවිද්දේය. 1971 වසරේදී මිය යන විට ඔහුගේ වයස අවුරුදු 154 කි.

ඉරානයේ වාසය කළ අබ්බාස් වක්සාර් වයස අවුරුදු එකසිය හතළිස් හතරක් ජීවත්විය. ජීවිකාව වශයෙන් ගොවිතැන්කළ ඔහු චාම් දිවියක් ගෙවීය. කය වෙහෙසා දිනපතා වැඩපල වල යෙදුණු ඔහු වැඩිපුර ආහාරයට ගත්තේ කිරි, එළවළු හා පලතුරු ය. ගලා යන දිය දහරා වල සිසිල් ජලය පානය කළේය. ඔහු බිරියන් තිස්හය දෙනකු විවාහ කර ගෙන ඇත. ඒ සියලු දෙනාම දීර්ඝායු විඳ ඔහුට පෙර මියගොස් ඇත. වේලාසනින් නින්දට ගොස් අළුයම අවදිවෙයි. වැඩි කාලය් එළිමහනේ ගත කරයි. තමාගේ දීර්ඝායු විඳීමේ රහස ගැන පවසන ඔහු මෙසේ පවසා ඇත. කිසිම ප්‍රශ්නයකින් සිත් තැවුල් ඇතිකර නොගැනීම සහ කිසිවකු සමඟ අඩදබර කර නොගැනීම මගේ ජීවිත කාලය දික්වීමට හේතුවී ඇත.

පරිසරයට ආදරය කිරීම, අසල්වාසීන් සමඟ සාමයෙන් ජීවත්වීම, හැඬීම, පසුතැවිලිවීම නොමැතිව සිනාසී ජීවත්වීම තම දීර්ඝායු විඳීමේ රහස බව ඩෙන්මාර්කයේ වැසියකු වූ ජාකොබ්සන් ඩ්‍රෙකන් බර්ග් පවසා ඇත. එළවළු, පලතුරු, පළා කොළ වැඩියෙන් කෑ ඔහු මස් මාංශ කෑවේ අඩුවෙනි. කේජු සහ මී පැණි ද අතුරුපසක් ලෙස සිය ආහාරයට එක්කරගෙන ඇත. කිසිදු මත්පැන් බීම දුම්බීම් නොකළ ඔහු හිමිදිරියේ පිබිදුණු විගස පිරිසුදු ඇල්දිය වීදුරුවක් පානය කළේය. ඔහු වසර 141ක් ජීවත්විය. සෝවියට් දේශයේ විසූ පනහල් වේලිව් වෘත්තියෙන් එඬේරෙකි. ඔහු ඇඟ වෙහෙසා වැඩකළ අතර අසුන් පිට නැඟී කැලෑවල සංචාරය කළේය. කිසිදිනක ප්‍රමාණය ඉක්මවා ආහාර නොගත්තේය.

අර්තාපල්, පලතුරු, කිරි හා මී පැණි සැමදා ඔහුගේ ආහාරය විය. දියඇලිවල ගලනා සිසිල් දිය ඔහුගේ එකම පානය විය. ඔහු වසර 134 ජීවත් වූ අතර මියයනතෙක් ඔහුගේ කන් ඇසීම, ඇස් පෙනීම තරුණයකුගේ මෙන් විය. ඉවසීම, සරල ආහාර, පිරිසුදු වාත්‍රාශය, පිරිසුදු සිසිල් ජලය මාගේ දීර්ඝායු විඳීමේ රහස බව ඔහු පවසා ඇත.

ලංකාවේ අයගම ප්‍රදේශයේ උපන් ක්‍රිස්තිනා නමැති කාන්තාව අවුරුදු 116 නිදුක් නීරෝගීව ජීවත්වූ බව පුවත්පත්වල පළවිය. කිසිදු වේලාවක කෝපයට පත් නොවූ ඇය දූවරුන් දෙදෙනකුගේ මවකි. තුන් මුනුපුරන්ගේද දරුවන් දැකීමට තරම් වාසනාවන්ත වු ඇය සුළු වශයෙන් ආහාරගත් අතර පළා කොළ මැල්ලුම දිනපතා ඇයගේ ආහාරයට එක්විය. දිනපතා මල්පහන් පූජාකළ ඇය අළුයම අවදි වී මුහණකට සෝදා සිය දෛනික කටයුතු වන පොල් ඇතු විවීම, පැදුරු වට්ටි ආදිය විවීම අරඹයි. ලැබෙන දෙයින් සතුටුවීම සහ සැහැල්ලු සිතකින් සිටීම දීර්ඝායු විඳීමට හේතුවන බව ඇය පවසා තිබුණි. බුද්ධ ශාසනයේද දීඝායු වැලඳූ භික්ෂූන් වහන්සේලා ගැන සඳහන් වේ. බක්කුල මහ රහතන් වහන්සේ වසර 160 ආයු වැළඳූ බවත් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතුන් වහන්සේ අවුරුදු 120 ආයු වැලඳූ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

 

පී.ඒ. කපුරුබණ්ඩාර ආරච්චි

තලාතුඔය විශේෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.