පොරොන්දම වැරදුණොත් ලැබීම නොලැබීමත් නොලැබීම ලැබීමත් වෙනවා

පෙබරවාරි 4, 2022

මෙහෙම ලිවුවේ කියවල අවසාන වන කොට වැඩියෙන් අවබෝධ කරවන්නයි. ඕනෑම දෙයක් උගැන්නුවට වැඩක් නැහැ අවබෝධ නොවෙනව නම්. නමුත් අවබෝධය තිබෙනව නම් උගැන්නුවේ නැති වුණත් වටහාගන්න හැකියාවක් තිබෙනවා.

උගන්වනවා කිවුවේ ගුරුවරයා විසින් තම ශිෂ්‍ය /ශිෂ්‍යාවන්ට යමක් කියාදීමයි. නමුත් අවබෝධය දැකීමෙන්, ඇසීමෙන්,සිතීමෙන් සිදුවනවා. ඕනෑම ජන්මපත්‍රයක බුධ යහපත්ව කේතා සමඟ 5-11 රාශිවල තැන්පත්ව හෝ බලය ඇතිව සිටීම සාමාන්‍යයෙන්, පසුගිය භවයකින් නිවැරදි දැනීම අරගෙන ආ කෙනෙක්. ඒ දැනීම කිසිවකුට මොට කරන්න අමාරුයි. සමහර දරුවෝ ඉන්නව පාඩමට මැලියි. ටී.වී. වැඩිපුර බලල සෙල්ලමටම තමයි හිත. නමුත් විභාගයකට ගියොත් සමත්. මේ ඒ අය තමයි බුද්ධිය පසුගිය භවයෙන් ගෙනා අය වන්නේ.

පසුගිය භවයෙක හොඳ බෙරවාදකයෙක් නම් කවුරු වුණත් ගුරුතුමා පන්තියේ උගන්වන විට ඩෙස් බංකුවට හරි තට්ටු කරනවා. ඕක නොදත් අපේ ගුරු මහත්මයා කොල්ලගේ කන මිරිකලා පන්තියෙන් එළියට දමනවා. ඔහු එතකොටත් කටින් බෙරයක හෝ තබ්ලාවක තාලය මතුරනවා. එදා විතරක් නොවේ අදත් එහෙමයි . පසුගිය භවයක දක්ෂ සංගීතඥයෙක් නම් ගණිත පාඩමේදීත් ඉන්නෙ සංගීත කාමරේ. එතකොට ගුරු මහතාට ධර්මය අධර්මය වගේ පේනවා. මේවා විශේෂයෙන් ගුරුවර මහතුන් දැනගන්නම ඕනෑ දේවල්. අපේ දරුවන්ට ගස් යන්ට, පීනන්ට උගැන්නුවේ මොන පන්තියෙ ද? ඔය පිටරට පදක්කම් පවා ගන්නේ මම ඉගෙනගත් විදියට . යමක් වටහාදෙන්න පළමු හා දක්ෂම ගුරුවරයා තමයි අප බුදුරජාණන් වහන්සේ. ඇයි අහල නැද්ද චුල්ල පන්ථක, මහා පන්ථක, පටාචාරා , කිසාගෝතමී යන අයගේ ප්‍රශ්න නිරාකරණය කළ ආකාරය. කිසිවක් උගැන්නුවේ නැහැ. අවබෝධ කරගන්නාවූ මාර්ගය සැලැස්සුවා මිස. ඕනම කෙනකුට ඕනෑම දෙයක් කරන්න ඉගෙනගන්න අවබෝධ කරගන්න භවයේ පින තියෙන්න ඕනෑ. භවයේ පුරුද්ද තිබෙන්න ඕනෑ. ඒකයි කිවුවේ දුටු පුරුද්ද. ඇසූ පුරුද්ද. භව පුරුද්ද අවශ්‍යයි කියලා.

ඡ්‍යොතිෂ්‍ය ගැන හදාරන කොට රාශි චක්‍රයේ 9 හා 10 රාශි, ධර්ම ,කර්ම රාශිවලින් ද මේ භව පුරුද්ද පෙන්නුම් කරනවා. විශාල මාලිගාවල ඉපදිල රජ සැප විඳලා අනුන්ගේ තැනක එහෙමත් නැත්නම් රෝහලක හෝ අතහැරදැමූ ස්ථානයක අවසන් ගමන් යන බව 9 හා 10 රාශිවල විශාල වශයෙන් පෙන්වනවා. කන්‍යා ලග්න හිමියන්ගේ ජන්මපත්‍රවල ලග්නය හෝ විවාහක ස්ථානය හෝ ශත්‍රා ස්ථානය සුබ චන්ද්‍රයාට සප්තම් දෘෂ්ටියට අසු නොවුණොත් අනිවාර්යයෙන්ම එයා අවසන් ගමන් යන්නෙ එයාගෙන් කාල බීලා ළඟින්ම ඇසුරු කළ කෙනෙක් අතින්.

අපටම සිදුවන මේ වගේ දේවල් අපේම ජන්මපත්‍රයේ ග්‍රහ පිහිටීමෙන් පෙන්නුම් කරනවා. ඒ බව නොදත් එකනේ ප්‍රශ්නය නේද? කේන්දරයක ගුණාගුණ කියන එක එච්චර පහසු නැහැ. නොදත් කෙනාට. නමුත් ඊටත් වඩා අමාරුයි කේන්දරයක් තවත් කේන්දරයකට ගළපා පොරොන්දම් බලන එක. පොරොන්දම් බැලීම කිවුවේ දෙදෙනකුගේ ඉරනම් විසඳීමක්. හරිම පරික්ෂාවෙන් බලන්න ඕනෑ. දෝස භංග වීම් ගැනත් බලන්න ඕනෑ. මේ පොරොන්දම් බලන කොට මේ බලන්නේ මගේ දුවනියගේ නැත්නම් මගේ පුතාගේ කියල හිතාගෙන බැලුවාම හරි. ප්‍රශ්න ගැටලු හටගන්නෙ නැහැ. නිවැරදි වාර්තාව ලැබෙනවා.

කේන්දරයක ග්‍රහ පිහිටීම ගැන සාමාන්‍ය තොරතුරු ඔබ දන්නවා. විශේෂයෙන් සෙනසුරු, අඟහරු , රාහු ගැන . මේ ග්‍රහයෝ සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පාපි ග්‍රහයෝ කියල. මම නම් හිතන්නේ අනිත් ග්‍රහයොත් නරක් වුණාම මේ වගේම නැත්නම් මීටත් වඩා විපාක දෙනවා. හැබැයි අර අනිත් පාපි ග්‍රහයෝ වගේ ප්‍රසිද්ධ ලෙස නොවේ. මුළු ශරීරයම හිරි වට්ටලා එක අංශයක් සඳහටම අඩපණ කරන්නෙ රවි කියන ග්‍රහයා මොලේ ලේ කැටියක් හිරකරලා. බ්‍රහස්පතිත් නරක් වුණොත් වැටීමක් කරල තත්වය බරපතළ කරනවා. මොකද ඒ අය ස්නායු නහර වලට ප්‍රධානයි. බෝධි සත්වයන් වහන්සේට දුෂ්කර ක්‍රියා කරන්ට හිත් දුන්නෙත්, අහිංසකව ,අංගුලිමාල කළේත් මේ සුරගුරු නරක් වෙලා. ගමන් බිමන් යන විට හිතාගන්න බැරි හිරිහැර කරන්නෙ ඔයාලා මනමාලයා කියන සිකුරා නරක් වුණාම ඒකනේ. “ගුරුර් විවාහේ. ගමනේච ශුක්‍රෝ” කිවුවේ. ඕනෑම ග්‍රහයෙක් කිසියම්ම රාශියක නරකට පතිත වුණොත් තමයි විපාක නරකට දෙන්නේ. හොඳට පතිත වුණොත් ප්‍රශ්නත් නැහැ. වාසියට විපාකය දෙනවා. විපාකය කිවුවේ ප්‍රතිඵලය. ආධුනික ඔබ විවේක වේලාවට මේ පුංචි ස්ලෝක කියවන්න . ඉතාම වැඩි හරියක් අන්තර් දශාවේදී ප්‍රතිඵල දෙනවා. ඕනෑම මනුෂ්‍යයකුට ඒ ඒ කාලසීමාව පසුකරන විට අත්‍යාවශ්‍ය දේවල් තිබෙනවා. ඒවා ඒ ඒ කාලසීමාව තුළම කළොත් ප්‍රයෝජන වැඩියි. ඡ්‍යොතිෂයේ නිවැරදිව පාවිච්චි කළොත් උරුම දේ ඒ ආකාරයටම ලැබෙනවා. වැරදියට පාවිච්චි කළොත් කරුමය පලදෙනවා. එක එක කාලෙට ග්‍රහ කිරණ වෙනස් වනවා. ඒ තත්කාල කේන්දරයේ උත්පත්ති කේන්දරයේ මරණය ගැන නොකිවුවට මැරෙන කාලය මැරෙන හැටිත් පෙන්වනවා. මුලින්ම යමෙක් ඉපදුණාම බාලාරිෂ්ඨ යෝග වැඩියෙන් පරික්ෂා කරන්න ඕනෑ. ඒක වැඩිපුර ආයුෂ කියන අෂ්ඨමයෙන් කරන්න ඕනෑ. 9,10 ත් උපයෝගි කරගෙන ටිකක් ලොකු වෙනකොට මූලික අධ්‍යාපනය ගැන බලන්න ඕනෑ. ඒක බලන්නේ 5 ශිල්පස්ථානයේ බුධ කේතා හිටිය නම් ගොඩ තමයි. ඊළඟට උසස් අධ්‍යාපනේ 11 වැනි රාශිය (විවාහකස්ථානය සමඟ සම්බන්ධ නොකර) මොකද මේ දෙක එකතු වුණත් අනියත මාරක 2,7 නියත මාරක වගේම 11 හා 7 අනියත මාරක, බව දැනගනිමු. ඊළඟට විවාහය. ඔන්න ඔතැන තමයි දෙවැනි සන්ධිස්ථානය. මෙතැන නිවැරදි නොවුණොත් ජීවිතයම සොරි තමයි. පොරොන්දම් වරද්දලා කිවුවොත් ලැබිය යුතු සුරංගනාවි නොලැබී, දන්නවනේ ලැබෙන කෙනා. අනිත් පැත්තත් එහෙමම තමා. මත්පැන් බොන කෙනෙක් වෙනුවට මත්පැන් නාන කෙනෙක් ලැබුණොත් ඉවරටම ඉවරයි. දියුණුවට කණ කොකා හඬාවි. අද දික්කසාද වෙලා ආපසු ගෙදර ආ දෙපාර්ශ්වයම එක් අයෙක් වත් ඒක කලින් හිතුවද? ආදරයෙන් වැලඳගෙන සදහටම ඔබ මගේ කිවු ඔබට මොකද වුණේ. කල් යනවිට ඔබ මගේ නොවුණේ ඇයි.? මේ නරක ග්‍රහ පිහිටීම් කවුරුත් දැක්කේ නැද්ද? දැක්කා. එක් අයෙක් දැක්කා. එහෙනම් නොදැක්කා වගේ හිටිය ද? එහෙමත් නැත්නම් කියන්න දැනුමක් තිබුණෙ නැද්ද? ඡ්‍යොතිර්වේදියා දක්ෂ නම් මේවා දකින්නම ඕනෑමයි. පොරොන්දම් කිවුවේ ඉරනම්කාරයා හොයාදෙන පරික්ෂාවයි. විවාහය නොකැඩුණත් හැමදාම දරුවො හද හදා කදුළු බිබී හිටියොත් සතුට නැතිවේවි.

“සංතුෂ්ඨීච පරමං ධනං” කිවුවේ සතුට පරම ධනය නිසයි. දුවේ පුතේ පොරොන්දම් බලන්න නිවැරදිව කිවුවාම 22 වැනි දෙර්කාණාධිපතියා වගේ දුරට බලන්න ඕන නැහැ. එයා හැමදාම විවාහයට නරක බව දන්නවනේ. බාධකයිනේ. ඔය පන්තිවල දැනුමෙන්, සරල දැනුමෙන් පොරොන්දම් බලන්න ගියොත් කවුරුවත් විවාහවන එකක් නැහැ.

ඕනෑම කෙන්දරයක රවි, අඟහරු, සෙනුසරු හා රාහු ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 7 හෝ 8 හිටියොත් ඒ විවාහය දෙදරනවාමයි. මේක දෙපාර්ශ්වයටම පොදු කාරණාවක් හොඳේ.

මෙහෙම ලිවුවට අනවශ්‍ය බය ගන්නත් එපා. වැඩිපුරම වන්නේ, පිහිටීම හතුරුවෙලා හෝ නීච වෙලා. අවචන්ද්‍රයා වන්නත් ඕනෑ. විවාහයට චන්ද්‍රයා ඉතා වැදගත් ග්‍රහ පිහිටීමක්. ඒ පුර චන්ද්‍රයා හා අවචන්ද්‍රයා කියලයි හඳුන්වන්නේ. මේ චන්ද්‍රයා කොච්චර වැදගත් ද කිවුවොත් පුර චන්ද්‍රයා කිවුවේ. සෙනෙහස පුරා ඇති දයාබර අම්මා, අවචන්ද්‍රයා කිවුවේ කෲර නැන්දම්මා, අනික තෝරා ගන්නා සහකාරිය මාතු භාර්යාව හෝ දාස භාර්යාව වුණොත් ඔබ තරම් වාසනාවන්තයෙක් නැති තරම්.

සඳු, සිකුරු, දෙදෙනා හා අඟහරු – බ්‍රහස්පති දෙදෙනා බලවත් නම් ඒක යහපත් පිහිටීමක්. අඟහරුවයි, චන්ද්‍රයයි එකට යෝග වීම නරකයි. කවුරු වුණත් විවාහ පොරොන්දම නම් හෙමින් සැරේ හොඳින් බලන්න ඕනෑ. මේක අවවාදයක් නොවේ මගේ පුංචි අදහසක්. පොරොන්දමක් බලනකොට කෙරෙන්නෙ ලකුණු මට්ටමක් පරික්ෂාවක්. ඒ කිවුවේ ග්‍රහ පොරොන්දම් සියයට කීයද? දස පොරොන්දම, විසි පොරොන්දම, සියයට කීයද? අෂ්ඨනාඩි කූඨය කොහොමද කියන එක විතරයි, ඒක මදි. ලකුණු හරි ගියා කියමු. පොරොන්දම ගණ, නාඩි නරක් වුණොත් එච්චර කාරි නැහැ. ඒත් ලිංග, යෝනි, වෘක්ෂ, පොරොන්දම් හරි නැත්නම් දරු සම්පත් ප්‍රශ්න පැන නඟිනවා. බොහෝ විවාහ දෙදරන්නෙ ඔතනින්. අනික රාහු, ශනි, යෝග හා රවි සඳු යෝගවලින් ස්ත්‍රිය හා පුරුෂයා සැක කරන යෝග ඇති කරනවා. මේවා පවුලේ ඡ්‍යොතිර්වේදියට කියල තෝරල බේරල ගන්න. ඔහු ඉන්නෙ මේ පාර්ශ්වයෙන් ඔබට උදව්කරන්න. නිවැරදි පොරොන්දම් බලලා විවාහයක් කරලා යහපත් රටට උරුම දරුවන් බිහි කරන්න දුවේ, පුතේ.

 

මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.