හදවත ඇසුරු කරගෙන පවතින චිත්ත බලය

ඔක්තෝබර් 22, 2021

සුසුම් යනු හුෂ්ම ගැනීම හා හෙලීම සඳහා භාවිතාවේ යෙදෙන අලංකාර විශේෂණ වචනයෙකි. කවියන් ගීත රචකයන් මෙන්ම ගද්‍ය පද්‍ය රචකයන් සිය සාහිත්‍ය නිර්මාණ කරනයේදී මෙම වචනය බොහෝ විට යොදා ගනු ලැබේ.

 

සතුට පී‍්‍රතිය මෙන්ම දුක ශෝකය ප්‍රකට කරවනු ලබන නාසිකාවෙන් ඇතුළු වන හා පිටවන හුෂ්ම ගැනීමේ ස්වභාවයට අනුව ඒ තුළ ගැබ්වී ඇත්තේ ශෝක සුසුමක්ද, පී‍්‍රති සුසුමක්ද, දුක් සුසුමක් ද වශයෙන් පුද්ගල මනෝභාවාත්මක හැඟීම් විග්‍රහ කිරීමට සුසුමේ ස්වභාවය උපයෝගී කර ගනී.

හුෂ්ම ගැනීම හා හෙළීම ස්වභාවයෙන් සිදුවන ක්‍රියාවලියකි. කිසිවකු හිතා මතා හුෂ්ම ගන්නේ නැත. සිතා මතා හුෂ්ම ගනිමින් හෙලමින් සිටින්නට සිදු වූවානම් අපට වැඩිකල් ජීවත් වීමට නොහැකිවීමට ඉඩ ඇත. මන්ද හුෂ්ම ගැනීමට අමතක වීමෙන් මිය යන නිසා ය.

සිතක ජනිත වන්නාවූ භාවාත්මක හැඟීම් මුසු වූ චිත්ත ආවේගවලට අනුරූපව හුෂ්ම ගැනීමේ හා හෙලීමේ වේග රිත්මයන් වෙනස්වී එම වායු ධාරාවන්ගේ බලය වාතය හා මුසුවීම තුළින් ජනිත වන ගුප්ත ශක්තිය කුමක්ද යන්න විමසා බලා තේරුම් ගැනීමට පිළිවන.

සිත හෙවත් චිත්ත බලය හෘදය වස්තුව කේන්ද්‍රකොටගෙන පවතින අතර ශරීරයේ ලේ ධාතුව ගමන් කරන හා පවතින සෑම ස්ථානයකම සිතේ අනසක ආධිපත්‍ය පැතිරී පවතී. ලේ ධාතුව නැති ස්ථානවල චිත්ත බලය නැත. කෙස් අග, නිය අග, දත් අග කැපුවාට සීරුනාට, වේදනාවක් නොදැන්නේ එම නිසා ය.

 

දූරං ගමං ඒකචරං

අසරීරං ගුහාසයං

යේ චිත්ත සඤ්ඤ මඤ්ඤස්ස

මොක්ඛන්ති මාර බන්ධනං

යනුවෙන් බුදුරජාණන් වහන්සේ චිත්තය හෘදය කෝෂය ඇසුරු කොට පවතින බවත් එයට හැඩයක් පැහැයක් නැති අසරීරං හෙවත් ශරීර ස්වභාවයක් පැනවිය නොහැකි බවත් ක්ෂණයකින් ඕනෑම තැනකට දුරකට යා හැකි බවත් දේශනා කොට එවන් සිත දමනය කර ගැනීමෙන් මරණයෙන් මිදී මෝක්ෂය හෙවත් නිදහස ලැබෙන බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දේශනා කොට ඇත.

නාස් පුඩුවලින් සිරුර තුළට ඇද ගන්නා වාතය පෙනහළු මඟින් පිරිපහදු කර හෘද කෝෂය තුළට ගියපසු එම පීඩන බලයෙන් ශරීරය පුරා ලේ ධාතුව පොම්ප කරවනු ලැබේ. මෙහිදී සිතේ පවතින භාවාත්මක සිතුවිලි වාතය හා ලේ ධාතුව සමඟ මුසුවී ශරීරය පුරා ගමන් කරන අතර එම සිතට අනුව ශරීරයේ ප්‍රතික්‍රියා සිදුවේ. බියක් කෝපයක්, සතුටක්, පී‍්‍රතියක් ඇති වූ විට හෘද ස්පන්දනය අඩුවීම හෝ වැඩිවීම ශරීරයේ පැහැය වෙනස්වීම් රතුපාට, කළුපාට,දම්පාට වර්ණ ඇතිවීම, වෙව්ලීම, හිරිගඬු පිපීම, රෝම කූප කෙළින්වීම ආදී බොහෝ ලක්ෂණ ඇති වේ. මේ බව බුදුරජාණන් වහන්සේ ආනාපානා සති සූත්‍රයේ මෙසේ පෙන්වා දී තිබේ.

 

සබ්බකාය පටිසංවේදී

අස්ස සිස්සාමිති සික්ඛතී

සබ්බකාය පටි සංවේදී

පස්ස සිස්සාමිති සික්ඛතී

යනුවෙන් සිත්තුළ ජනිතවන චිත්තය හුෂ්ම ගන්නා විට දී මෙන්ම හෙලනා විටදී ද මුළු ශරීරය පුරා එය සංවේදී වෙන බවයි.

හිතට තදබල දුකක්, කණගාටුවක්, වේදනාවක් දැනුණ විට එම ශෝක චිත්ත ආවේගයේ ස්වරූපයෙන් හුෂ්ම කැඩි කැඩී ඉහළට ගැනීම මෙන්ම පහත හෙළීම සිදුවේ. මෙයට අප හූල්ලනවා යැයිද කියති. වියෝ දුකක් ඇති වූ විට හඬා වැලපී අවසානයේ විඩාවට පත් වූ විට ශෝ සුසුම් හෙළීම පමණක් සිදුවේ. කුඩා ළමුන් පවා බොහෝ හඬා හැඬීමට නොහැකි වූ විට හූල්ලමින් ශෝ සුසුම් හෙළනු ලබයි.

ශෝ සුසුම් හෙළීම බොහෝ විට සිදුවන කෙනෙකු සමඟ බොහෝ සමීපව ආදරයෙන් බැඳී සිටින අය මරණයට පත්වීම, වෙන්වයාම, වැනි අවස්ථාවලදී ය. කාලිදාස රජතුමා මේඝ දූතය නම් සන්දේශ කාව්‍යයට වස්තු බීජය කොට ගත්තේ මෙසේ සිත්තුළ පහළවන ශෝකයේ පණිවිඩය වේ.

කෙනෙකු ශෝ සුසුම් හෙලන විට එම චිත්ත වේගය වාතය සමඟ මුසුවී ඒ අවට සිටින අයට ද එම හැඟීම සංවේදී වී ශෝකයට දුකට පත් වී නෙතඟට කඳුළු උනයි. මළ ගෙවල්වලදී මෙන්ම මංගල උත්සවවලදී මනාලිය නිවසින් පිටත්ව යන අවස්ථාවල මෙවැනි අවස්ථා සුලභබව දැක ගැනීමට ලැබෙයි.

පී‍්‍රතියක් සතුටක් සිතට දැනුණ විට එනිසාද හදවතේ ගැස්ම වැඩිවේ. ඒ සමඟම රුධිර පීඩනය ද වැඩිවී සතුට ඉහවහා ගොස් මරණයට පත් වූ අවස්ථා ගැන තොරතුරු වාර්තා ඇත. පී‍්‍රතියක් දැනුණ විට එම වේගය හුෂ්ම සමඟ මෙන්ම සිනා පහළවීමෙන්, එම වායු දාරාව මුඛයෙන් ද පිට වී යයි. එය අසල සිටින අයට සංවේදී වී පී‍්‍රතියක් සතුටක් ජනිත කරවනු ලබයි.

ක්‍රෝධයක්, වෛරයක්, දැඩි ආශාවක්, මෝහයක් වැනි නපුරු පාප සිතිවිලි ඇති වූ විටද

හුෂ්ම ගැනීමේ රිද්මය වෙනස්වී කෙටි හා වේගවත් ස්වරූපයෙන් හුස්ම ගැනීම සිදුවේ. මෙවන් අවස්ථා ක්‍රෝධයෙන් පුපුරණ හා පිච්චෙන අවස්ථා ලෙස හඳුන්වයි. ඇස් ලොකු වී රතුවීම, ශරීරය කළුපැහැ ගැන්වීම වෙවුලීම, දත්මිටි කෑම, වේගයෙන් හා ශබ්දයෙන් වචන කතා කිරීම ඇතිවේ. නාසයෙන් පිටවන හුෂ්ම දාරාවේ තාපය වැඩි වී උණුසුම් වී ශරීරයද රත් වී යයි. ක්‍රෝධය, වෛරය මුසු වූ සුසුම් නිසා අවට සිටින අයවලුන් තුළද අමනාපය, අකමැත්ත, තරහව වෛරය, ජනිත කරවනු ලබයි. මෙයට හෝවහ කියාද කියනු ලැබේ. මේ කරුණු තුළින් මනාව පැහැදිලි වන්නේ චිත්ත බලය හදවත ඇසුරු කරගෙන පවතින බව ය. කෙනෙකුට සතුටක්, දුකක්, බියක් හටගත් වහාම හදවතේ ගැස්මක් ඇති වන්නේ සිතේ කේන්ද්‍රස්ථානය හදවත වන නිසා ය.

බොහෝ දෙනෙකුට හිතෙන්නේ හිත හිස ඇසුරුකොට ගෙන නළල් තලය යට මොළය හෙවත් මනස තුළ ඇතිවාක් මෙන් ය. ඊට හේතුවන්නේ සිතිවිලි ජනිත කරවන ඇස, කණ, නාසය, දිව, මනස සම ආදී මූලික ඉන්ද්‍රියන් සියල්ලම හිසේ පිහිටා තිබීම හා මුළු ශරීරය පුරා පැතිරී පවතින ස්නායු පද්ධතිය මනස හා සම්බන්ධ වී තිබීමත් නිසාවෙනි. ශෝ සුසුම්, දුක් සුසුම්, පී‍්‍රති සුසුම් හෙලමින් ජීවත් වන මිනිසුන් ඇතුළු සියලුම සත්වයන් ජීවිතය අවසන් කරන්නේද සුසුමක් හෙලමින්ම ය.

 

ඡ්‍යොතිෂවේදී කොබ්බෑවල

සුමනදාස වීරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.