ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය පාඩම් මාලාව 1 හැඳින්වීම

සැප්තැම්බර් 3, 2021

 

ඉතා සරල ලෙස ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඔබ වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම ලිපි පෙළ සකස් කර ඇත. ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය යනු, පෙරදිග ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයේ නව රැල්ලක් ලෙස හඳුන්වමින් ඉතා නිවැරදි ලෙස පලාපල කථනය කළ හැකි තවත් ක්‍රමයකි.

 

ශ්‍රී ලාංකික සිංහල ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයන් සඳහා ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයේ ද්වාර විවෘත වූයේ කිතු වසින් 1971 දී පමණ කාලයේ දී ය. ඒ පල්ලේගම බෝපිටියේ සිටි බී.දනන්සූරිය ශූරීන් විසින් එවකට, මෙරට තිබූ මුල්ම සතිපතා “ඉරණම” ඡ්‍යොතිෂ්‍ය පත්‍රයේ පළමුවරට සිංහල පාඩම් මාලාවක් අරඹමිනි.

ඉන් අනතුරුව ක්‍රිස්තු වර්ෂ 1994 දී “සුබසෙත” ඡ්‍යොතිෂ පත්‍රයේ ද ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය සිංහල පාඩම් මාලාවක් පළවිය.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය නිර්මාතෘ ඡ්‍යොතිෂ්‍ය මර්තන්ඩ, සෝතිද මන්නන්, කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති ශ්‍රීමතාණන් ක්‍රිස්තු වර්ෂ 1901 දී උපත ලබා 1972 වසරේ දී අභාවප්‍රාප්ත විය. එයට පෙර 1971 වසරෙහි දී එතුªමා අප රටෙහි විශේෂ දේශණ කිහිපයක් පවත්වා ඇත. එහිදී එතුමා නවීන වරහාමිහිර යනුවෙන් හඳුන්වා ඇත. මේ සංචාරය සඳහා මාතලේ ඒ. සිවපාතම්, බී. දනන්සූරිය සහ ඇම්.බර්ටි පීරිස් යන ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥයන්ගේ සහ “සුබසෙත” පත්‍රයේ අනුග්‍රහය ද ලැබී ඇත. ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය පිළිබඳ අතීතයෙන් බිඳක් ගෙන ඒමට අවස්ථාවක් ලැබීම අපගේ ද භාග්‍යයන් වන අතර දැන් අපගේ ගමන අරඹමු.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව විශ්ලේෂණය කිරීමේ දී, යම් ග්‍රහයෙකු විසින් දෙනු ලබන ප්‍රතිඵල වන්නේ එම ග්‍රහයා තැන්පත්ව සිටි නක්ෂත්‍රය හිමි ග්‍රහයා නිවේදකත්වය දරණ භාව ප්‍රතිඵල වෙ. මෙකී ප්‍රතිඵලවල ප්‍රභවය සහ ස්වභාවය එම ග්‍රහයා නිවේදකත්වය දරණ භාව අනුව වෙති. එම ප්‍රතිඵලවල සුබ හෝ අසුබ බව එම ග්‍රහයා තැන්පත්ව සිටි උපස්ථානය හිමි ග්‍රහයා නිගමණය කරයි.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ මූලික හරය එයයි. මෙය මනාව වටහා ගත් විට ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුව ඉතාමත් පැහැදිලි ලෙස නිවැරදිව පලාපල කථනය කිරීම මෙන්ම කාල නිගමණයද කළ හැක. මේ නිසා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ දී පලාපල කථනය කිරීම සඳහා යම් ග්‍රහයෙකුගේ හෝ භාවයක ජන්ම පත්‍රයේ හෝ තත්කාල කේන්ද්‍රයේ ඒවායේ පිහිටීම දක්වන භාවය, නක්ෂත්‍රය සහ උපස්ථානය යන ස්ථාන මොනවා දැයි සොයා ගත යුතු වෙයි. එම නිසා මෙහිදී භාව කේන්ද්‍රය යොදා ගැනීමට සිදු වෙයි. එය සකසා ගැනීම සඳහා මද වෙහෙසක් දැරිය යුතුවෙයි. එහෙත් ගණක යන්ත්‍රයක් හෝ සරල පරිගණක යන්ත්‍රයක් උපයෝගී කර ගැනීමෙන් මඳක් පහසු වෙයි. භාව කේන්ද්‍රය තුළින් ග්‍රහයන්ගේ සහ භාවවල, නක්ෂත්‍ර සහ උපස්ථාන යන ස්ථාන ලබා ගත හැක.

මෙම කොටසද හැඳින්වීමයි. ආරම්භය නොවේ. මේ නිසා ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය යනු ඉතාමත් සංකීර්ණ වූ සහ ගණනය කිරීම්වලින් ගහණ වූ විෂයයක්ය යන ව්‍යාජ සංකල්පය නොසලකා සරලව ආරම්භ කරමු. අපට ජය ලැබේ.

රාශි චක්‍රය

රාශි චක්‍රය ගැන හඳුන්වා දෙමින් ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය ගැන ආරම්භ කරමු. රාශි චක්‍රය අංශක 360කින් යුතු තාරකා වළල්ලකි. එහි ආරම්භය මේෂ රාශියේ අංශක 000 සිටය. රාශි චක්‍රය මේෂ රාශියේ සිට එකක් අංශක 30 බැගින් වන රාශි 12කින් යුතු වෙයි. මෙම රාශි 12 පිළිවෙලින් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ සහ මීන නම් වෙති.

වළාකුළුවලින් තොරවූ රාත්‍රියක අහසෙහි ඇති සමහර රාශීන් හඳුනාගත හැකි වෙයි. රාත්‍රී අහසෙහි නැඟෙනහිර සිට බටහිර දෙසටත්, උතුරු ක්ෂිතජයේ සිට දකුණ දක්වාත් තාරකා රටාවන් විශාල සංඛ්‍යාවක් නිරීක්ෂණය කළ හැකි ය. මුළු අහස් ගැබ සිසාරා තාරකා රටාවන් 80ක් පමණ ඇතත් හිරුගේ ගමන් මාර්ගයට පසුබිමෙහි ඇති තාරකා රටාවන් 12කින් රාශි චක්‍රය නිර්මිත වී ඇත. එනමුදු එක් රාත්‍රියකදී නැඟෙනහිර ක්ෂිතිජයේ සිට බටහිර ක්ෂිතිජය දක්වා අපට නිරීක්ෂණය කළ හැකි වන්නේ රාශි චක්‍රයෙන් අඩක් හෙවත් රාශි චක්‍රයට අයත් රාශි 6 කට අයත් තාරකා රටාවන් පමණි, ඉතිරි රාශි හය ඇත්තේ ක්ෂිතිජයෙන් පහළය. මෙම තාරකා රටාවන් මඟින් සෑදී ඇති පටියක් වැනි ප්‍රදේශයක් පසුබිම් කරගෙන ග්‍රහයන්ගේ චලනය සිදුවෙයි.

අප මෙම රාශි චක්‍රය නිරීක්ෂණය කරනු ලබන්නේ පෘථිවියේ යම්කිසි ස්ථානයක සිටය. අපගේ සක්වල වළල්ලට අයත් වන කුඩා ප්‍රමාණයේ තාරකාවක් වන සූර්යයා වටා ඉලිප්සයාකාර ගමන් මාර්ගවල පිළිවෙලින් බුධ, සිකුරු, පෘථුවිය, කුජ, ගුරු සහ ශනි යන ප්‍රධාන ග්‍රහයන් 6 දෙනාගේ ගමන් සිදුවෙති. ඒවායින් ඔබ්බෙහි යුරේනස්, නැප්චූන් සහ ප්ලුටෝ යන ග්‍රහයන්ද සූර්යයා වටා ඉලිප්සයාකාර මාර්ගවල යති. පෘථිවියේ උප ග්‍රහයා වන චන්ද්‍රයා එය වටා භ්‍රමණය වෙයි. ගුරු සහ ශනි ආදී තවත් ග්‍රහයන් වටා භ්‍රමණය වන චන්ද්‍රයන් කිහිප දෙනෙකු වෙතත් ඔවුන් කෙරෙහි මෙතෙක් වැඩි සැලකිල්ලක් දක්වා නැත.

ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රාණුකූලව අප පෘථිවියේ සිට මෙම ග්‍රහයන් නිරීක්ෂණය කරන විට අප වටා සූර්යයා හෙවත් හිරු සහ බුධ, සිකුරු, කුජ, ගුරු සහ ශනි යන ප්‍රධාන ග්‍රහයන් 6 දෙනාගේ ගමන් සිදුවෙති. පෘථිවියේ උප ග්‍රහයා වන සඳුද තවත් ග්‍රහයෙකි. එවිට අප වටා යන ප්‍රධාන ග්‍රහයන් 7 දෙනෙකි. හිරුගේ ගමන් මාර්ගය වටා පෘථිවිය යද්දී එය වටා යන සඳුගේ ගමන් එකිනෙක හරහා යන ස්ථාන දෙක රාහු සහ කේතු ලෙස හැඳින්වෙති. ඔවුන්ද ඇතුළු කළ විට ප්‍රධාන ග්‍රහයන් 9 දෙනෙකි. මෙම නව ග්‍රහයන්ට අමතරව ආදී අහස් ගවේශකයන් විසින් ඉන්ද්‍ර, වරුණ සහ යම ලෙසට හඳුනාගෙන සිටි යුරේනස්, නැප්චූන් සහ ප්ලුටෝ යන තිදෙනාද ග්‍රහයන් ලෙස ගත්විට අප වටා යන ග්‍රහයන් 12 දෙනෙකි. එහෙත් 2006 දී තාරකා විද්‍යාඥයන් කිහිප දෙනෙකු සහභාගී වූ සමුළුවක් මඟින් ග්‍රහෙකුගේ හැසිරීම් රටාව අනුගමණය නොකරන්නේ යයි සඳහන් කරමින් ප්ලුටෝ, ග්‍රහ මඩුල්ලෙන් ඉවත් කර ඇත. කෙසේ වුවද ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රාණුකූලව ප්ලුටෝ ග්‍රහයාගේ ක්‍රියාකාරීත්වය සමහර අංශවලදී ඉතාමත් බලවත්ව මතුවන හෙයින් නැවතත් ප්ලුටෝගේ ආගමණයක් සිදුවීමට ඉඩ ඇත.

අප මෙම සියලුම ග්‍රහයන් නිරීක්ෂණය කරනු ලබන්නේ පෘථුවියේ සිට හෙයින් ඔවුන්ගේ පිහිටීම් භූ කේන්ද්‍රීය ස්ථාන ලෙස දැක්වෙති. හිරුගේ සිට තාරකා වළල්ලට ඇති දුර ප්‍රමාණයේ විශාලත්වය හේතු කොටගෙන අප හිරුගේ හෝ හිරුට අයත් ඕනෑම ග්‍රහයෙකුගේ සිට තාරකා වළල්ල නිරීක්ෂණය කළත් එහි භූ කේන්ද්‍රීය ස්ථානවලට වඩා පැහැදිලි වෙනස්කමක් හඳුනා ගත නොහැකි වෙයි. කෙසේ වුවද හිරු කේන්ද්‍රීය ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රාණුනූල කටයුතු කෙරෙහි බොහෝ විද්වතුන්ගේ අවධාණය යොමුව ඇත.

ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රානුකූල කටයුතු සියල්ලම සිදුවන්නේ රාශි 12 ක් සහ එම රාශි තුළ සිටින ග්‍රහයන් 9 (හෝ 12) දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය මතය. දැන් මෙම රාශි සහ ග්‍රහයන් අතර ඇති සම්බන්ධතාවයන් ගැන සලකා බලමු.

මෙම මේෂාදී රාශි 12 හි අධිපති බව දරණ ග්‍රහයන් 9 දෙනා පිළිවෙලින් මෙසේ ය.

රාශිය අධිපති

මේෂ කුජ

වෘෂභ සිකුරු

මිථුන බුධ

කටක සඳු

සිංහ හිරු

කන්‍යා බුධ

තුලා සිකුරු

වෘශ්චික කුජ

ධනු ගුරු

මකර ශනි

කුම්භ ශනි

සහ මීන ගුරු

කුම්භ රාශිය තුළ යුරේනස් ද, මීන රාශිය තුළ නැප්චූන් සහ මේෂ රාශිය තුළ ප්ලුටෝ ද ස්වක්ෂේත්‍ර වෙති.

 

ජී.එච්.ඩබ්ලිව්. සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.