ඇදහිලි අතර කිල්ල

අගෝස්තු 20, 2021

කෙනෙක් සමාජයක් හෝ දෙයක් සම්බන්ධව ඇති වන කිල්ල ගැන නියම කාලය තුළදී විය හැකි අනිටු විපාක වළක්වා ගැනීමට නම් නියමිත චාරිත්‍ර විධි පැවැත්විය යුතුයි. ශරීරය අනුව බොහෝසේ කිලි ඇති වෙන්නේ කාන්තාවන් සම්බන්ධයෙනි. ලෙඩ දුක්, මරණ, දරු උපත් ආදිය පිළිබඳව ද ඇති වන කිලි ගණනාවක් තිබේ.

 

අවසර නැති වෙන්කොට තැබිය යුතු කිළිටි අපිරිසුදු යන අදහස් පැවසීමට සිංහල ජනයා අතර කිලි යන වචනය ව්‍යවහාර වන බව මුලින්ම කිව යුතුය. යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් හා සමාජය පිළිබඳ මේ හැඟීම අනුව ඇතැම් විට ඒ වාතාවරණය පවා කිලුටු ලෙස සලකයි. පවුල හෝ පුද්ගලයා සමාජය විෂයෙහි ඇති වන බිය සැක නිසා මේ හැඟීම උපදී. කිල්ල ගැන නොසලකන අයට එයින් භයානක විපාක ඇති වන බව විශ්වාස කරනු ලැබේ. මෙසේ කිලි පවතින යම්කිසි කාල සීමා තිබේ.

 

මෙම නපුරු විපාක  ඇදහිලි අතර කිල්ලමඟහරවා ගත හැකි වන්නේ යම් යම් සිරිත්විරිත් පැවැත්වීමෙන් පසුවය. කෙනෙක් සමාජයක් හෝ දෙයක් සම්බන්ධව ඇති වන කිල්ල ගැන නියම කාලය තුළදී විය හැකි අනිටු විපාක වළක්වා ගැනීමට නම් නියමිත චාරිත්‍ර විධි පැවැත්විය යුතුයි. ශරීරය අනුව බොහෝසේ කිලි ඇති වෙන්නේ කාන්තාවන් සම්බන්ධයෙනි. ලෙඩ දුක්, මරණ, දරු උපත් ආදිය පිළිබඳව ද ඇති වන කිලි ගණනාවක් තිබේ. කිලි ගැන හැඟීමක් ඇතිවීමට හේතු පිරිසුදු නැතිකම, රෝග බෝවීම සහ බයත් යයි සැලකීමට කරුණු දක්නට ලැබේ. සාමාන්‍ය ගෙයක කිලි ගැන සලකන අයුරින් මෙය තහවුරු වේ.

කිලි ගැන ලේ සම්බන්ධව අදහස් පහළවී තිබේ. කාන්තාවකට තාවකාලිකව වන ශාරීරික සිද්ධියක් නිසා මේ විෂයෙහි ඈ ප්‍රධාන තැනක් ගන්නීය. එසේ වුවද සියල්ලටම ඇය මුල් නොවේ. තවදුරටත් බොහෝ ප්‍රසිද්ධ හා අප්‍රකට කරුණු මීට සම්බන්ධව තිබේ. සිංහල ජනයා කාමසේවනයෙන් වළකින ඇතැම් දවස් තිබේ. ඔසප් වූ විට ද ගර්භනී අවස්ථාවේ දරු උපත කිට්ටු වූ විටත් සිරිතක් වශයෙන් සංවාසයේ යෙදෙන්නේ නැත. පෝය දවස් ද මෙය අයෝග්‍ය දින වශයෙන් සලකති. වෙසෙසින් බොදුනුවෝ එය නොකරති. ස්ත්‍රියකගේ ජීවිතයේ සමහර කාලවකවානුවල යම් යම් ආහාර වර්ගවලින් සහ යම් යම් ස්ථානවලට යෑමෙන් වැළකිය යුත්තේ යක්ෂ, පේ‍්‍රත , භූත ආදීන්ගේ උවදුරුවලින් ආරක්ෂාවීමට බව කිව යුතුය. මේ තහනම් නීති ඇත්තේ ශරීරාබාධයකින් පෙළෙන කතට භූතාවේෂවීම පහසුව නිසාය. ස්ත්‍රීන්ට විශේෂවූ කිලි දෙකක් ඇත. මඟුල් කිල්ල එකකි. වැදුම් කිල්ල අනිකය. මේ දෙකේම ලේ හා සම්බන්ධකමක් ඇත්තේ මේ අවස්ථාවේ ඒ තත්ත්වයට ගොදුරුවූ කතත් අනික් අයත් ආරක්ෂා කරගත යුතු නිසයි.

එසේ නැතිවුවොත් බලවත් අනතුරු වන්නට ඉඩ ඇත. ලේ ගැලීම පවත්නා තාක් කිල්ල ද පවතී. මේ අවස්ථාවේදී තහනම් නීති නොසැලකුවොත් එයින් මහත් අනර්ථයක් සැලසිය හැකියි. රෝගාතුර ස්ත්‍රිය මුරකාරියක් යොදා රැක බලා ගනු ලැබේ. ඒ රෝගී කතට ගෙයින් පිට යාමට අවසර නැත. වැඩිහිටි ස්ත්‍රීන් නැන්දනියන් හා මෑණියන් හැර පවුලේ අනික් අය සමඟ තමුන් ආශ්‍රය කිරීම තහනම්ය. නැකතට නෑමෙන් පසුව රෝගාතුර ස්ත්‍රිය පවුලේ ස්වභාවික තත්ත්වයට පත්වන නමුදු යම් යම් සීමා යොදා ඇත. එසේ වුවද මාස තුනක් ගතවූ පසු ඒ සීමාවල් ද ඉවත් කරති.

දැරියක් වැඩිවියට පත්වීම ප්‍රථම මාස්වීම පිළිබඳව පුදුම සහගත තහනම් නීති ඇත. තරුණිය ඉතා පරිස්සමන් රැක බලා ගන්නා අතර ගෙයි සිටින්නන් හා පිටතින් එන අමුත්තන් ද බැහැර කරනු ලැබේ. කිසිවකුට තරුණිය බැලීමට ඉඩ නොදෙන අතර ඇයට ද කිසිවකු බැලීමට හෝ ඔවුන් හා කතා කිරීමට අවසර නොදේ. කාමරයක හෝ දොර මුල්ලක සැඟවී සිටින ඇය කලක් ගතවන තුරු මෑණියන්, නැන්දා හෝ වයසක ඥාතිවරියක් විසින් රැක බලා ගනු ලබන බව කිව යුතුය. සතියක් පමණ ගතවන තුරු කරුණු මෙලෙස පවතී. මෙරට සමහර පළාත්වල එනම් වැදි ජනයා අතර ඔසප් වූ දැරිය වෙනුවෙන් පදිංචි ගෙයි සිට යාර කීපයක් ඈතින් වෙනම ගෙපැලක් සාදා ඈ එහි තාවකාලික ලෙස පදිංචි කරවන්නීය.

දැරියකගේ ජීවිතය පිළිබඳ ඉතා වැදගත් කාලසීමාව ඇගේ පළමු ඔසප්වීම බව කිව හැකිය. මේ ශාරීරික වෙනස්වීම නිසා ඇගේ පවුලේත් ජන සමාජයේත් වගකිව යුතු තත්ත්වයකට ඈ පත්වන බැවිනි. ඇය මෑණි කෙනෙකුවීමට සුදුසු අංගවලින් පිරිපුන් ස්ත්‍රියක් බවට පත්වූ අවස්ථාව මෙය වේ. එහි වැදගත්කම ඈට දන්වා ඒ සම්බන්ධව වැදගත් සිරිත් විරිත් රාශියක් ද පවත්වති. මේ සිරිත්වලදී රජක ස්ත්‍රිය මුල් තැන ගන්නීය. ඈට ඒ සඳහා ගාස්තුවකුත් කැවිලි ආදියත් කිලි රෙදිත් ලැබේ. රුධිරය පිළිබඳ සිංහල ජනයාගේ භීතිය පිළිකුල මෙයින් හෙළිදරව් වන බව කිව හැකිය.

හීන කුල ඇති රජක ස්ත්‍රිය හැර කිසිවෙක් මේ කිලි රෙදිවලට අත තියන්නේ නැත. නාන වේලාව නියම කරනු ලබන්නේ ඡ්‍යොතිෂවේදියා විසිනි. ඈට සිදුවිය හැකි විවාහය ද ඔහු කියයි. පාන්දරින්ම නැවුම් කළයකින් දිය වත් කරනු ලබන්නේ පිරිමි පුද්ගලයකු ඈට හමු නොවනු පිණිසය. නෑමෙන් පසු කළය බිඳිනු ඇත. මෙසේ දිය නා අලුත් රෙදි අබරණ හැඳ පැළඳ ඈ හුදකලාව සිටි තැනින් එළියට එන්නීය. ඇය මුලින්ම කරන්නේ වැඩිහිටියන්ට නමස්කාර කිරීමය . වැඩිහිටියන් සහ නෑදෑ මිත්‍රයෝ ඇයට නොයෙක් තෑගි බෝග ආදිය දෙති. මේ පිළිබඳ පවත්වන උත්සව ද ඇත. එහිදී නොවරදින සංගීත භාණ්ඩයක් ලෙස රබාන දැක්විය හැකිය. නිවසේ පදිංචිකාරයන් මේ රබන් ගැසීම පි‍්‍රයංකර නමුත් අසල්වැසියන්ට කන්දොස්කිරියාවක් වන බව කිවයුතු ද නොවේ.

දරුවකු ලැබීම කිලි සහිත අවස්ථාවකි. මෙහිදී සූතිකාව වෙන් කර තබනු ලැබුවත් ඔසප්වීමේ අවදියේදී තරම් තහනම් නීති තද නැත. එහෙත් මෙයින් ද පැමිණිය හැකි අනර්ථය සුළුපටු නැත. දෙසතියක් පමණ සූතිකාව ගෙදර තුළ සිටින අතර ගෙයින් පිටවීමට ශුභ දවසක් තෝරා ගනු ලැබේ. එසේ එන්න පෙර ඇය උණුවතුරින් ස්නානය කළ යුතුයි. පාවට්ටා, තෝර ,කොහොඹ කොළ ජාති කහ යොදා සකස් කර ගත් මිශ්‍රණයක් ඇගේ ඇඟ ගල්වා ඒවායින්ම ඇඟ අතුල්ලා නාවනු ලැබේ. මේ ආකාරයෙන් වෙන්කර තබන කාලය තුන් මාසයක් පමණ වේ.

මේ අතර බෝවන රෝග තහනම් නීතිවලට ගොදුරුවන ඒවා බව කිව හැකිය. වසූරීය. පැපොල ආදි අම්මාවරුන්ගේ ලෙඩය. මේ ලෙඩුන් සිටින නිවෙස්වලට ගම්මානවලට යාම කිලි ලෙස සැලකේ. මේ තහනම් නීති මෙකල වසංගත ලෙඩුන් වෙන් කර තැබීමේ ක්‍රමයට සමානය. කෝවිඩ් හෙවත් කොරෝනා වැඩපිළිවෙල හොඳම නිදසුනකි. මහජනයාගේ යහපත පිණිස ඇවැසි වන සෞඛ්‍ය සංරක්ෂණය ඇති කිරීමට පුරාණ ජනයා කිලි ගැන ඇදහිල්ල්ලක් ඇතිකර ගත්තාට සැකයක් නැත. කිලි ගැන නොසැලකීමෙන් එයට ගොදුරුවු පුද්ගලයා මෙන්ම පිටින් සම්බන්ධ වන්නාටද එසේ අනර්ථ කරවන බැවින් රාජ්‍ය නීතියකට වඩා මේ ගැන සලකන බව කිව හැකිය. රෝගයක් අසාධ්‍යවීමට හෝ මරණයක් සිදුවීම ව්‍යාපාර ආදී කරන කටයුතු බිඳ වැටිමට කිල්ල හේතුවක් කොට දක්වනු ලැබේ.

මරණයකදී සිත සනසා ගැනීමට පවා මෙයින් මඟ පෑදෙයි. ජීවිතයේ මේ අවසාන අවස්ථාව බලවත්ම කිල්ලක් බව අමුතුමෙන් කිවයුතු නොවේ.

කාමුක ස්වභාවයේ කිලිවලින් ද සමාජයට බාධා ඇතිවේ. එනිසා කරුණු සම්පූර්ණයෙන් සාර්ථකවීම සඳහා පවත්වන ආශිර්වාදාත්මක චාරිත්‍රවලට තරුණියන් කැඳවනු ලැබේ. මන්ත්‍ර හා සමාජය පිළිබඳ සිරිත් පැවැත්වීමේදී ස්ත්‍රින්ගේ ආශ්‍රයෙන් ස්පර්ශයෙන් හෝ සංවාසයෙන් වැලකීම අවශ්‍යය. තොවිලය කරන බලි ඇදුරාගේ කට්ටඩි මහතා තම ආනුභාව පැවැත්වීමේදී දිය නොගෙන පිරුවට ඇඳ මස් මාළු කෑමෙන් වැලකීම සිරිතකි. මොන විදිහකින් හෝ මෛථූන සේවනය නොකළ යුතුව ඇත.

විශේෂයෙන් ගොවිතැනේදී බොහෝ අවස්ථාවල කිලි ගැන සැලකිලිමත් වෙති. අස්වැන්න කපා ගැනීමේදී විශේෂ ආරක්ෂා යොදති. ඔසප්වීම ඇති ස්ත්‍රියකට කුඹුරුවලට හෝ වැදගත් වැඩකට හෝ අන්තරාදායක වැඩක් ඇතිවිට ඉදිරිපත් වීමට ඉඩක් නැත. මෙසේ කිලි සහිත ස්ත්‍රීන් මැදහත් වීමෙන් සිදු වුණ විපත් පිළිබඳ කතා, රට පුරා පැතිරී පවතී. කලුතර දිස්ත්‍රික්කයේ වරකාගොඩ ගමේ මෙවැනි කතාවක් ඇත. කර්මාන්තකරුවෝ හැම කිල්ලකින්ම වැළකෙති. විශේෂයෙන් පූජා වස්තු සාදන්නෝ ස්ත්‍රින් හා සංවාසයෙන් පවා මිදී සිටිති. කිසිම ස්ත්‍රියකට වැඩපොළට පැමිණීමට අවසර නැත. යම්කිසි අන්දමකින් කර්මාන්තරුවෙකු කිලුටට පත්වූවොත් නෑමෙන් පිරිසිදු විය යුතුය. කිලි පිළිබඳ තවත් විස්තර ඇතත් ඒ සියල්ල මෙහිලා දැක්වීම අසීරු කරුණකි. කිලිවලින් වැලකී කටයුතු කිරීමෙන් කාර්යයසිද්ධ වාසනාව උදා කර ගත හැකිය.

(විවිධ ඡ්‍යොතිෂ පොත් හා ලංකා ජනතාව පොත ඇසුරෙනි)

 

කලාභූෂණ ඡ්‍යොතිෂ ඉඳුවර කිවිපති

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.