කර්මය සහ ඡ්‍යොතිෂය

ජූලි 16, 2021

සැප සම්පත් සහ සුවයද දරුඵල සහ ජය ශ්‍රී සතුටද දෙන තෙමඟුල් උත්සාහයද, ඇතිකරන ගිය දැයෙහි කර්මපල පවසන නොයෙක් සැපදෙන කුල යසස හා ආයු වැඩිකරණ නපුරුතම උවදුරු දුරු කරන ගුණගණයනට නිවසක් බඳු වූ ජම්මපත්‍රය ඡ්‍යොතිෂය පිළිගනු ලබන්නාගේ සුපිරිසුදු හදවතයි. පෙර අත්බැව්හිදි කරණ ලද කුසලාකුසල කර්මයන්ගේ විපාකය හෝරා ශාස්ත්‍රයෙන් ප්‍රකට කෙරෙයි.

 

යමෙකු පිළිසිඳුණු මොහොතෙහිදී ග්‍රහලෝකයෙහි සිතියම පැහැදිලි නිවැරදි ජම්මපත්‍රයයි. එනම් එය ජීවිතයේ සියලුම තොරතුරු පෙරාතුවම පෙන්වන පුදුම සහගත කැඩපත පැහැදිලි ජම්මපත්‍රය වන්නේ ය.

විවිධ විෂම වූ ලෝකයෙහි විෂමාචාර වූ සත්වයා ද පහළ වෙනුයේ කෙබඳු වූ පදනමක පිහිටා ද යන්න පළමුව පැහැදිලි කරගත යුත්තකි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන්නෙන් මහණෙනි මම චේතනාව කර්මය බැව් වදාරම් බුදුන් වහන්සේ දේශනා කළ සේක. ස්වකීය ස්වරූපය තුළින් ජීවිත රටාව යෙදෙයි. චේතනාව පමණක් නොව එය හා එයට යෙදුණු සියලු ආකාර වූ චෛතසිකයන් කර්මය යයි සැළකිය යුතු වුවද චේතනාවම පිළියෙල කිරීමේ දී ප්‍රධානත්වය දරණ බැවින් ඊට කර්මයයි කියනු ලැබේ. හේතුඵල ධර්මතාවය කර්මය වෙයි. කර්මය අඹ ඇටය නම් විපාකය අඹ ගෙඩිය වෙයි. කම්ම යනුවෙන් පාලි භාෂාවෙහි යෙදෙන මේ වචනයේ තේරුම නම් යම් ක්‍රියාවකි. යමෙකු සිතනුයේ ද ඒ මනෝ ද්වාරයයි. කය වචනය මුල් කොට ක්‍රියාත්මක වෙයි. සියලු යහපත් අයහපත් දේ සිදුවෙන සෑම ක්‍රියාවකම ඵලය කර්මයයි හැඳින්විය හැකි ය.

“කම්මං සත්තේ විභජති - යදදං භිනප්පණිතාය” කර්මය වූ කලි අද්භූත විස්මය ජනක වූවෙකි. අභිධර්ම සූත්‍ර ක්‍රම දෙකකින් විවරණය කෙරෙන කර්මය පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු ය. හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස් උන්නැහේලාටවත් බුද්ධ දර්ශනයෙහි වැදගත්ම කරුණක් වන කර්මය පිළිබඳ අබමල් රේණුවක හෝ අවබෝධයක් නම් නොමැත. ක්‍රියාවටත් කරුණු ලබන දෙයටත් කර්මය යැයි කියනු ලැබේ. දාන ප්‍රාණඝාතාදී ක්‍රියා සිදුකරන මානසික බලවේගයත් පාපවිරමණාදී මානසික බල ක්‍රියාත් කර්ම නම් වේයැයි කිවයුතු ය. දාන ප්‍රාණඝාතාදී ක්‍රියා සිදුකරනු බලවේගයනට බුද්ධ ශාසනයේ දී ව්‍යවහාර ලබන නාමය චේතනා නම් වේ. දෙපනස් චෛතසික ධර්මතාවයන් අතරෙන් එක් චෛතසික ධර්මයකි. සිතය යනු අර්ථය වේත ශබ්දයක් ද පාලි භාෂාවෙහි යෙදී ඇත. චේත, චේතනා යන මේ වචන දෙකම අවුල් කරගෙන සිතීම කර්මයයි. ඇතැමුන් වරදවා අවබෝධකොට ගෙනන ඇති බැව් පෙනී යයි. සිත කර්මය නොවෙයි. චේතනාව පමණක් කර්මය බවට ගෙන “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන පාඨය ගෙනහැර පෙන්වනු ලබයි. චේතනාව ද හැර වෙන ධර්ම කොටස් විස්සක් ඇත. බෝධ්‍යාංග සත්‍ය මාර්ගාංග අටය අභිජ්ඣා ව්‍යාපාද, මිථ්‍යා දෘෂ්ටි යන කර්ම තුනය. අභිද්‍යා කර්ම වශයෙන් ගණන් ගනු ලබන ධර්මයෝ ය. චේතනාවත් සමඟ කර්මය හරි හැටි සළකුණු ලබන ධර්මයෝ දෙවිස්සකි. එකී කර්ම ක්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස් වෙයි. දානය ප්‍රාණඝාතය ආදිය ක්‍රියා සිදුකරලීමේ මානසික උත්සහය චේතනාවය යයි කිවයුතුය. පාණාතිපාතා, අදින්නාදානා, කාමේසුමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාචා, සම්පප්පලාප යන කර්මස්ථ සත සිදුවෙනුයේ චේතනාවෙනි. එමනිසා ඒවායෙහි කර්මය වෙනුයේ සම්ප්‍රයුක්ත ලෝභ චෛතසිකය වෙයි. ව්‍යාපාද අකුසල කර්ම පථයෙහි කර්මය වෙනුයේ චේතනා සම්ප්‍රයුක්ත ද්වේෂ චෛතසිකය වෙයි. මිථ්‍යා දෘෂ්ටි අකුසල කර්ම පථයෙහි කර්මය වෙනුයේ චේතනා සම්ප්‍රයුක්ත දෘෂ්ටි චෛතසිකය වෙයි.

මෙලොව ක්‍රියා කලාපයෙන් සසර පුරුදුකම් මතද වෙනස්වන සුළු වෙයි. ජම්මයට වඩා පුරුද්ද ලොකු යයි පවසනුයේ මෙම සසර පුරුදුකම් මතය. සියල්ල සිදුවනුයේ ස්වභාවික සිදුවීම් හේතුකොට ගෙනත් කර්මයත් බවත් පෙනෙයි. යම්කිසි ජම්මියකුගේ උත්පත්තියක් සිදුවෙන මොහොත සූර්යයාගේ බලය චන්ද්‍රයාගේ බලය සහ නැඟෙනහිර ක්ෂිතිජයේ උදාවන රාශියේ බලය ජීවිතයක් ගෙන යාමේ අපූර්වාත්මක වූ ශක්තිය පිහිටා ඇත. මෙයින් උපන් බලවේගය සඳහා රාශි සටහනේ අංක 01 කොටුව තුළින් ජම්මියාගේ ජනක කර්මය විවරණය කෙරෙනු ඇත. අදෝෂය සූර්යයා කේන්ද්‍රයෙන්ද අමෝහය ලග්න කේන්ද්‍රයෙන් ද අලෝභය චන්ද්‍ර කේන්ද්‍රයෙන් ද විමර්ශනය කෙරෙනු ඇත.

 

භාව හෙවත් ස්ථාන දොළස

 

ප්‍රධාන වශයෙන්ම ධර්ම අත්ථි කාම, මෝක්ෂ යනුවෙන් කොටස් හතරකි. 1, 5, 9 ධර්ම 10, 2, 6 අත්ථි 7, 11, 13 කාම 4, 8, 12 මෝක්ෂ යනුවෙනි. 1, 5, 9 ධර්මස්ථාන උපතින් ශක්තිමත් වීම ද යම්බදු ජම්මියෙකුගේ නිසැකයෙන්ම මෙහිලා ප්‍රබලත්වයට පත්වීමකි. පෙරදිගින් වැටෙන ප්‍රබලතම කෝණ දෘෂ්ටියයි. ලග්නය මඟින් මෙලොව ජනිත වූ ජම්මියාගේ ආධ්‍යාත්මක බලය මනාව විවරණය වෙන්නෙකි. පෞරුෂත්වය, අඟපසඟ, අධ්‍යාපනය, ඥානය, දර්ශනය, විද්‍යාවන්හි නිපුණතාවය ආගමික ශක්තිය, උපන්ගති පැවතුම් ආදිය ද දරුවන් සහ ගුරුවරුන් පිළිබඳව ප්‍රකාශ වෙයි. 7, 3, 11 සම්බන්ධ 7 ත්‍රිකෝණය ශුභඵල ද මෙහිලා බලපානු ලබයි. මෙවැන්න අපරදිගින් වැටෙන බලවත් කෝණ දෘෂ්ටිය වෙයි. 7 ත්‍රිකෝණය බාහිර දේවල් පිළිබඳව ප්‍රකාශ කරයි. සහකාර කටයුතු, යුගදිවිය, වික්‍රමය, ආදායම්, සහෝදර සහෝදරියන් ද මිත්‍රයන් පිළිබඳව ද ජම්මියා සසඳා බැලීමට තුඩු දෙයි. 4, 8, 12 ත්‍රිකෝණය අතිශයින්ම වැදගත් වෙන්නකි.

මෙවැන්න අජටාකාශයෙන් වැටෙන කෝණ දෘෂ්ටිය වන අතර අශුභඵල දීමේ ප්‍රබලතම ස්ථානය ද වෙයි. මරණය, වියදම, ඉඩකඩම්, නඩුහබ, සිතද, අයිතිවීම්, නැතිවීම් හතරේ ත්‍රිකෝණයෙන් ප්‍රකාශ වෙයි. මුදුන් ආකාශයෙන් වැටෙන කෝණ දෘෂ්ටිය වන 10 ත්‍රිකෝණය අශුභඵල දීමේ දෙවැනි ස්ථානයයි. 10, 2, 6 සම්බන්ධ වන අතර, රැකියා, ආදායම්, කර්මාන්ත, තනතුරු, ඉතුරු කරන වස්තුව, ගෘහස්ථවාසය, රෝග පීඩා, සතුරන් පිළිබඳව ප්‍රකාශ වෙයි.

ලග්න ස්ථානය (ජන්ම කර්මය)

 

උත්පත්තියක මූලාරම්භය ජනක කර්මය පදනම් කොට ඇත. මුල මැද අග පහන් සිතින් හෝ දූෂිත සිතින් කළ කර්මය ජනක කර්මයෙහිලා සලකනු ලබයි. ජම්මියා කෙබඳු ආකාර ප්‍රාකාර කර්ම විශේෂයකින් මෙලොව ජම්මලාභය ලැබුවේ දැයි ලග්න ස්ථානය ස්ථානාධිපති දෘෂ්ටි තුළින් ප්‍රවීණතම ඡ්‍යොතිර්වේදියා විනිවිද දැක බලා ජම්මියාගේ චරිතාපදානය විවරණය කරනු ලබයි.

ප්‍රෞඪත්වය, පෞරුෂත්වය, ශාරීරික ලක්ෂණ, ගතිපැවැතුම්, ආධ්‍යාත්මක ස්වභාවය, චරිතය භෞතික ජීවන ශක්තිය ජනක කර්ම විෂයෙහි පවතිනු පෙනීයයි. ලග්නභාවය ප්‍රබලත්වයට පත්වීම, බ්‍රහස්පති වැනි ග්‍රහයෙකු තැම්පත්වීම, මෙලොව මනාවූ ජන්මශක්ති විෂයකින් පහළ වූ බවට කදිම සාධකයෙකි. සානුකම්පිත හදවතක් ඇති පරිත්‍යාගශීලී වූ අවංක සදාචාරාත්මක ගුණධර්මයන්ගෙන් පෝෂණය වූ ජම්මියෙකු බැව් පැහැදිලි කෙරෙන්නකි. ලග්නභාවය දුර්වලවීම අශුභ අයහපත් නොමනා ක්‍රියාකලාපයන්ගෙන් පරිපූර්ණ ජීවිතයක තතු විනිවිදව කියාපාන්නකි.

 

ධනස්ථානය (ආචිණ්ණ කර්මය)

 

ජීවිත කාලයෙහි දිගු කලක සිට පුරුදු පුහුණු කෙරූ යමක් ශුභ හෝ අශුභ වේවා ආචිණ්ණ කර්මය නමින් හැඳින්වෙයි. කලක් සිතෙහි කැකෑරෙමින් තිබෙන සිතුවිලි සමුදායන් යමෙකුගේ අවශ්‍ය ඉන්ද්‍රියන් දුර්වල වී මරණාසන්න මොහෙතෙහි පැරණි පුරුදු අරමුණු සිතට පැමිණීමෙන් ඊළඟ අයිතිභාවය ලබාදෙයි. යම් බහුල කර්මයයි හැඳින්වෙන මෙකී කර්ම විශේෂ ධම්මික උපාසක දෙව්ලොව ඉපදීමටත් චුන්ද සූකරයා අපායෙහි ඉපදීමත් සිදුවූයේ මෙම ආචිණ්ණ කර්ම බලයෙනි. මෙය එසේ නම් යම්බදු ජීවියෙකුගේ භවය පුරා දෝර ගැලූ චිත්ත ස්වභාවය මෙම ක්‍රියාකාරකම් පිළිබඳව ඡ්‍යොතිෂමය විවරණය 2 භවය කොටුව තුළින් විනිවිද පෙනී යන්නෙකකි.

කුටුම්භ ධන වශයෙන් පෙන්වනු ලබන දෙවැන්න ලෞකික දේපළ වස්තුව සිහිය වාග් චාතුර්ය පුරුෂයන්ගේ දකුණු අත ඇස් පෙනීම අතෙහි ඉතිරි වන ධනය දියුණුව හා පිරිහීම, ගෘහ ජීවිතය, මරණය, යුගදිවියෙන් පසු ගතවන කාලය පිළිබඳ විස්තරය ප්‍රකාශ කෙරෙනු ඇත. මුළු මහත් ජීවිත කාලය පුරා වැඩිපුර රැස්කළ හොඳ හෝ නරක ආචිණ්ණ කර්මය ලෙස හැඳින්විය හැකි ය. මේ අනුව ජම්මියෙකු ක්‍රියා කරන ආකාරය දෙස සුපරීක්ෂාකාරී මෙන් ආචිණ්ණා කර්මය අවබෝධ කරගත හැකි ය. මෙකී ශක්ති විශේෂය 2 භාව අධිපති ග්‍රහයා පිළිබඳ ප්‍රමාණය මත ජම්ම කේන්ද්‍ර පිටපතෙන් විග්‍රහ කොට දැක්විය හැකිය.

සහෝදර ස්ථානය (ආසන්න කර්මය)

ගරුක කර්මයක් හැර වෙන කවර කර්මයක් රැස්කරගෙන තිබුණත් ආසන්න කර්මය විපාක දෙනු ලබයි. මරණාසන්න මොහොතෙහි සිට ඉදිරිපත් වක කර්මය ආසන්න කර්මයයි. ගවගාල හිමියා උදෑසනක පැමිණ දොර හැරදමූවිට දොර අසලම සිටි ගවයා කෙතරම් අබල දුබලයකු වුවද ඌ පළමුවෙන්ම එළියට ඇදෙන්නාක් මෙන් මරණාසන්න මොහොතෙහි පැවතුන කර්මය අනුවම ඊළඟ භවයෙහි ප්‍රතිසන්ධිය ගෙන දෙයි. චෝර ඝාතකයා අන්තිම මොහෙතෙහි දානයක් දී මතකයේ තිබූ නිසා මරණයෙන් පසුව සුගතිගාමී විය.

වික්‍රමස්ථානය වශයෙන් හඳුන්වනු ලබන 3 භවය කෙටි ගමන් සියලු ආකාර සොයුරු සොයුරියන් පියපස ඥාති වර්ගයා අසල්වැසියෝ කාර්මික විද්‍යා වික්‍රමය ධෛර්යය කන් ඇසීම ලිවීම කියවීම ආදී අංශයන් විස්තර කෙරෙයි. ආසන්න කර්මය වෙතට යොමු වෙන බලපෑම් මත කීර්ති ප්‍රශංසා ධනවත්කම් ශක්තිය බලය ආරක්ෂා වෙයි. 3 භවයෙහි තැම්පත් හෝ පවතින ස්වරූපය මත ජීවන රටාව විග්‍රහ කළ හැකිය.

 

බන්ධු ස්ථානය (ගරුක කර්මය)

 

ඊයම් බෝලය කුඩා වුවද දිය යට යන්නාක් මෙන් පළමුවෙන් සත්වයාට විපාක දෙනු ලබන කර්මය ගරුක කර්මය වෙයි. අනෙක් කුසල් අකුසල් වැළැක්විය නොහැකි යටපත් කළ නොහැකි කුසලාකුසල කර්මයයි. කුසල පක්ෂයෙන් ධ්‍යාන ද අකුසල පක්ෂයෙන් ආනන්තරීය කර්ම ද ගරුක කර්ම වෙයි. නියත මිථ්‍යා දෘෂ්ටිය ද ගරුක කර්මයන් වෙන අතර, දාගැබ් මහ බෝ ආදිය බිඳ හෙළීම් ආදී දරුණු ක්‍රියා ද ගරුක කර්මයට සම්බන්ධ බැව් අටුවා කරණයෙන් පෙනෙයි.

බන්ධු ස්ථානය ගෘහ ස්ථානය, මාතෘ ස්ථානය, සුබ ස්ථානය ආදී නම්වලින් හැඳින්වෙන සිව්වැන්නෙන් නියෝජනය වන විවිධ අංශයන් පිළිබඳව පළමුවෙන් සලකා බැලීම වැදගත් වෙයි. මවුපියන්ගෙන් ලබන දායාද, යානවාහන, ගොඩමඩ ඉඩකඩම්, නිවාස, නිශ්චල වස්තුව, මව, මවගේ ඥාති පක්ෂය, සාමාන්‍ය ඉගැනීම, ජීවිතයේ අවසාන කාලය ගතවන ආකාරය, වෙනත් කුසලාකුසල කර්මයන්ට වඩා ප්‍රබලතම කුසලාකුªසල කර්මයනට ගරුක කර්මය සුවිශේෂ වෙයි. අලෝභ අද්වේෂ අමෝහ කුසලයෙන් උපදින ජම්මියන්ගේ බන්ධු ස්ථානය ප්‍රබලව පිහිටයි.

උසස් අලංකාර සැප සම්පත්වලින් අනූන වූ ගෘහයක් තුළ අඩුලුහුඬුකම්වලින් තොරව ජීවිතය ගත කිරීමේ පරම භාග්‍යය උදාවෙනුයේ ගරුක කර්මය යහපත් දෙපස පමණි. මෙහි තැන්පත් වෙන, එසේම හිමිවෙන ග්‍රහයාගේ ස්වභාවය තුළින් ප්‍රවීණ ඡ්‍යොතිර්වේදියා ජම්මියා පිළිබඳ විවරණයක් ඉදිරිපත් කෙරෙනු ඇත.

 

පුත්‍ර ස්ථානය (කටත්තා කර්මය)

 

කරන ලද පමණට මුත් අතිරේකව විපාකදීමට නොහැකි වූ කර්මයන් මේ නමින් හැඳින්වෙනු ලබයි. උම්මන්තකයකු විසින් ඉලක්කයකින් තොරවූ ගසන ගලක් මෙන් විචාර බුද්ධියෙන් තොරව ආවාට ගියාට කරන කර්ම මෙම ගණයෙහිලා සලකනු ලැබේ. මේවාට අහේතුක කර්මයයි පවසනු ඇත. නැවතත් සිතීමෙන් තොරවූ මෙකී කර්ම විශේෂයෙහි විපාකයන් ද අතිශයින්ම දුර්වල වෙනු ඇත. මේ තත්ත්වය අනුව ප්‍රතිසංධියක් ගෙනදීමේ ශක්තියක් නොමැත.

බුධ ස්ථානය - පුත්‍ර ස්ථානය යනුවෙන් හඳුන්වනු ලබන පස්වැන්න ආගම මුල්කරගත් ප්‍රේම සම්බන්ධකම්, දූදරු තතත්ත්වය, දරුවන් ලැබීම නොලැබීම ද පෙර භවයට දූ දරු වාසනා අවාසනාව ආදී අංශ පිළිබඳව තොරතුරු ගෙනදෙයි. ආවාට ගියාට යමක් සිදු කරනු ලබන කර්මයන් කටත්තා යනුවෙන් හැඳින්වෙයි මෙකී කර්මයන් ද දුර්වලව පිහිටා ඇත්නම් කටත්තා යනුවෙන් හැඳින්වෙයි. මෙකී කර්මයන්ද දුර්වලව පිහිටා ඇත්නම් කටත්තා කර්මය ද දුර්වල වෙයි. 4 වැන්න කටක ලග්නය වී චන්ද්‍ර ග්‍රහයා ස්වක්ෂේත්‍රව පිහිටා යහපත් ග්‍රහයෙකුගේ දෘෂ්ඨියට ද ලක්වූයේ නම් උසස් ප්‍රභූජනයාගේ කුල කාන්තාවන්ගේ ඇසුර, ළාබාල පැහැපත් වනිතාවක හා යුගදිවිය, පිරිමි දරුවන් දෙදෙනෙකු පමණ ලැබීම, ඔවුන් තුළ උසස් ගතිගුණ ඇතිවීම ගලා එන ආර්ථිකයක් ලැබීම වැනි දායාද රැසකට උරුම හිමිකම් ලැබෙනු ඇත.

 

ගත්‍රැස්ථානය (උපපීඩක කර්මය)

 

රෝග ස්ථානය ලෙසට ද දාස දාසියන්, ලෙඩදුක්, මෙහෙකරුවන්, ගවමහීෂ ආදී සතුන්, සැප සම්පත්, ආහාර, සතුරන්, ණය ගනුදෙනු තැදිමයිලන් එම පක්ෂයේ ඥාතීන් ද පිළිබඳ තොරතුරු අනාවරණය කෙරෙන එකම ස්ථානයයි. ජනක කර්මයෙන් ලැබුවා වූ සැප සම්පත් හෝ දුක ඒ ආකාරයෙන්ම විපාක දීමට නොදී කුසලයක් හෝ අකුසලයක් සේ යොමු වී ජනක කර්මයට බාධා කරලීම උප පීඩක කර්මය වෙයි. යහපත් ග්‍රහ පිහිටීම් ගෝචර දෘෂ්ටි තුළින් දේපළ වස්තු රැස් කිරීම විවිධතම වූ ආදායම් මාර්ගයන් ද 6 වැන්න තුළින් පෙන්නුම් කරනු ඇත.

 

කලතෘ ස්ථානය (උපස්ථම්බක කර්මය)

ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා, යුගදිවිය, කොටස් පවුල් ගිවිසුම්, රැකිය වෙළඳ ව්‍යාපාර, ධන හානි ගරු නම්බුනාම, කිර්ති ප්‍රශංසා, තැම්පත් ධනය රැකියාව පිළිබඳ ස්ථිර අස්ථිර ස්වභාවය, හත්වෙනි භාවයෙන් ප්‍රකට කෙරෙයි. ජනක ශක්ති කර්මයෙන් යමෙකුට උත්පත්තිය ලබාදී පවත්වාගෙන යාමට උදව් දෙනුයේ උපස්ථම්භක කර්මයයි. උපස්ථම්භක කුසල බලයෙන් යමෙකු පහත් ලෙස උපත ලැබුවේ ද ඔහුට උසස් තත්ත්වයකට හේතුව වෙයි. සැඩොල් කුලයෙහි උපන් අශෝකමාලාව සාලිය කුමරුගේ බිරිඳ වීමේ භාග්‍යය ලැබුවේ උපස්ථම්භක කුසල බලයෙනි. ජම්ම පත්‍රයක හත්වැන්න තුළින් සලකා බලනුයේ මෙම කරුණු කාරණාවන් වෙයි.

 

මාරක ස්ථානය (උපඝාතක කර්මය)

මරණය සිදුවෙන ආකාරය, මානසික උමතුරෝග, අන්‍යයන් නිසා දේපළ අහිමිවීම, විවාහයෙන් දායාද ලැබීම හෝ නොලැබීම, හවුල් කොටස් ව්‍යාපාරික ආදායම් ලැබීම ද සහකාරියගේ අසනීප සෞඛ්‍ය තත්ත්වය, රණ්ඩු මාරක ස්ථානය 8 වැන්නෙන් ප්‍රකාශ වෙන්නේ ය. ජනක කර්ම ශක්තියෙන් ලද උත්පාදක ශක්තිය සහමුලින්ම විනාශවීයාම උපඝාතක කර්මය වශයෙන් සලකනු ලබයි. අන්ත දුගී බවට ද ආයුෂ පිරිහී මරණය වෙත ළඟාවීමද සසරදී උපඝාතක කර්මය විපාක දෙයි.

 

පුණ්‍ය ස්ථානය (දිට්ඨධම්මවේදනීය කර්මය)

භාග්‍යය හා ශුභ ගුරු පුණ්‍ය ස්ථානය වශයෙන් නවවැන්න හැඳින්වෙයි. පියාට සැලකීම, දර්ශන න්‍යාය තර්ක ශාස්ත්‍රය ආදී ඥානය, මව්පිය වැඩිහිටියන්ට ගරුසර, දැක්වීමේ විදේශ ගමන් දීර්ඝ ගමන් වන්දනා ගමන්බිමන් ඥාති සබඳතාදිය 9 වැන්නෙන් පෙන්නුම් කෙරෙනු ඇත. මෙම ආත්ම භවයේදීම විපාක දෙනු ලබන්නා වූ නවවැන්නෙන් ආගමික ශක්ති භාග්‍යය වාසනාව ප්‍රකාශනය කෙරෙයි.

 

කර්ම ස්ථානය (අපරාපරියවේදනීය කර්මය)

අවස්ථාව ලද විටක දෙනු ලබන කර්ම විශේෂයකි. රියෙහි බැඳි ගොනෙකු පසුපස රියසක මෙන්ද සෙවණැල්ල ලෙසද සත්වයා අනුව සැරිසරණ කර්මය අපරාපරියවේදනීය කර්මයයි. බුදුන්වහන්සේට පවා විපාක දෙනු ලැබූ කර්මයයි. අභිමානය තනතුරු කර්ම පීතෘ ස්ථානය ලෙස 10 වැන්න සම්බන්ධ වෙයි. සය අවුරුදු දුෂ්කර සමය චිංචිමාණවිකාවගේ අභූත චෝදනා, දෙව්දත් තෙර ගල් පෙරළීමාදී බුදුන් වහන්සේට බලපෑ අපරාපරියවේදනීය කර්මයයි. නොසිතූ අයුරින් නිල තනතුරු ලැබීම ලක්ෂ කෝටිපති වාසනා මේ කර්මය යටතේ ජම්මියාට ගෙනදෙනු ලබයි.

 

අයස්ථානය (උපපජ්ජවේදනීය කර්මය)

ලාභ හෙවත් අයස්ථානය ලෙසට 11 වන්න, සලකනු ලබයි. වැඩිමහල් සහෝදර සහෝදරියෝ, සමීප මිත්‍ර සම්බන්ධතා, ආදායම් මාර්ග, සියලු ලැබීම් මරණය ආදී අංශයන් ද 11 භාවයෙන් ප්‍රකට වෙයි. දෙවන ආත්මයේදීම ලබන කුසල පක්ෂය අතින් නොපිරිහුණු ධන ලාභද අකුසල පක්ෂය අතින් පංචානන්තරීය කර්මය කළවූද භවයට ඇතුළත් උපපජ්ජවේදනීයට යටත් වෙයි. අනෙකුත් කර්මයෝ ස්ථිරසාර ලෙස ඊළඟ ආත්මභාවයේදී විපාක දෙනවා යයි කිව නොහැකි ය. 11 වැන්නාධිපති ප්‍රබල ග්‍රහ පිහිටීම් යහපතටද අයහපත් ග්‍රහ පිහිටීම් පෙර ආත්මයේ දුර්වල අවසානය ද පෙන්නුම් කෙරෙනු ඇත.

 

වැය ස්ථානය (අහෝසි කර්මය)

 

විපාක දීමට නියම කාලයක් නොතිබීමෙන් අහෝසි වී යන කර්ම බලවේගයන් වෙයි. අංගුලිමාල මහරහතන් වහන්සේ සහ දුටුගැමුණු චරිතාපදාන නිදර්ශන වෙයි. දුක, ඊර්ෂ්‍යාවවධ බන්දන, හිර අඩස්සී, ආත්ම විනාශ, රහස් කුමන්ත්‍රණ, වියදම නොලැබීම, විදෙස්ගත වීම් ආදිය 12 වැන්නෙන් ප්‍රකට කෙරෙයි. විපාක දිය යුතු කාලවලදී විපාක නොදී අහෝසි වී යන කර්මයන් 12 වන භාවයෙන් ප්‍රකාශනය වෙයි. එනම් යම් යම් උදවිය කරන ලද කුසලාකුසල කර්මයන් ගෙවී යයි. 12 වැන්න දුර්වලවීම හෝ 12 වැන්නට අශුභ ග්‍රහ දෘෂ්ටි වැටීම 12 වැන්නේන් කියවෙන කාරණාවන් ශෝකජනක තත්ත්වයට පත්වෙන්නේය. බුදු දහම සහ ඡ්‍යෝතිෂය ජම්මියෙකුගේ ජම්ම පත්‍රය සමඟ සසඳා බලා විස්මිත ජීවිත විවරණයක් ප්‍රවීණ ඡ්‍යොතිර්වේදියාට ඉදිරිපත් කළ හැකි වෙයි. බුද්ධිමත් දූරදර්ශී ජම්මියා ස්වකීය ජම්මපත්‍රය ප්‍රවීණ ඡ්‍යොතිර්වේදියෙකු ලවාම විශ්ලේෂණය කරගත යුතුය. ජම්ම සතුර ජම්ම සැතිරිය නිවාසය අවට ලක්ෂණ වින දෝෂ, භූමි දෝෂ, වාස්තු විද්‍යා දෝෂ ආත්ම දෝෂ ආදී සියලු ගෘහස්ථ ජීවන විස්තරයන් සටහන් තබා ගැනීම අනාගත ශුභ සිද්ධියට හේතු වන්නේය.

 

කොත්මලේ

විජිත ඩී. ලියනරාච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.