කුජගෙන් සිදුවන ලෙඩ රෝග

ජුනි 25, 2021

කුජ ග්‍රහයා හැඳින්වීමට බොහෝ ඡ්‍යොතිෂවේදීන් නම් කිහිපයක් ම භාවිතයේ දී යොදා ගනී. කොහොම භාවිතා කළත් කුජ කියන විට ඇඟ කිලිපොලා යන ගතියක්, සිතට බියක්, සංකාවක්, ඇති කරයි. අඟහරු යනුවෙන් බොහෝ දෙනා අතර ප්‍රචලිත වී ඇති මෙම ග්‍රහයා භූමි පුත්‍ර යනුවෙන් ද හඳුන්වයි. තවත් විදිහයකින් කියනවා නම් මිහිපුත් යනුවෙන් ද මංගල යනුවෙන් ද, ව්‍යවහාර කෙරේ.

 

පොළොවට සමාන ගති ගුණයෙන් හෙබි ග්‍රහ වස්තුවක් වන කුජගේ වික්‍රමයෙන් මෙන් ම සාදන ලෙඩ රෝග ද බොහෝ වෙයි. කුජ ග්‍රහයා ගැන තවත් විස්තර සොයා බැලීමේ දී කර්ත වර්ණයට අයත් ලේ ධාතුවට ද මූලික වශයෙන් අධිපති කමක් දක්වයි. මේ අයුරින් විග්‍රහ කර විමර්ශනය කර බලන විට ලේ නරක් වීමෙන් ලේ දූෂ්‍ය වීමෙන් වැළඳෙන බොහෝ රෝග තත්ත්වයන් කුජ ග්‍රහයා නීච වීමෙන් දුර්වල වීමෙන් ඇති වන්නේ ය. විශේෂයෙන් අධික රක්ත රෝගයන්ට මොහුගේ දෘෂ්ටිය බලපායි. කුජ දුර්වල වී සිටි න විට හෘද රෝග ඇතිවීමට හේතු සාධක ඇත. විශේෂයෙන් කුජ දුර්වල වීමෙන් උෂ්ණ රෝග ද ඇති කරයි. බොහෝ අධිපති ග්‍රහයන් සමඟ කුජ සංයෝග වී ඒක රශී වී සිටින විට දුර්වල වී ඇති කුජ නිසා උෂ්ණත්වය හේතු කොට ගෙන ලේ නරක් වීම කරණ කොට උෂ්ණ රෝගාබාධ ඇති කරයි. විශේෂයෙන් කාන්තාවන්ගේ ගබ්සා ඇති කිරීමට දුර්වල කුජ ප්‍රධාන වේ. එසේ වන්නේ කුජ හය වැන්නේ දුර්වල වූ විට ය. බොහෝ විට හත් වැන්නා පරීක්ෂා කර බැලීමේ දී කුජ දුර්වල වූ විට කාන්තාවන්ගේ ප්‍රසූතියට ද බාධා අවහිර සිදු වේ. එපමණක් නොව ගිනියම් වර්ගයේ ලේ උෂ්ණාධික රෝග ඇති කරයි. තවද ලේ ධාතුව විෂ වීමේ රෝගයෙන් මෙන් ම ඇස්, රෝග, මුත්‍රාබාධ ලෙහෙසියෙන් ජන්මියාට ළං කරයි. මෙය බොහෝ විට සිදු වන්නේ අටවැනි රාශියේ කුජගේ පෙනීම දුර්වල වූ විට දී බව පෙනී යයි.

කෙනෙකුට ඇතිවන විපත් කරදර, බරපතළ රෝගාබාධවලට කුජ ඉතා ඉක්මණින් ළං වන්නේ ද කුජ දුර්වල වූ විටය. විටෙක කුජ දුර්වල වූ විට මාංශ පේශී, ඇස්වල අමාරු ද, රුධිර දෝෂ, වාත ආබාධ, ජන්මියාට ළඟා කර දෙයි. වෙනත් ග්‍රහයන් සමඟ සංයෝග වූ විට තවත් බොහෝ අසනීපයන්ට කුජගේ දුර්වලතාවය බලපායි. මෙම කුජ ග්‍රහයා ඉතාමත් ප්‍රකටව ඇත්තේ යුද්ධයට අධිපතීත්වය දරණ ග්‍රහයෙක් වශයෙනි. ඒ වාගේ ම මෙම ග්‍රහයා උනන්දුව හා දක්ෂතාවය ද ලබා දෙයි. ඒ නිසා වික්‍රමාන්විත තේජස් බවක් ද ඇති කරයි.

පෙර ආත්ම භවයන්හි දී අධික ලෙස කෝප වීම නිසා අන් අයට හිරිහැර කිරීමට මෙම ග්‍රහයා සැදී පැහැදී සිටියි. එසේ වූ විට ජන්මියාට හිරිහැර කරන අතර කපා කොටා තුවාල කරන්නට ද කුජ අමතක නොකරයි. ද්වේෂ අන්දමින් පාප කර්ම රැස් කර ගෙන තිබෙන ජන්මියෙකුට සිතෙහි හටගන්නා බලවත් ආශාවන් හේතු කොටගෙන එසේ නැතිනම් තරහ නිසා අන් අයවලුන් තැති ගන්වමින් බියට පත්කරලීමට ද කුජ පසුබට නොවේ. යමෙක් ත්‍රස්තවාදී ක්‍රියා සිදුකර ඇත්නම් තමන් අමනාපව සිටින අයට ඇඟේ ලේ වතුර වන අන්දමින් තදබල මරණ බිය ගෙන දෙන්නේ ද කුජ ග්‍රහයා විසින් ය. තව ද අතීතයෙහි බලවත් බිය වැද්දීම්, කළහොත් එම ජන්මියාට කුජ තදබල ලෙසට ම අපල බලපෑමට සලස්වයි. බොහෝවිට ජන්මියාට ලියුකේමියාව හටගන්නේ කුජගේ පාප කර්ම නිසා ය.

පෙර ආත්ම භවයන්හි දී කරන ලද කර්ම හේතුවෙන් අධික දුක් විපත් ඇති කරන්නේ කුජ ග්‍රහයාගේ අනුග්‍රහයෙනි. අනෙක් අතට කල්පනා කර බැලීමේ දී පෙර භවයන්හි කරන ලද අකුසල කර්මයන් බොහෝ දෙනෙක් පිළිගැනීමට මැලිවෙයි. ඒ අවස්ථාවනහි දී හුඟ දෙනෙක් ලැජ්ජාවට බියට පත්වෙන අය අනන්ත ය.

ඒ අනුව සළකා බලන විට මේ ලෝකයේ දී සිතන්නට බැරි තරම් යහපත් දේ කළත් සියවසක් උපේක්ෂා සහගත අල්පේච්ඡ ජීවිතයක් ගත කළත් පසු කරන ලද ආත්ම භවයන්හි දී ජන්මියා විසින් කරන්නට යෙදෙනතදබල පාප කර්මයන් තිබුණොත් එවැනි දේ වළක්වා දැමීමට නම් කිසිවෙකු සමත්කම් නොදක්වයි. අපගේ තිලොවට තිලක වූ බුදුරජාණන් වහන්සේ පවා සංසාරයේ සැරිසරන අවදියේ බොහෝ වකවානුවල දී අකුසල කර්මයන් සිදු වූ බවට දේශනා කළ සේක. එසේ ම මහත් බලසම්පන්න බවක් ඇති අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේට ද මීට ආත්ම සිය ගණනකට පෙර කාල වකවානුවේ දී මව්පියන්ට පහර දීමේ අකුසලකර්ම විපාකයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් සොරුන්ගේ අතවරයට ලක් වී පිරිනිවන්පාන්නට යෙදුණ බව පළ කළ සේක. කෙසේ වෙතත් මේවාට ප්‍රතිකර්ම නැතුවා නොවේ.

 

ඡ්‍යොතිෂ හා විද්‍යා විශාරද

මහාචාර්ය

හේමපාල පතිරණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.