පොරොන්දම්වලට හසු නොවූ ගැටලු සුදර්ශන චක්‍රයෙන් බලන්නෙ මෙහෙමයි

සැප්තැම්බර් 13, 2024

පොරොන්දම් යනු සංසාරේ පුරන ලද පෙරුම් දම්ය. අතීතයේ පටන් ම මේ කටයුත්ත සඳහා ඡ්‍යොතිෂය පිහිට කර ගැනීම සිදුවිණි. දෙදෙනෙකු ජීවත් වීමේ දී පෙර ජීවිතයට වඩා අනාගතය යහපත් වනවාද? දෙදෙනාගේ සංයෝගය තුළින් දෙදෙනා සතුටු වෙනවාද? විවාහය අඛණ්ඩ පැවැත්ම උදෙසා දරු සම්පත් හිමිවනවාද? ඒරාෂ්ටක කාලවලදී,

ගෙවන දාසාවලදී බාධක යෙදෙනවාද? අනාගතයේදී එක් අයෙකුගේ ග්‍රහ බලපෑම්වලින් අනෙක් පාර්ශ්වයට මාරක ගෙන දෙනවාද? ආගමික ළැදියාව කෙසේද? ආදී වශයෙන් බොහෝ කරුණු කාරණා සොයා බැලීම සඳහා වැඩිහිටියෝ විසි පොරොන්දම කෙරෙහි ඉතා සැලකිලිමත් වූහ.

මේ විසිපොරොන්දමින් ඉතා වැදගත් වන දස පොරොන්දම මෙසේය.

නැකැත් පොරොන්දම

ගණ පොරොන්දම

මහේන්ද්‍ර පොරොන්දම

ස්ත්‍රී දීර්ඝ පොරොන්දම

යෝනි පොරොන්දම

රාශි පොරොන්දම

රාශ්‍යාධිපති පොරොන්දම

වශ්‍ය පොරොන්දම

රජ්ජු පොරොන්දම

වේධ පොරොන්දම

මේ දස පොරොන්දම පිළිබඳ අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු අතර පහත සඳහන් අනෙකුත් පොරොන්දම් දහය පිළිබඳව නොසලකා හැරීමෙන් වරදක් සිදු නොවන බැව් ඉදිරිපත් කළ හැකිය.

වෘක්ෂ පොරොන්දම

ආයුෂ පොරොන්දම

පඤ්ච පක්ෂි පොරොන්දම

භූත පොරොන්දම

ගෝත්‍ර පොරොන්දම

වර්ණ පොරොන්දම

ලිංග පොරොන්දම

නාඩි පොරොන්දම

දින පොරොන්දම

ග්‍රහ පොරොන්දම

මේ විසි පොරොන්දම්වලට අමතරව පුරාණයේ සිට අෂ්ටකූටක පිළිබඳ සැලකිලිමත් වූ අතර ඒ මගින් පොරොන්දම් අටක් පමණක් භාවිතයට ගෙන ශුභ අශුභතා බැලීමට නාඩි, රාශි, ගණ රාශ්‍යාධිපති යෝනි නැකත්, වෛශ්‍ය, වර්ණ යන පොරොන්දම් සඳහා ලකුණු 36 ක් නියම කර තිබෙන අතර කිසියම් පොරොන්දමක් ශුභ නම් මුළු ලකුණු ප්‍රමාණයමද මධ්‍යම නම් ලකුණුවලින් අඩක්ද අශුභ නම් ශුන්‍ය බවද මෙහි දී ලකුණුවල අගය 18 ට වඩා වැඩි වූයේ නම් විවාහයකට ශුභ බව ද අඩු නම් අශුභ බව ද තීරණය විය.

මෙසේ දස පොරොන්දම විසිපොරොන්දම අෂ්ඨකූඨය ආදී නොයෙකුත් ක්‍රමවේද භාවිත කළ ද විවාහක යුවළ අතර නොයෙකුත් මතගැටුම් නිර්මාණය වී තිබීම මෙන් ම ග්‍රහ නොගැළපීම් පිළිබඳව ද මනා අවබෝධයක් ලබා ගැනීමට අසීරු වී තිබේ.

මෙහිදී ඉතා පැරැණි වූ ක්‍රමවේදයක් පුරාණ ලංකාවේ භාවිත කළ සුදර්ශන චක්‍රය නම් වූ ඉතා වටිනාකමින් යුතු වූ චක්‍රය තුළට දෙදෙනාගේ කේන්දර සටහන්වලට ග්‍රහයෙන් ඇතුළත් කළ පසු ඔවුනොවුන් කොතරම් දුරට ගැළපී තිබෙනවාද යන්න පිළිබඳ ඉතා යහපත් වූ තීරණයන්ට එළඹිය හැකිය.

පහත උදාහරණයකින් දැක්වූයේ විසි පොරොන්දම තුළින් ඉතා ශුභයැයි නිගමනයකට එළඹී තිබූ එහෙත් සුදර්ශන චක්‍රය තුළදී බොහෝ අසාමාන්‍යතා පෙන්නුම් කරන කේන්ද්‍ර සටහන් දෙකකි.

 

ර 6,8 අශුභයි

ච 2,12 අශුභයි

කු 9,5 ශුභයි

බු 7,7 අශුභයි

ගු 12,2 අශුභයි

ශු 7,7 අශුභයි

ශ 12,2 අශුභයි

රා 2,12 අශුභයි

 

දෙක අධිපති 1,1 ශුභයි

හත අධිපති 7,7 අශුභයි

කුජ අධිපති 10,4 ශුභයි

ර අධිපති 6,8 අශුභයි

 

සුදර්ශන චක්‍රයේ විස්තර

ඉහත සුදර්ශන චක්‍රයට අනුව

රවි ග්‍රහයා 6:8 අශුභව පෙන්නුම් කෙරේ. රවි ග්‍රහලොව රජු වන අතර පුද්ගලයෙකුගේ සිතුවිලිවල පිරිසිදු බව මෙන්ම පුද්ගල ආත්මය නියෝජනය වන බැවින් ආත්ම කාරක ග්‍රහයා ලෙස හඳුන්වයි. ඉහත චක්‍රය අනුව ස්ත්‍රී කේන්දරයේ රවි දෙවැන්න වෘෂභ රාශියේ සතුරුවත්, පුරුෂ කේන්දරයේ 7 වැන්න තුලා රාශියේ නීචවත් සිටි. මේ පිළිබඳව සලකා බැලීමේදී දෙදෙනාගේ සිතුවිලිවල නොගැළපීම් මෙන්ම එක් අයෙකු අනෙකාගේ අදහස්වලට ගරු නොකිරීම ආදී දේ මත නිරතුරු ගැටුම් නිර්මාණය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

චන්ද්‍රයා

2:12 අශුභයි ; චන්ද්‍රය යනු පුද්ගලයාගේ අභ්‍යන්තර සිතුවිලිවල පිරිසුදු භාවයයි ගුණවත්කම නියෝජනය කරන ග්‍රහයයි. මෙහිදී මේ නොගැළපීම මත දෙදෙනා තුළ සිතුවිලි විනිවිද දැකීමට නොහැකි වෙනවා මෙන්ම මුළා කිරීමට වංචා කිරීමට තිබෙන ඉඩකඩ වැඩි වේ.

කුජ 9:5 ශුභයි.

කුජ හෙවත් අඟහරු යනු ග්‍රහලොව සෙන්පතියාය. පුද්ගල ආත්මය ශක්තිය වීර්යය දරා ගැනීම ස්ථිර බව කාමාශාව ධනය උත්පාදනයට බලපාන ශක්තිය ආදී දේට මුල් වන අතර මේ ජන්ම පත්‍ර දෙක අතර අඟහරුගේ ගැළපීම නිසා මේ විවාහය මොන කම්කටොලු බාධක මැද තිබුණද ඉදිරියට ගලාගෙන යාම පෙන්නුම් කරයි.

බුධ 7:7 අශුභයි. මෙහිදී සප්තම දෘෂ්ටිය අශුභ වේ.

ගුරු ග්‍රහයා 2:12 අශුභයි.

මෙහිදී පුත්‍රකාරක, ප්‍රිය මනාපබව, විශ්වාස බව, යුක්තිගරුක බව, උසස් දැනුම, ගෞරවය නිහතමානී බව, නීතිගරුක බව, උසස් ගුණධර්ම ආදී දේ ගුරු හෙවත් බ්‍රහස්පතිගේ නියෝජනය වේ. ඉහත ජන්ම පත්‍ර අනුව දෙදෙනා එක්ව කටයුතු කිරීමේදී මතගැටුම් නිර්මාණය වීම සිදුවන අතර දෙදෙනා තුළ දෙදෙනා කෙරේ සැලකිය යුතු එකඟතාවය නැමියාව බොහෝවිට මතභේද නිර්මාණය කිරීමට දායක වේ.

7 ශුක්‍ර 7:7 අශුභයි.

මෙහිදී සප්තම දෘෂ්ටිය අශුභ නිසා දෙදෙනාගේ සංයෝජනය තුළ දෙදෙනාගේ බලාපොරොත්තු ඉටු නොවීම මෙන්ම එක් අයෙකු අනෙකා ප්‍රතික්ෂේප කිරීම ආදී කරුණු මත ගැටුම් නිර්මාණය වීම වැළැක්විය නොහැකි වේ.

8 ශනි 12:2

ජීවිතයේ සියලු කම්කටොලු විඳවීමල විඳදරා ගැනීම, ඔරොත්තුදීම සියල්ල ශනි හෙවත් සෙනසුරු නියෝජනය කරයි. මෙහිදී සියලු කම්කටොලු බාධා සියල්ල උරුමය බව සෙනසුරුගේ අසුබතාවය මත පෙන්නුම් කරයි.

2 අධිපතියා 1:1 ශුභයි.

මෙහිදී එක් අයෙකු උපයන දෙය අනෙක් පාර්ශ්වය නිසා විනාශ නොවන බව පෙන්නුම් කරන අතර මිල මුදල් වස්තුව ලැබීමේ භාග්‍යයෙන්ද යුක්තය.

හත අධිපතියා 7:7 අශුභයි.

සප්තම දෘෂ්ටිය අශුභ නිසා දෙදෙනාගේ විවාහයේ අභිමතාර්ථ ඉටු වීම සිදු නොවීම පෙන්වා දෙයි.

කුජ ශක්‍ර 10:4 ශුභයි.

නිමක් නැති දුක්කම් කටලු නිර්මාණය වුවද විවාහය නොබිඳී ඉදිරියට ගලාගෙන යාම සිකුරු හා අඟහරුගේ ගැලපීමට පෙන්වා දෙයි.

රවි චන්ද්‍ර 6:8 අශුභ නිසා,

දෙදෙනා එක වහලක් යටට වී දිවි ගෙව්වද බොහෝ පරස්පර වූ අදහස් උදහස් අනුව ඉටු නොවන පැතුම් පොදිබැඳ දෙලොවක් අතර අධික චිත්ත පීඩාවෙන් කල්ගෙවීම දැක්විය හැකිය.

ජීවිතය යනු විඳීමට මිස විඳවීමට නොවිය යුත්තකි. මෙහිදී විසි පොරොන්දම තුළින් හසු නොවනා සුදර්ශන චක්‍රයේදී නිවැරැදිව පෙන්නුම් කරන ග්‍රහයන්ගේ ශුභ අශුභතා හඳුනා ගැනීමට හැකිවන නිසා අනාගත පරපුරට ලස්සන වූ හෙටක් නිර්මාණය කිරීම සඳහා සුදර්ශන චක්‍රය භාවිත කරන්නේ නම් අගනේය.

 

ඡ්‍යොතිර්වේදිනී වයි.පී. නිලංගනී

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.