පක්ෂීන් අපට කියන පෙරනිමිති

ජනවාරි 26, 2024

පොල්කිච්චා නිවෙස් ආසන්නයේ දක්නට ලැබෙන පක්ෂියෙකි. උදෑසන තනි පොල්කිච්චෙකු දැකීම අසුබ බවත් දෙදෙනෙකු දැකීම සුබ බවත් අදහසය. තනි පොල්කිච්චෙකු දුටහොත් එය අන්‍යයෙකුට පෙන්වීම දෝෂ භංගත්වය ගෙන දෙයි.

සූර්යයා අස්තංගත වූ විට පොල්කිච්චෙක් ගෙදර අසල සිට හඬ දෙන්නේ නම් එය ඉක්මනින් අභාග්‍ය සම්පන්න කරුණකට මුහුණ දෙන බව ගැමියා අදහස් කරයි. ගමනක් පිටත්වීමේදී පොල්කිච්චෙකුගේ දැක්මද නාදය ඇසීමද සුබ නොවේ. පොල්කිච්චෙක් ගේ තුළට වැදීම අසුබයි.

ගේ කුරුල්ලන් වැලි නෑම ඉදිරිකාලයේ වර්ෂාව ගෙන දෙන බව විශ්වාස කරයි. ගෙදරට ගේ කුරුලු ජෝඩුවක් පැමිණීම වාසනාවන්ත බවේ සෞභාග්‍ය බවේ පෙර නිමිත්තකි. ගේ කුරුල්ලන් ගෙදර සැරිසැරීම ඉතා සුබ හෙයින් ඔවුනට බිත්තියේ මුට්ටියක් කූඩුවක් සේ සකසා දීම නිවැසියාගේ සිරිත වී ඇත. එසේම ගේ කුරුල්ලන් ජෝඩුව කූඩුව අත්හැර ගෙදරින් පිටව යාම අසුබය. ඉක්මනින්ම ගෙදරට කරදරයක් වන ලකුණුය. ඒ බව ගේ කුරුල්ලන්ට කල් තබා දැනී ඉවත්ව යයි. මේ නිසා ගෙහිමියා ඒ පෙර නිමිත්ත ඔස්සේ අවබෝධයෙන් සිටී. සමහරවිට නිවසේ ගේ කුරුලු ජෝඩුව දබර කරගනු ඔබට පෙනෙනු ඇත. එය නිවසේ ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර ආරාවුල් හටගන්නා බවේ ලක්ෂණයකි. ඇඳට ඉහළින් ගේ කුරුල්ලන් කූඩු තනා ගනියි නම් එය අසුබය.

වඩු කුරුල්ලා වැව්තාවුල්ලේ කිරළ අන්දර ගස්වල පහළ අතුවල කුඩු හැදීම වැවට අඩුවෙන් වතුර ලැබීම හා ඉහළ අතුවල කූඩු හැදීම වැවට වැඩියෙන් වතුර ලැබීම පිළිබඳ ලක්ෂණ සේ වැව් අසල ගැමියෝ සිය අත්දැකීම් ඔස්සේ ගෙනහැර පාති. වඩුකුරුලු කූඩු නිවසේ තබා ගැනීමට කිසිවෙක් කැමැති නැත. අසුබපල ගෙන දෙතැයි හැඟීමෙනි.

බකමූණා සූර්යයා අස්තානගත වූ පසු නිවස අසල සිට හූම් හූම් හඬ නැඟීම අසුබය. නිවෙසේ රෝගියකු සිටී නම් රෝගියාගේ තත්ත්වය අසතුටුදායක බව හැඟවේ.

වැහිළිහිණියන් අහසේ රංචු වශයෙන් පියාසර කිරීම, මෙරු රංචු විශාල වශයෙන් පොළවෙන් ඉඟිලීම, කෑදැත්තා අහස්කුස එහා මෙහා සැරිසරමින් හැසිරීම, උකුස්සන් පහළ අහසේ රටා මවමින් පියෑඹීම ආදි අවස්ථාවන් ඔස්සේ අපේ ගැමියා “දැන් ඉතින් නියඟය ඉවරවෙලා වහින්න ළඟ බවයි’ කියන්නේ.

දෙමලිච්චන් මිදුලේ රංචු වශයෙන් විත් නාද කරන කල වැස්ස නම් අත ළඟ යයි අදහස් කරයි. රැහැයියන් උදය කාලයේ සමූහ වශයෙන් නාද කරමින් හඬ පතුරුවන කල නියඟ අවසන්ව වර්ෂාව ලැබෙන බව හේන් ගොවියා අදහස් කරයි.

බොහෝ දෙනා පරෙවියන් ඇති කිරීමට කැමැතිය. ඔවුන් නිවසේ සිටීම සුබ ලක්ෂණයක්ය යන්න දැනගෙන වන්නට ඇත. පරෙවියන්ගේ අතහැර යාම අශුභ ලකුණකි. වැදගත් ඔවුන් සිටීමය. පරෙවි සංවාසය දැකීම පි‍්‍රය සම්භාෂණයට සහභාගි වීම, ඥාතියකුගේ පැමිණීම අඟවන බව අදහසයි. ගමනක් ආරම්භයේදී පාර හරහා දකුණේ සිට වමට පරෙවියකු පියාසර කිරීම සුබ ලක්ෂණයක් සේ අදහස් කරයි.

පාන්කිරිත්තන් ගේ තුළ දබර කර ගැනීම දැක්ම දෙමව්පියන් අතර අඬදබර, ප්‍රශ්න ඇතිවීමකි.

කෑරලාගේ හැඬීම ගමනාරම්භයට අශුභය. එබඳු විටක ගමන නොගිහින් සිට යළි යාම ගැමියන්ගේ සිරිතය.

ඇටිකුකුළාගේ නාදය සුබ ලකුණකි. කොවුලාගේ නාදය අවුරුදු ළඟ බැව් කියාපාන්නාක් සේ අදහස් කරයි.

ගමනාරාම්භයේදී කොබෙයියෙක් පාර හරහා දකුණේ සිට වමට පියාසර කිරීම එම ගමනේ සුබපල උදාකරවන නිමිත්තකැයි අදහස් කෙරේ.

කුඹලා ගෙවල්වල ජනෙල්, උළුවහු ආදියේ සිට නිවෙස තනයි. එබඳු නිවෙස් දක්නට ලැබුණු කල වැඩිහිටියන් අසන්නේ “කවුද අපේ දරුවකු ලැබෙන්න ඉන්නේ කියලා. පවුලේ සමීප කාන්තාවකට දරුවකු ලැබීමක් කුඹලා එබඳු නිවෙස් තැනීමෙන් පෙන්වන බව අදහස් කරන අතර කිසිවිටෙකත් එම නිවස විනාශ නොකිරීමටත් වග බලා ගනියි.

‘බංගලා පාළුවත්’ නමැති ලොකු කලු පැහැ කුරුමිණියන් නිවසට පැමිණ යටලී, බාල්ක ආදියේ වැසීම එම නිවස ඉක්මනින් පාළුවට යාමේ අසුබ ලක්ෂණයක් සේ සැලකේ. මිනිසුන් වාසය නොකරන අම්බලම්වල මේ කුරුමිණියන් බහුලව දක්නට ලැබෙන හෙයින් අම්බලම් පාළුවෝ යනුවෙන්ද මේ කෘමීන් හඳුන්වයි.

වවුලකු ගෙදරට ඒම අසුබ සේ සැලකේ.

 

මතු සම්බන්ධයි.

 

ආචාර්ය සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.