කේන්දරයෙන් ඕරාව බලා ගන්නා ක්‍රමය

ජනවාරි 12, 2024

ඕරාව (Aura) පිළිබඳ විවිධ තතු විවිධ ග්‍රන්ථාභ්‍යන්තරයෙහි වේ. ස්වකීය භෞතිකමය සිරුර වටා ඇති ශක්තිමය සිරුරක් පිළිබඳවය මෙහිදී සාකච්ඡා වනුයේ. ඒ සඳහා විවිධ අරුත් දෙයි. කෙසේ වෙතත් වේදාන්ත අනුව විමසන විට මේ සඳහා උපකාර වනුයේ පංච කෝෂ පිළිබඳ ඉගැන්වීමය. එසේම ශරීරත්‍රය ය. මේ සියල්ල විමසන මූලික මාතෘකා කීපයකි. තත්ත්ව ග්‍රහ විභාගය එකකි. අවසානයේ දී මේ සියලු ඥාන සංකල්ප ඡ්‍යොතිෂය සමඟ සම්බන්ධ වේ.

මිනිසා ස්ථුල ශරීරය, ශූක්ෂම ශරීරය සහ කාරණ ශරීරය යන ශරීරත්‍රයකින් සමන්විතය. මේ ශරීරත්‍රය තුළ කෝෂ පසකි. අන්නමය කෝෂය, ප්‍රාණමය කෝෂය, මනෝමය කෝෂය, විඥානමය කෝෂය සහ ආනන්දමය කෝෂයයි. මේ පස ගැන ඡ්‍යොතිර් විද්‍යාත්මකව විමසා බැලීම සඳහා කේන්ද්‍රයේ සුවිශේෂී සංවේදී ලක්ෂ්‍යයන් පහක් වේ. එම සංවේදී ලක්ෂ්‍යය පිළිබඳව සෑම ඡ්‍යොතිර්වේදියෙකුම දනී. එහෙත් ඒ සංවේදී ලක්ෂ්‍යයන් සහ පංච කෝෂ අතර සබඳතාවය පිළිබඳ අවබෝධය ඇත්තේ අතළොස්සකට පමණක්ම බව විශ්වාසය. අපි ඒ පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කරමු.

මෙහිදී මාතෘකා කළ “ඕරාව“ ප්‍රාණමය සහ මනෝමය කෝෂය හා සබැඳිව අන්නමය කෝෂය වටා පිහිටයි. සෙසු විඥානමය කෝෂය සහ ආනන්දමය කෝෂය සමඟ ද අන්තර් සබඳතා පවතී. මේ පංච කෝෂ පවත්වාගෙන යාමට උපකාර වන්නේ ‘ආධාරක’ වේ. ඒ ආධාරක ප්‍රධාන වශයෙන් අටක් වන අතර ඉන් එකක් අප්‍රකටව සතක් හෙළිදරව් වේ. ඒවාට සමාජයේ කුණ්ඩිලිනි චක්‍ර යැයි කියයි. එසේම මේ සප්ත විධ චක්‍ර පිළිබඳ හැදෑරීමට ෂඩ් චක්‍ර දර්ශනය යැයි කියනු ලබයි. සත්‍ය වශයෙන්ම චක්‍ර සතක් පවතින විට එක් චක්‍රයක් හෙවත් සහශ්‍රය අනෙක් හය ඇසුරින් පුබුදුවන බැවින් සහශ්‍රය අමතක කොට ඉතිරි චක්‍ර හය ගැන සාකච්ඡාවට ෂඩ් චක්‍ර දර්ශනය යැයි කියන්නේ යැයි පෙනේ. එවිට ප්‍රධාන චක්‍ර අටක් වී නම් එයටත් පිළිතුර එයම වේද විමසා බැලිය යුතු ය. සත්‍ය වශයෙන්ම චක්‍ර සියල්ල අතර ප්‍රමුඛත්වය ගන්නා ආධාරත්‍රය සහ එම ආධාරත්‍රයේ යතුරු 3 යන කරුණු සය පිළිබඳ ඥානය ෂඩ් චක්‍ර දර්ශනය වන්නේ දැයි සිතා බැලිය යුතු ය. මේවා එකින් එක විමසා බැලිය යුතුවෙයි.

එසේම මේ සියලු චක්‍ර සහ සියල්ල නවග්‍රහයන් සමඟ සම්බන්ධ කරනු ලැබේ. Ganesha speaks.com වෙබ් අඩවියේ ආකාරයට කුණ්ඩිලිනි ශක්තිය රාහුට හිමිය. මූලාධාර චක්‍රය සිකුරුට හිමිය. ස්වාධිෂ්ඨාන යන චක්‍රය අඟහරුවත්, මනිපුර චක්‍රය රවිටත් හිමිකර දී ඇත. අනාහත චක්‍රය බ්‍රහස්පතිට යටත්වන අතර ආහු චක්‍රය සඳුට හිමිය. සහශ්‍රාරය සෙනසුරුවත්, සමාධි තත්ත්වය කේතුටත් හිමිවන බව පෙන්වා දී තිබේ. මේ ආදී වශයෙන් විවිධ ග්‍රහ සලකුණු එක් එක්. ස්ථානයන්හි එක් එක් ඉගැන්වීම්වල දක්නට ලැබේ. ඒ පිළිබඳ ගැටලු විසඳා ගැනීමට නම් ඉපැරැණි මූලාශ්‍ර විමසා බැලිය යුතුය. තර්කානුකූලව විචාර බුද්ධියෙන් යුතුව කරුණු කාරණා විමසිය යුතුව ඇත. චක්‍ර සහ වර්ණ පිළිබඳවද පැවසිය යුත්තේ එවැනිම කතාවකි. මූලාධාර චක්‍රය රක්ත වර්ණ වේ. මේ බොහෝවිට පත පොතෙහි දැක්වෙන වර්ණයය. මා කියැවූ එක ගතෙක මූලාධාරය කසාවන්ය යැයි කියා තිබුණි. මේ පිළිබඳ මති මතාන්තර ඉදිරිපත් කරන බොහෝ දෙනෙකු ඒ පිළිබඳ නිසි අධ්‍යයනයකින් තොරව ඒවා පවසා ඇතැයි මට සිතේ. මූලාධාරය රක්ත වර්ණ ද කසාවන්ද යන්න මාගෙන් කෙනෙකු ඇසුවොත් මා ඊට දෙන පිළිතුර නම් ඒ දෙකම සත්‍ය ලෙස ගත හැකිය යන්නයි. මේ පිළිබඳ මූලාශ්‍ර සොයාගෙන යන විට අගය කළයුතු ග්‍රන්ථ රාශියක් හමුවේ. ඒ අතරින් චෙරුතන්ත්‍ර, බ්‍රහ්මයා මලය, ස්වර ශාස්ත්‍ර, ශිව සූත්‍ර, ශ්‍රී විද්‍යා තන්ත්‍ර, උමා යාමලය, රුද්‍ර යාමලය, තිරු මන්දිරම් ආදී ග්‍රන්ථ මාගේ ප්‍රසාදයට හේතු වූ ග්‍රන්ථ වේ.

ඔබේ කේන්ද්‍රයෙහි මූලාධාර චක්‍රය පිහිටන තැනක් වේ. Travel with moon  ග්‍රන්ථය රචනා කළ අචලා මහත්මිය ප්‍රකාශ කරන්නේ තිථියට අනුව ඔබේ චක්‍ර පිහිටන ආකාරයය. මෙසේ මූලාධාරය, ස්වාධිෂ්ටානය, මනිපුරය, අනාගතය, විශුද්ධිය, සෝමය, ආශ්‍රය, සහශ්‍රය යන චක්‍ර අට මිනිස් සිරුර තුළ ක්‍රමයෙන් පිහිටයි. එසේම මේ චක්‍ර අෂ්ඨකය දෙපසින් තවත් චක්‍ර දෙකක් වේ. ඒ සමාධි චක්‍ර වේ.  Miror meditation සංකල්පයේ සැඟවුණු දත්ත සොයා බැලීම මේ පිළිබඳ උනන්දු වන අයට වැදගත් විය හැකිය.

මා අධ්‍යයනය කර ඇති උමා ඡ්‍යොතිෂ විෂය පථය අනුව මූලාධාර චක්‍රයට සෙනසුර අධිපති වේ. මූලාධාර තත්ත්වය යටතේ එහි අධිපතිත්වය බුධට හිමි වේ. මෙහි හෝරා බලය ද බුධ හිමිකරගනී. කිසියම් ජන්මියෙකුගේ මේ ගුණ සහ බුධ දුර්වල නම් මූලාධාර චක්‍රයෙහි ප්‍රභාවය අවම වේ. නැතහොත් මූලාධාරය ඇසුරු කරන ඒභපච ස්වභාවය ප්‍රබල නොවේ. බුධගේ හෝරා බලය උපදවාගෙන කටයුතු කිරීමෙන් සහ මාපටැඟිලි, මැඳගිලි බැඳ මූලාධාර චක්‍රයෙහි සිහිය පවත්වා ගැනීමෙන් තත්ත්වය වෙනස් කර ගැනීමට වැර දැරිය හැකිය. ජන්ම කේන්ද්‍රයේ දුර්වලතාවය කොතෙක් දුරට මඟ හැරී ඇත්දැයි යන්න විමසා බැලීමට තත්කාල කේන්ද්‍ර සටහන තරම් ශක්තිමත් දෙයක් මා දැක නැත.

යාන්ත්‍රික හෝ විද්‍යාත්මක නවීන උපකරණ පිළිබඳව මාගේ අදහස මෙහිදී වැදගත් නැත. ඉන් සිදුකළ හැකි යැයි පවසන දෑ වඩාත් විශ්වසනීයට ඡ්‍යොතීර්විද්‍යා ගණිතයට අනුව විමසිය හැකිය. යෝග විද්‍යා හදාරන අයට පහසුවෙන්ම මෙහි සත්‍ය අසත්‍යතාවය පසක් කළ හැකිය. දැන් මා මෙහි මූලාධාරය සෙනසුරුට හිමියැයි පවසා ඇත. එය අන්තර්ජාල ඉගැන්වීම් ඇසුරින් නොව පුරාණ ඉගැන්වීම් අනුවම පවසා ඇත. ඉදින් ඡ්‍යොතිෂයෙහි උපයෝගීතාවය වඩ වඩා විමසිල්ලට යොමු වේවා.

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.