මත්ලෝලීන් කේන්දරයෙන් හඳුනා ගනිමු

ජනවාරි 12, 2024

මෙරට පිරිමින්ගෙන් බොහෝ දෙනකු මත්පැන් පානයට පෙළඹී වී සිටින හෙයින් යුග දිවියට එළඹීමට පෙර ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. තමාගේ සහකරු මත්පැනට ගිජු, මත්පැන් ලෝලියකු වුවහොත් යුග දිවිය සාර්ථක අන්දමින් ගෙන යාමට බලවත් බාධාවක් වනු ඇත. මත්පැන් පානයට අවතීර්ණ වන්නන් ප්‍රථමයෙන් පානය කරන්නේ සුළු ප්‍රමාණයකි. එසේ සුළුවෙන් ආරම්භ කරන පානය ක්‍රමයෙන් වැඩිදියුණු වී දිනපතාම ඒ කෙරේ යොමු වේ. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් යුගදිවිය කිසිසේත් සතුටින් සමාදානයෙන් ඉදිරියට ගෙන යාමට අපහසු වනු ඇත.

එබැවින් මත්පැන් පානය කෙරෙහි පුද්ගලයා යොමු කරනු ලබන ග්‍රහයෝග ගැනද පොරොන්දම් ගැළපීමේදී සැලකිලිමත් විය යුතුය.

කුජ – සිකුරු යනු බලවත් කාමාධික ග්‍රහයෝය. මෙම දෙදෙනාගේ සංයෝගය ජල රාශියක පිහිටීම මත්පැනට ජන්මියා ඇද දමන පිහිටීමකි. සඳුගේ හා අඟහරුගේ බලයද මත්පැන් කෙරෙහි වැඩි ඇල්මක් දැක්වීමට හේතුවනු ඇත.

කටක,වෘශ්චික, මීන යන ජල රාශියක බුධ සිකුරු සිටියදී එම ග්‍රහයන් අඟහරුගේ හෝ බ්‍රහස්පතිගේ අශුභ දෘෂ්ටියට ලක්වූ විට ජන්මියා නිරායාසයෙන් මත්පැන් කෙරේ යොමු වේ. අන් ස්ත්‍රීන් කෙරෙහි යොමුවීමටද මේ පිහිටීම හේතු වනු ඇත. දුර්වලත්වයට පත් සඳු ද නීච රාශිවල සිටීම මත්පැනට යොමු කර වන තවත් ග්‍රහ බලයකි. සඳු අවපක්ෂයේ හෝ වෙනත් පාපයන්ගේ හෝ දෘෂ්ටියෙන් දුර්වල වීම වඩාත් අයහපත් වනු ඇත. මේ ග්‍රහ බලය කේන්ද්‍රස්ථානයක යෙදීම නිසා තරුණ අවධියේ සිටම සමාජ සම්මත නොවන පුරුදුවලට ඇබ්බැහි වනු ඇත.

මත්පැන් පානය කෙරෙහි සඳු බලවත් වුවත් එම බලය සඳුට තනිවම ක්‍රියාත්මක කිරීමට අපහසු වනු ඇත. ඒ සඳහා වෙනත් ග්‍රහයන්ගේ සංයෝග හා දෘෂ්ටීන්ද අවශ්‍ය වේ. සඳු, කුජ සමඟ සංයෝගව අශුභස්ථානයක සිටියහොත් මත්පැන් නිසා මෙන්ම ස්ත්‍රීන් නිසාත් ජීවිතය විනාශ වේ. සඳු අඟහරුගේ දෘෂ්ටියට ලක්වීමෙන්ද එසේ වේ. එමෙන්ම චන්ද්‍ර බුධ යෝගව නරකට සිටිය හොත් ඉතාම නරක වේ. දූ කෙළියෙන් හා මත්පැනින් විපතට පත්වන අතර හොරකම් කර කර ඇවිදින්නෙකු වීමටද ඉඩ තිබේ. චන්ද්‍ර ගුරු යෝගයද අශුභ අන්දමින් පිහිටි විට මත්පැන් සූදුවට පෙලඹෙනු ඇත. විවාහ ජීවිතයද අවුල් වියවුල් කරගනියි. දරුවන් දියුණු වන්නේද කලාතුරකිනි.

අඟහරු සමඟ සෙනසුරු යෝගව කටක රාශියේ තැන්පත් වීම ජන්මියා බෙහෙවින් මත්පැනට යොමු කරවන ග්‍රහ බලයකි. බීමත්කම ඇතිකරන ග්‍රහයෝග යෙදී තිබියදී එම යෝග කාරකයන්ගේ මහදශා, අන්තර් දශා පවතින කාලය තුළදී මේ කෙරෙහි යොමුවීම වැඩි වනු ඇත. සෙනසුරු සඳුගේ රාශියේ ගමන් කරන විට මත්පැනට යොමු වන යෝග යෙදී ඇත්නම් එම යෝග වැඩි වශයෙන් මෙම කාලය තුළදී ක්‍රියාත්මක වනු ඇත.

රාහු, මීන, වෘශ්චික, යන රාශිවල ගමන් කරද්දී සඳුගේ හෝ අඟහරුගේ මහදශා පවතී නම් මත්පැනට යොමුවනු ඇත. කුජ, චන්ද්‍ර රාහු යෝගව අශුභ තැනක සිටීමෙන්ද මත්පැන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැළැක්වීමට නොහැකිවනු ඇත. මත්පැනට පෙලඹෙන අයගෙන් වැඩි දෙනකුට දැඩි ආත්ම විශ්වාසයක් හෝ ආත්ම ශක්තියක් හෝ නොමැත. ග්‍රහයන් දෙදෙනා දුර්වලත්වයට පත් වී හතර වැන්නේ පිහිටීම පවට බර අනාචාර ගති පැවතුම් ඇතිවීමට හේතුවකි. මේ දුර්වල සංයෝගය වෙනත් දුර්වල පාපයන්ගේ දෘෂ්ටියට ලක්වුවහොත් තත්ත්වය තවත් භයානක වේ.

හතර වැන්නේ බලවත් පාපයන් රාහු සමඟ සංයෝග වීම නිසා හිතේ දුෂ්ට අදහස් ඇති කරයි. බලයෙන් තොර අඟහරු සෙනසුරු හතරවැන්නේ සිටීම හිතේ පාප සිතුවලි ඇතිවීම කෙරෙහි බෙහෙවින්ම බලපානු ඇත. මේෂ ලග්නය වී හතරවැන්න කටක රාශිය වී සෙනසුරු සමඟ අඟහරු යෝග වීම වඩාත් අහිතකරය.

අඟහරු සමඟ චන්ද්‍රයා යෝගව සිටියදී මෙම ග්‍රහයන් දෙදෙනාම දුර්වලභාවයට පත්වීම පුද්ගලයා දුසිරිතට හා පාපකාරී දෘෂ්ටියට ලක්වීමෙන් විවාහය බලාපොරොත්තු වූවාට වඩා ප්‍රමාද කෙරෙන අතර විවාහයේ විවිධ අවුල් වියවුල් ඇති වීමටද හේතුවකි. මෙම යෝගය ස්ත්‍රී කේන්ද්‍රයක යෙදීම වඩාත් අශුභදායකය.

දහසක් බලාපොරොත්තු පැතුම් පොදි බැඳ විවාහය දිවියට එළඹීමත් වැඩි කාලයක් ගතවීමට පෙර විවාහ ජීවිතයේ බලාපොරොත්තු කඩව ගොස් සතුට සාමය, සමගිය වෙනුවට කුරිරු භාවයෙන් හා ද්වේෂ සහගතව කටයුතු කරන භාර්යාවන් හා ස්වාමිපුරුෂයන් ගැන අපට අසන්නට ලැබෙන්නේ පොරොන්දම් ගැළපීමේදී මෙවැනි පිහිටීම් ගැන සැලකිලිමත් නොවී කටයුතු කිරීම නිසා වනු ඇත.

ඡ්‍යොතිෂ විද්‍යා රත්නාකර සම්මානලාභී

ඡ්‍යොතිෂවේදිනි ගීතිකා සමරතුංග

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.