නියපොතු වර්ගය අනුව චරිත ලක්ෂණ හඳුනා ගනිමු

දෙසැම්බර් 22, 2023

හස්ත පරික්ෂාවේදී ඉතාමත් වැදගත් තවත් එක් අංගයක් ලෙස නියපොතු හැදින්විය හැකිය. අපගේ යම් යම් කටයුතු සඳහා උපකාරි කර ගැනිමට මෙන්ම ඇඟිලිතුඩුවල ආරක්ෂාව සඳහා ඇඟිලිවල නියපොතු පිහිටා ඇත. පුද්ගලයාගෙන් පුද්ගලයාට නියපොතුවල ස්වභාවය හැඩය සහ ප්‍රමාණය එකිනෙකට වෙනස් වන අතර අත්ලේ හැඩය අනුව වැඩි වශයෙන් මෙම වෙනස් කම් ඇති වි තිබේ. ඒ අනුව එක් එක් ඇඟිල්ල අනුවද නියපොතුවල ස්වභාවය වෙනස් වේ. එනම් ඇඟිලි පහේම නියපොතු එකම හැඩයෙන් මෙන්ම විවිධ හැඩයෙන් යුක්ත විය හැකිය.

පුද්ගලයෙකුගේ අත්ලේ ඇඟිලිවල නියපොතු පුද්ගලයාගේ චරිත ලක්ෂණ පිළිබඳව සහ සෞඛ්‍ය පිළිබඳව හෙළිදරව් කරන අතර වෛද්‍ය විද්‍යාවේදී රෝග විනිශ්චය සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස භාවිතා කෙරේ. හොඳ ශරිර සෞඛයකින් යුක්ත පුද්ගලයාගේ නියපොතු සමාකාර හැඩයකින්ද දිළිසෙන ස්වභාවයෙන්ද රෝස හෝ බේජ් පැහැයෙන්ද යුක්තවේ. නියපොත්තේ මුල අර්ධය වෘත්තාකාර සෙසු ප්‍රදේශවලට වඩා තරමක් ළා පාටින් යුත්ත කොටසක් ද ඇත. එය නිය හඳ ලෙස හඳුන්වනු ලැබේ. නිරෝගී පුද්ගලයෙකුගේ නිය හඳ ඉතා පැහැදිලිව දෘශ්‍යමාන වේ. ඒ මෙන්ම නියපොතු ප්‍රවේශමින් රැකබලා ගැනිම හැඩගැන්වීම හෝ වැඩකිරිම නිසා නියපොතු පළුදු වීම කිසිවිටෙකත් නියපොතුවල සැබැ ස්වරූපයට බලපෑම් එල්ල කරන්නේ නැත.

දිග පළල ආසන්න සමාන ලෙස පිහිටා ඇති නියපොතු සම චතුරස්‍රාකාර නියපොතු ලෙස හැඳින්විය හැකි අතර මෙවැනි නියපොතු බොහෝදුරට හතරැස් අත් හිමියන්ට පිහිටන අතර ඔවුන් ප්‍රායෝගික පුද්ගලයන්වේ. සියලු කටයුතු නිසි ආකාරයට ඉෂ්ඨ කරන සෘජු ප්‍රතිපත්තියක් සහිත පුද්ගලයන්ගේ අත්ලෙහි මේ ආකාරයේ සම චතුරස්‍රාකාර නියපොතු පිහිටා ඇත. තවද නියපොතු කුඩා නම් පුද්ගලයා සෑම විටම නුරුස්සන ස්වභාවයක් පෙන්නුම් කරයි. පටි නියපොතු හෙවත් උසට වඩා පළල වැඩි නියපොතු ඇති පුද්ගලයන් පුළුල් චින්තන ශක්තියක් ඇති බුද්ධිමත් පුද්ගලයන් වේ. ප්‍රබල චරිතයක් ඔහු සතුව ඇත. නමුත් ඔවුන්ගේ දුර්වලතාවයක් වන්නේ එක්වරම ක්‍ෂණික කෝපයක් ඇති කර ගැනීමය. වාද විවාදවලට ඔවුන් දක්ෂය. නියපොතු වටේට ඉස්සී ගිලුණු ස්වභාවයකින් යුක්ත නම් නිතරම අඬදබරවලට පැටලේ. අවානක හැඩය සහිත නියපොතු දිගුකාලයක් මානසික පීඩනයට ලක්වු පුද්ගලයන්ට පිහිටා ඇත. ඔවුන්ගේ නියපොතු බිඳෙනසුලුය. නිය පොත්තේ අග ඉස්සුණු ස්වභාවයක් ඇත. නිය හඳ මොවුන්ගේ දක්නට නොලැබෙන අතර අංශභාගය වැනි ස්නායු ආබාධ වැලඳුනු පුද්ගලයන්ගේ නියපොතු මේ ආකාරයට පිහිටා ඇත.

කායික මානසික ශක්තිමත් භාවය අඩු සංවේදිතාවයෙන් වැඩි පුද්ගලයන්ගේ නියපොතු බොහෝ දුරට ආමන්ඩ් ගෙඩියක හැඩ ආකාරයෙන් පිහිටා ඇත. නමුත් මොවුන් හොඳ ශරිර සුවතාවයකින් යුක්තය. සංවේදිතාවය වැඩි නිසා ප්‍රායෝගිකත්වයෙන් බොහෝදුරට ඈත් වන අතර දවල් හීන දකින පුද්ගලයන් මොවුන් අතරින් බිහිවේ. මෙවැනි නියපොතු සහිත කාන්තාවන් අහංකාර හා ආත්මාර්ථකාමි අයවේ. යම් පුද්ගලයකුගේ ඇඟිලිවල පටු නියපොතු පිහිටා ඇත්නම් ඔහු ආත්මාර්ථකාමි හැගිම් සහිත පුද්ගලයෙකු වේ. තමා ගැන පමණක් සිතා කටයුතු කරන උද්යෝගයෙන් අඩු පුද්ගලයන්ට පටු නියපොතු පිහිටා ඇත. මොවුන් සුෂුම්නා ආශ්‍රිත අසනීප වැලඳිය හැකිය. පිහිටා ඇත්තේ කෙටි නියපොතු නම් අනුන්ගේ වැරදි සොයන ඒ වගෙම අන්‍යයන්ගේ වැඩ කටයුතුවලට බාධා කරන සහ ඉක්මණින් තීරණ වලට එළඹෙන තර්කානුකූල සිතුවිලි සහිත පුද්ගලයෙක් බිහි වේ. නමුත් දිග නියපොතු මීට හාත් පසින්ම වෙනස් ගතිගුණ පෙන්නුම් කරයි. ඔවුන් තළින් සෞමය ගතිගුණ විද්‍යාමාන වේ. ඉවසිලිවන්තය. නියපොතු අගින් නැවි ඝනව පිහිටියොත් නපුරු ගතිගුණ ඉස්මතු විය හැකිය.

ඉහත ආකාරයට නියපොතුවල ස්වභාවය හැඩය අනුව පුද්ගලයන්ගේ ස්වභාවයන් වෙනස්වන අතර නියපොතුවල වර්ණයෙන් පුද්ගලයෙකුගේ රෝගිබව හෝ නීරෝගිබව හඳුනාගත හැකිය. ඒ අනුව නියපොතු රෝස පැහැයෙන් පැවතීම ඉතාම යහපත් වන අතරම පුද්ගලයකුට උගුරේ ආබාධ ස්වාසනාලවල ආබාධ වැලඳී ඇත්නම් නියපොතු විශාල රවුම් ස්වභාවයක් ගනි. එසේම ක්ෂය රෝග තත්වයක් යටතේ නියපොතු බල්බාකාර ස්වරුපයක් ගන්නා අතර සිපිලිස් රෝගය වැලඳුණ විට සහ මූලද්‍රව්‍ය ඌණ වු විට හැන්දක ආකාරයට පිටතට අවතල වු නියපොතු සෑදේ. එමෙන්ම තදබල අසනීප නිසාත් නිරෝගීභාවය වරින් වර නැති වීම නිසාත් තිරස් දාර සහිත නියපොතු ඇතිවන අතර ආහාර ඌණතාවයද

මෙයට හේතුවේ. නිය හඳ විශාලත්වයෙන් වැඩි නම් එවැනි පුද්ගලයකු අධි තයිරොයිඩ්තාවයට ලක්වු අයෙකු ලෙස හඳුනා ගත හැකිය. තවද හෘද රෝගීන්ගේද නිය හඳේ ප්‍රමාණය ඉතා අඩුය. ශ්වසන රෝග ඇති විට නියහඳ නිල්පාට වන අතර පුද්ගලයකුගේ මරණය ළංවන විට ඒවා කලුපාට වේ. කාන්තාවන්ගේ වැඩිවිය පැමිණෙන අවධියෙත් ඔසප් චක්‍රය නවතින අවධිය වන විට නියපොතුවල පැහැය වෙනස් වී නිල් පැහැයක් ගනී. නියපොතුවල ඇතිවන ලප නිය මල් ලෙස හැදින්වෙන අතර ඒවා බොහෝ දුරට කලු හෝ සුදු පාට විය හැකිය. රක්ත හීනතාවය නිසා සුදු නිය මලද පීඩා සහිත කාලයක සිටින්නේ නම් කලු නිය මල්ද ඇතිවිය හැකිය. මේ ආකාරයට පුද්ගලයෙකුගේ ශරිරයේ ඇතිවන විවිධ රෝගි තත්වයන් ද නිය පොතු පරික්ෂා කිරිමෙන් හඳුනාගත හැකිය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.