හඳහනේ සඳු සිටි තැනින් වනිතා ගති ගුණ විමසමු

අගෝස්තු 25, 2023

කාන්තා කේන්ද්‍රයක චන්ද්‍රයා සිටින ස්‌ථානය සහ සතුරු මිතුරු බව ද විසි දෙවැනි දෙර්කාණාධිපතිගේ දෝෂයට හෝ දර්ශනයට හසුවීම ද විවිධ වූ ග්‍රහබල චන්ද්‍රයා තුළින් ඇති කරයි. එලෙසින්ම කාන්තා කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා නීච වීම බොහෝ අසුබ පිහිටීමක්‌ ලෙස පිළිගැනීමක්‌ ඇත. චන්ද්‍රයා නීච වීම තුළ ප්‍රධාන කරුණ ලෙස සඳහන් වන්නේ එවන් කාන්තාවන්ගේ විවාහ ජීවිතය අසාර්ථක වීමය. සඳුගේ නීචය ලග්න අනුව විවිධ වෙයි.

පහත දැක්වෙන්නේ ලග්න අනුව සඳු නීච වන අවස්ථා දොළසයි

මේෂයේදී අටේද,

වෘෂභයේදී හතේද,

මිථුනයේදී හයේද,

කටකයේදී පහේද,

සිංහයේදී හතරේ ද,

කන්‍යාවේදී තුනේ ද,

තුලාවේදී දෙකේද,

වෘශ්චිකයේදී එකේද,

ධනුවේදී දොළහේදී ද,

මකරයේදී එකොළහේදීද.

කුම්භයේදී දහයේද,

මීනයේදී නවයේදී ද චන්ද්‍රයාගේ නීචවීම සිදු වෙයි.

එවැනි ස්‌ථානයක චන්ද්‍රයා නීච වීම කාන්තාවකගේ චරිතයට හානිදායකය. ඇගේ පාරිශුද්ධතාව අවදානම් යැයි බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

චන්ද්‍රයා හෙවත් සඳු කාන්තා කේන්ද්‍රයක උච්ච නීච වීම පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වෙති. කාන්තා කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා උච්චවීම අධ්‍යාත්මික දියුණුවට, ත්‍යාගශිලීභාවයට ආලය, සතුට සහ සිතුම් පැතුම් පිවිතුරු කිරීමට ඉවහල් වෙයි. චන්ද්‍රයා කාන්තා කේන්ද්‍රයක උච්ච වීම ඇතැම් විටෙක ඇගේ යුග දිවියට බාධකයක්‌ විය හැකිය. කාන්තා අධ්‍යාත්මික දියුණුවට නැඹුරු වීම පරිත්‍යාගශීලී වීම මෙලොව දියුණුවට බාධා පමුණුවයි. තමා සතු දේපළ, වත්කම් වර්ධනය හෝ රැක ගැනීමට මැලිවීම අයහපත්ය. එලෙසින්ම චන්ද්‍රයාගේ යහපත් ගුණාංගයන් වන ආදරය, කරුණාව, අනුකම්පා සහගතවීම සහ අධි සංවේදී බව නිසාම එවැනි කාන්තාවන් නොයෙකුත් රැවටිලිවලට හසුවීමට ඉඩ ඇත. මෙවැනි ග්‍රහ යෙදුම් යම් කාන්තාවකට පිහිටිය ද ඇය ඒ පිළිබඳව දැනුම්වත්වීම තුළින් තම බුද්ධිය මත තම ආත්ම ගරුත්වය ආරක්‍ෂා කර ගැනීමට හැකි වෙයි.

ජන්ම පත්‍රයක සඳු නීච වීම තුළ බොහෝ විට ප්‍රේම සබඳතා තුළින් පරාජය වීම, රැවටිලිවලට ගොදුරුවීම දැකිය හැකිය. චංචල අදහස්‌ ඇතිවීමත්, හඳුනා ගැනීමෙන් තොරව දුටු පමණින් ප්‍රේම සබඳතාවලට යොමු වන්නේත් චන්ද්‍රයා නීච වූ තරුණියන් ය. එවන් තරුණියන් පහසුවෙන් ම තරුණයන්ගේ වසඟයට පත්වීම මෙන්ම ඔවුහු තම පෙම්වතුනට අසීමිතව ප්‍රේමයේ උණුසුම හිමිකර දීමෙන් ද ප්‍රේම වියෝගයන්ට බඳුන් වෙති. ප්‍රේම සබඳතාවන් කඩවීම සහ විවාහයට ලැබෙන සහකරුවන්ගේ නොගැළපෙන බව චන්ද්‍රයා නීච වූ කාන්තාවන් හට උරුම විය හැකිය. එය ජාති - කුල - ආගම් හෝ වෙනයම් නොගැළපීමක්‌ විය හැකිය. මෙම නොගැළපීම තුළ මානසිකව පීඩාවට පත්වන්නේ විවාහක පුරුෂයා නොව කාන්තාවයි.

අනියම් සබඳතා විවාහයෙන් වෙන්වීම සහකරුගේ හැර යෑම හෝ තාඩන පීඩන මෙම නොගැළ පෙන විවාහයන් තුළ සිදුවෙයි.

කාන්තා කේන්ද්‍රයක කුජ සඳු කොතැනක හෝ එකට සංයෝගව සිටීම ද විවාහයට පෙර ඇගේ චරිතය කැළැල් කරගැනීමට හේතුවන ග්‍රහ යෙදුම් ලෙස පිළිගැනෙයි.

සඳු නීච වීම සඳු - ශනි සංයෝගය කාන්තාවන් දැඩි කනස්‌සල්ලකට පත් කරයි. විවාහ දිවිය තුළ අවැසි ආරක්‍ෂාව, සැනසීම අහිමි වූ විට ඇතිවන කළකිරීම දිවි තොරකර ගැනීමකට පවා හේතුවක්‌ විය හැකිය. මෙවැනි සිදුවීම් සදු නීචවීම මත සිදුවන අයහපත් ප්‍රතිඵලයක්‌ ලෙස සඳහන් වුවද, එහි යහපත්වීමක්‌ නැත්තේ ද නොවේ.

බුද්ධිමත් තරුණිය තම කේන්ද්‍ර සටහනේ සඳු නීචවීම තුළින් තමනට අනාගතයේදී සිදුවිය හැකි අනර්ථය වටහා ගනියි. එම අවබෝධය තුළින් ඇය බුද්ධිමත්ව ජීවිතයට මුහුණ දෙයි. එවන් වූ යුවතියක රැවටිලි, මායම්වලට හසුනොවීම ද විවාහයෙන් පසු සාර්ථක විවාහ ජීවිතයක්‌ ගත කිරීම ද විශේෂත්වයකි.

චන්ද්‍රයා උච්ච වූ කාන්තාව ලෝකෝත්තර හෙවත් අධ්‍යාත්මික දියුණුව පැතීම තුළින් මෙලොව දියුණුව අසාර්ථක විය හැකිය. චන්ද්‍රයා නීච වූ කාන්තාව බුද්ධිය සහ තම අත්දැකීම් තුළින් ලෞකික ජීවිතය සැපවත් කර ගැනීමට උත්සාහ දරයි.

නීච සඳු ගුරු සමඟ සංයෝග වීම ද ගුරුගේ දැකීමට හසුවීම ද සඳුගේ නීච භංගයට හේතුය. නීච සඳු සිකුරුගේ සුබ දෘෂ්ටියකට ගොනු වීම ද එම දොස්‌ දුරුවීමට හේතුවෙයි. සඳු සිකුරු සංයෝගයෙන් උපදින කාන්තාවන් කාන්තා ලාලිත්‍ය මැනවින් විදහා පාන්නවුන්ය. එවන් කාන්තාවන් කලා ලොව බැබළෙන්නේ සඳු සිකුරුගේ යහපත් සංයෝගය නිසාය.

 

චන්ද්‍රයා නීච නොවූවද කාන්තා කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා පිහිටන ස්‌ථානය අනුව ඇය පිළිබඳව අපට පහත සඳහන් ආකාරයට තොරතුරු විමර්ශනය කර ගත හැකිය.

 

පළමු භාවය :– පමණ ඉක්මවා සිතිවිලි මෙහෙයවීමෙන් කටයුතු අඩාල කර ගනියි. කටයුතු අතපසු වෙයි.

 

දෙවන භාවය :– ඉවසිලිවන්තය. විවාහයෙන් පසු සැමියාට දරුවනට සලකයි.

 

තුන්වන භාවය :–  සහෝදර සහෝදරියන්ට හිතවත්ය. ඔවුන්ට සලකයි.

 

සිව්වන භාවය :–  යහපත්ව නිවෙසක්‌ සාදාගෙන සැනසිල්ලේ ජීවත් වීමට සිතයි.

 

පස්වන භාවය :–  ප්‍රේම සබඳතා රැසකි. සොබාදහමට ආදරය කරයි.

 

සයවන භාවය :–  සතුරු උවදුරු පිළිබඳ තැවෙයි.

 

හත්වන භාවය :– නායකත්වයට ළැදිය. අමනාපව ඉක්‌මනින්ම මිතුරු වෙයි.

 

අටවන භාවය :– මිථ්‍යා මත පිළිගනියි. අනවශ්‍ය ලෙස රෝග පිළිබඳව තැවෙයි.

 

නම වන භාවය :– විදෙස්‌ගත වීමට හේතුය. දයානුකම්පිතයි.

 

දහවන භාවය :– චරිතය ආරක්‍ෂා කරගැනීමට මූලිකත්වය දෙයි.

 

එකොළොස්වන භාවය :– ලැඡ්ජා බිය හඳුනයි. ස්‌වාමියාට නව ආදායම් මාර්ග ඇතිවෙයි.

 

දොළොස්වන භාවය:– අනවශ්‍ය වියදම් ඇත්තෙකි. මානසික පීඩනයට හේතුයි.

 

මෙහි සඳහස්‌ කළ කරුණු සරලය. කාන්තාවන් සුන්දරය. කාන්තාවන්ගේ සුන්දරත්වය සහ මේ සරල අදහස්‌ ගොනු වූ කල අර්ථ ගැන්වීම පුළුල් ය. කාන්තා කේන්ද්‍රයක චන්ද්‍රයාගේ නීච වීම වර්තමානයේ අප බුද්ධිමත්ව දැකිය යුතුය. උච්ච සඳු ලෝකෝත්තර දියුණුවට නැඹුරුය. එවන් කාන්තාව තම ළාමක බව තුළින් අවදානමට ගොදුරු වෙයි. නීච සඳු හිමි කාන්තාව ලෝකය අවබෝධ කර ගනියි. ජය පරාජය හඳුනාගනියි. ඇය මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ දරයි. කඳුළින් දකින හසරැල්ල සුන්දරය. එයම සාර්ථක යුග දිවියක ආරම්භය නොවන්නේද?

ඔබත් ඔබගේ ජන්ම පත්‍රය හෙවත් හඳහන තුළ චන්ද්‍රයාගේ පිහිටීම පිළිබඳව අවධානය යොමු කොට ඉදිරි අනාගතය පිළිබඳව නිසි අවධානය යොමු කර ගැනීම ඉතාම අගනේය.

 

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,

බණ්ඩාරගම,

සම්පත් එස් කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.