ශනි මංගල යෝගය දියුණුවේ රන් දොරටුවකි

අගෝස්තු 18, 2023

 

සමහර ජන්ම පත්‍රවල දැකිය හැකි ශනි මංගල යෝගය හෙවත් සෙනසුරු හා අඟහරුගේ එක් වීම ලෙස හඳුන්වන්නේ එම ග්‍රහයන් දෙදෙනා යම් ජන්ම පත්‍රයක එකම රාශියක තැන්පත්ව සිටීමයි. එය ආකාර කීපයකට සිදුවිය හැකිය. මෙය උදාවන එක් ආකාරයක් නම් ශනි, කුජ එකම කොටුවක සිටීම වන අතර, තවත් ආකාරයක් නම් මෙම දෙදෙනා සම සප්තමව සිටීමයි. පහසුවෙන් ඕනෑම ග්‍රහයන් දෙදෙනකුගේ සම සප්තම බව සොයා ගත හැකි ආකාරය මෙසේය.

ග්‍රහයන් දෙදෙනා (1 -7), (2 - 8), (3 - 9 ), (4-10), (5 -11), (6 -12) ස්ථානවල සිටීම සම සප්තම වීම ලෙස හඳුන්වන අතර, මෙය එක එල්ලයට සිටීම ලෙස හැඳීන්විය හැකිය. මෙම ග්‍රහයන් දෙදෙනකු එකට සිටීමට වඩා බලවත් වේ. සෙනසුරු සිටිනා තැන ‘එක’ ලෙස ගෙන ඉදිරියට ගැනගෙන යන විට 10 වැනි කොටුවේ කුජ සිටීම තුළින් ද මෙම යෝගය උදාවන අතර, ශනි, කුජ දෙදෙනා එක ළඟ රාශි දෙකක පිහිටා දෙදෙනා අතර දුර අඩු නම් එවිටද එම යෝගය උදා වේ.

සාමාන්‍යයෙන් මෙම යෝගය ජන්ම පත්‍රවල සුලභව දැක ගත හැකි පිහිටීමකි. මෙය වර්තමාන සමාජයේ විවාහය යන කාරණාවේදී වැඩිපුර කතා බහට ලක් වුවත් එය ප්‍රබල විවාහ දෝෂයක් නොවන බව අපගේ හැඟීමයි. මේ යෝගය සහිත වූවන්ගේ විවාහ ජීවිත සාර්ථක වනවා යැයි පැවසුව ද එසේ අසාර්ථක වී නොමැති අතර, ඔවුන් බොහෝ විට ඉතාමත් දියුණු තත්ත්වයට පත්ව ඇත. මේ යෝගය පිළිබඳව සමාජයේ මෙන්ම ඡ්‍යොතිෂය පිළිබඳව උනන්දුවක් දක්වන අය අතර පවා විවිධ වූ මතිමතාන්තර රාශියක් දැක ගත හැකිය.

කෙසේ වෙතත් ශනි මංගල යෝගය යනු ද්වි ග්‍රහ යෝග අතරින් එකක් පමණි. මේ පිළිබඳව පැරණි ඡ්‍යෝතිෂ ග්‍රන්ථවල හෝ නූතනයේ ලියවුණු පිළිගත් ඡ්‍යොතිෂ ග්‍රන්ථවල තොරතුරු එතරම් ඇතුළත්ව නැත. ශනි මංගල යෝගය පිළිබඳ දන්නා බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය ඉතා බලවත් විවාහ දෝෂයක් ලෙස පමණි. එහෙත් එය එසේ නොවේ.

මෙම යෝගය මතම විවාහ අසාර්ථක වනවා යන නිගමනයට අපට එක එල්ලේම එකඟ විය නොහැකිය. හඳහනේ ඇති අනෙක් ග්‍රහ පිහිටීම් මත ද යම් යම් වෙනස්කම් සිදුවේ. ඒ සඳහා ජන්ම පත්‍ර ගැළපීමේදී අනෙක් කේන්ද්‍රයේ ග්‍රහ ගැළපීම් සමඟ බෝහෝ විට මෙම යෝගයේ

දෝෂය භංග වී යන අවස්ථා රාශියක් දැක ගත හැකිය. අනෙක් කේන්දරයේ ද ඉහත දැක්වූ ආකාරවලින් එක් ආකාරයකට මෙම යෝගය පිහිටා ඇති විට එම යෝගයේ දෝෂය භංග වී යනු ඇත. එම නිසා ශනි මංගල යෝගය දුටු පමණින් විවාහ සඳහා ජන්ම පත්‍ර පරීක්ෂාවේදී ඒවා ප්‍රතික්ෂේප කිරීම නුවණට හුරු ක්‍රියාවක් නොවනු ඇත. එය විවාහ වීමට සිටින්නන්හට කරන මහත් වූ අපරාධයක් වනු ඇත.

එහෙත් අප මෙම යෝගය පිහිටා ඇති ජන්ම පත්‍ර හිමියන් පිළිබඳව සොයා බැලීමේදී මේ ශනි මංගල යෝගය පිහිටා ඇත්තේ බොහෝ දියුණු පුද්ගලයන් තුළ බව ද පෙනී යයි.

යෝගය පිහිටි ස්ථානය හා යෝග කාරක ග්‍රහයන්ගේ බල දුබලතා මත දියුණුවේ සීමා තීරණය වනු ඇත. මෙම යෝගය ඇතිවන ආකාරය දැන සිටීමද වැදගත්ය. මෙම ශනි මංගල යෝගය යනු ශනි සහ කුජ කුමන ආකාරයකට හෝ එක් වීමයි. 3/ 6/ 11 යන ස්ථාන මෙම යෝගය සඳහා සුබදායක වනු ඇත. ව්‍යාපාර හෝ රැකී රක්ෂා තුළින් ඉදිරියට ගිය බොහෝ දියුණු පුද්ගලයන් තුළ මෙම කුජ ශනි යෝගය දැකගත හැකිය.

බොහෝ ප්‍රසිද්ධ දියුණු පුද්ගලයන් රාශියක මෙම යෝගය දැක ගැනීමේ හැකියාව ඇත.

මේ යෝගය ඇති වැඩිදෙනා ඉතා උත්සාහවන්ත පුද්ගලයන් වේ. වෙහෙස නොබලා වැඩ කිරීම, තරමක ආත්මාර්ථකාමී බව, දරදඬු බව මෙම යෝග හිමියන් සතු ප්‍රධාන ලක්‍ෂණ ලෙස හැඳීන්විය හැකිය. එක් අතකින් බලන විට ලෞකික දියුණුව සඳහා මෙම ගතිගුණ බොහෝ උපකාර වේ. එහෙත් මේ දියුණුව පසුපස හඹා යන්නන් තුළ අන් අය ගැන සිතා බැලීමට වෙහෙසීමට තරම් සංවේදී සිත් තිබේ ද යන්න සිතා බැලූ විට පිළිතුර ඔබට වැටහෙනු ඇත. ඔබ දියුණුව උදෙසා පමණක් වෙහෙසෙන්නේ නම් ඒ වෙහෙස තුළින් සැප සම්පත් විඳීන්නන්ගේ ආදරයවත් නිසියාකාරව ඔබට ආපසු ලැබේද යන්න සැක සහිතය. විවාහ ජීවිතයට මෙම යෝගය අහිතකර වන්නේ මෙම කරුණු නිසාය. එහෙත් මෙම යෝගය ඇති දෙදෙනකු එක්වී විවාහය සඳහා ඉතා යහපත් ප්‍රතිඵල ලබාදේ. ඒ සඳහා හේතු වන්නේ දෙදෙනා තුළම සෑම දෙයකටම වඩා ආර්ථික දියුණුව වැදගත්ය යන සිතිවිල්ල පිහිටා තිබීමයි.

එම නිසා විවාහ පරීක්ෂාවේදී ශනි මංගල යෝගය සහිත ජන්ම පත්‍රයකට ඉහත දැක්වූ ආකාරයට තවත් එවැනිම එම යෝගය ඇති ජන්ම පත්‍රයක් ගැලපීම තුළ ඉතා සාර්ථක විවාහ දිවියක් අපේක්ෂා කළ හැකිය. එවැනි ගැළපීමක් සහිත දෙදෙනෙකු එක්වීම තුළ එය දියුණුවේ සාර්ථකත්වයට මහඟු පිටු වහලක් වනු ඇත. එසේ නම් ශනි මංගල යෝගය යනු දියුණුවේ රන් දොරටුවකි.

 

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,

බණ්ඩාරගම, සම්පත් එස් කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.