වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
උමා ඡ්‍යොතිෂයේ සුලමුල
සිංහල උමා ඡ්‍යොතිෂය, වෛදිකය, වෛදික යන වදන ඇසූ පමණින්ම ඔබට මතක් වනුයේ ඉන්දියාවය. ඒ ‘වේදය’ පිළිබඳ සියල්ල ඔව්හුගේය යන මතය සමාජගත වී ඇති හෙයිනි. එය ඔවුන්ගේමය කියන්නට ඔවුන් විසින් බොහෝ දේ පවසනු ලැබේ. ඉදින් ඔවුන්ගේ ඉගැන්වීම අනුව මහා විෂ්ණු දෙවියන් ප්‍රජාපතිහුට පවසා ඉන් පසුව ප්‍රජාපතිහු විසින් ලෝකයට දුන් බව පැවසේ. ඉදින් තවත් තැනක මහා විෂ්ණු විසින් බ්‍රහ්මයාට සැලකිරීමෙන් පසුව බ්‍රහ්ම තෙමේ ප්‍රජාපතිට පවසන ලදැයි ද පැවසේ.
ශිව දෙවියන් විසින් විෂ්ණු දෙවියන්ගෙන් අසා දැනගත් වේදය පාර්වතියට සැලකිරීමෙන් අනතුරුව පාර්වතිය විසින් ප්‍රජාපතිය වෙත පවසන ලදැයි ද පැවසේ. මේ කිසිවක් සත්‍යයමය හෝ අසත්‍යමය යැයි පැවසීමට අපට නොහැකිය. අපට ඇත්තේ මූලාශ්‍ර අනුව තොරතුරු සොයා බැලීමය. විමර්ශනය කිරීමය.
මෙහි සඳහන් වන ප්‍රජාපති යනු සමාජ පාලකයන්, නායකයන් මිස අන් කෙනෙකු නොවේ. ඒ ප්‍රජාපති නාමාවලියේ මුලින්ම ඇත්තේ ‘කාශ්‍යප මුනි’ නාමයයි. අදූරදර්ශී පුද්ගලයකුට ඔහු “සීගිරි කාශ්‍යප” යැයිද පැවසිය හැකිය. කෙසේ වෙතත් ශාස්ත්‍රාභිවෘද්ධියට ලැදි තැනැත්තන් මධ්‍යස්ථ මතධාරිහු වනවා පමණක් නොව මූලාශ්‍ර, න්‍යාය අනුව විමසමින් ඵලදායක අන්දමින් එම තොරතුරු නිරීක්ෂණය කරනු ලැබේ. මෙම ප්‍රජාපතිහු අතර වශිෂ්ඨ, අගස්ති සහ පුලස්ති යන මුනිවරුන්ද වේ. ඉදින් ඔවුහු සිංහලයෝද යන්න විමසා බැලීම ඉතිහාසඥයන්ගේ කාර්යභාරයකි. අපේ ජනශ්‍රැති අපට අධ්‍යයනය කරන්නට ලැබුණු සීමාව ඔස්සේ සිතා බලන විට, මූලාශ්‍ර අනුව යන විට ඔවුහු ‘සිංහලයෝ’ බැව් පෙනෙන්ට තිබේ. එසේම භාරතයේ “ලංකා” යන නාමය සහිත ප්‍රදේශයක් වන අතර, දැන් එහි සිටිනුයේ සිංහලයන්ම දැයි සොයා බැලිය යුතුව ඇත. අප “ලංකා” නාමය සහ එහි “ලංකා” නාමය සහ “සිංහල” නාමය පිළිබඳ සොයා බැලිය යුතුව ඇත. භාරතීයන්ද පිළිගන්නා අතිසම්භාවනීය වූ කොසලාගම තන්ත්‍රයෙහි “සිංහල” සහ “ලංකා” යන නාම ලියැවී තිබේ. ‘හිරණ්‍ය කෂිප්‍ර’ වේදයෙහි ආරම්භකයා බව ලියැවී තිබේ.
දැන් අපට ප්‍රශ්නයක් මතුවේ. හිරණ්‍ය කෂිප්‍ර ලේ බොන යක්ෂයෙකු සේ දැකීමටත් හිරණ්‍ය කෂිප්‍ර මහ මුනි ඝාතනය කළ විෂ්ණුහු දෙවියකු සේ දැකීමටත් අපව පෙලඹවූයේ කවුරුන්ද? කියාය. එකවරම තීරණයකට නොඑළඹී කරුණුූ සොයා බැලීම බුද්ධිමතාගේ ලක්ෂණය වේ. අන්තර් ජාලයෙහි හිරණ්‍ය කෂිප්‍ර ගැන විමසන විට මතුව එන්නේ ඔහු යකෙකු රාක්ෂයකු බවය. ඒ රුදුරු කෙනෙකු බවය. සත්‍ය එයම වන්නේ නම් භාරතීයන්ම හිස් මුදුනින් පිළිගන්නා ‘කොසළාගම තන්ත්‍රය’ මෙන්ම තවත් යාමල ග්‍රන්ථයන්හි අසත්‍ය සඳහන් වේද යන්න විමසීමට සිදුවනු ඇත. මේ සඳහා අපට එතෙර මෙතෙර මූලාශ්‍ර විමසා බැලීමට සිදුවනු ඇත.
භාරතීයන් පිළිගන්නා සුප්‍රකටම ඉතිහාස ග්‍රන්ථ දෙකකි. ඒ මහා භාරතය සහ රාමායණයයි. ඉදින් අපි රාමායණය දෙසට හැරෙමු. එක් රාමායණ ග්‍රන්ථයක රාවණයන් සීතාව පැහැරගෙන එන බව පවසන නමුදු සීතාව රාමණයන්ගේ දියණිය බව නොපවසන අතර, තවත් රාමායණයක “සීතාව“ රාවණ දියණිය බව පවසනු ලැබේ. රාවණා පුතණුවන් වන මේඝනාද සහ සීතාව නිවුන් සහෝදර සහෝදරි වන අතර, රාවණ බිරිඳ විසින් “සීතාව“ පැසක දමා පාකර හරින විට එය ජනක රජුගේ නෙත ගැටී තිබේ. ඒ එම රටේ මිනිස්සු නගුලෙන් සී සාමින් සිටි විටය. නගුලෙන් උපන්නා යන අරුතෙන් ඇයට සීතා යන නම තබා ඇය ජනක රජු විසින් පෝෂණය කළ බවත් පැවසේ. මේ කතාව අතිරේක එකකි.
ඉදින් අපි මේ දෙකින් කවරක් පිළිගන්නේ ද? විමර්ශනය කිරීම ඉතාම සුදුසු මාර්ගය වේ. අවසාන විමර්ශනය ආධ්‍යාත්මික මාර්ගයම වූයේ නමුත් ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් නොකෙරෙන්නේ නම් ලෝකයා එය නොපිළිගනී. බොහෝවිට සිංහලයා එසේය.අන්‍ය ජාතිකයෝද එසේමය.
ඉහත කියන ලද හිරණ්‍ය කසිප්‍ර මහ මුනිහුට ශ්‍රී විෂ්ණු දෙවියන් ‘වේදය’ ප්‍රකාශ කළ බවට ‘යාමල ග්‍රන්ථ’ ශාක්‍ෂ්‍ය වේ. වේදය යනු සමස්ත දැනුමය. එය ශිල්පීය ක්‍රම හැට හතරකින් සමන්විතය. අපි සූසැට ශිල්ප කලා යැයි පවසනුයේ ඒවාටය. අප කතා කරන “ඡ්‍යොතිෂය” ද එහි එක් කලාවකි. එය ලැයිස්තුවේ පහළොස්වැන්නට වැටේ. ඉදින් හිරණ්‍ය කෂිප්‍ර නැමැති අසුරයාට ශ්‍රී විෂ්ණුහු විසින් වේදය පවසන ලද බව භාරතීයන්ද සම්භාවනීය ග්‍රන්ථ වශයෙන් පිළිගන්නා ‘යාමල ග්‍රන්ථයන්’හි එනුයේ මේ ලෙසය.
“කහිත රසද්‍රි ශතාධෙ¢ෂු – නාරසිංහෙන විශ්වජිත්
හිරණ්‍ය කෂිප්‍ර දෛත්‍යෙශං – දෙශිතං විප්‍ර තචඡ්‍රැණු”
මෙම ශ්ලෝකය සමඟ සූසැට කලාව පිළිබඳව ශෙලාක සතක් එහි ඉදිරිපත් කෙරේ. මෙහි හිරණ්‍ය කෂිප්‍රයන්ට නාරසිංහ දෙවියන් (විෂ්ණු අවතාර) වේදය ඉගැන්වූ බවත් හිරණ්‍ය කෂිප්‍රයන් අසුරයකු බවත් පැහැදිලිව පවසා ඇත. එසේම යාමල ග්‍රන්ථ ඉගැන්වීම්වලදී විවිධ තැන්හි එය සඳහන් වේ. ජෛමිණි සූත්‍ර ඉගැන්වීමක් වන “තුම්බ්‍රරාවෘත” චක්‍රය යාමල ග්‍රන්ථයන්හි පවසන විට
“අථාතං” සමප්‍රව ක්‍ෂාමි – නාරසිංහොදිනං පුරා
තස්ස ඥාන මාත්‍රෙණ”
මෙහි ‘පුරා යනුවෙන් ප්‍රජාපතිය හැඳින්වේ. නාරසිංහ දෙවියන් වේදය පැවසු ප්‍රජාපතිය හිරණ්‍ය කහිප්‍ර වේ. හේ අසුරයෙකි. අසුර – යක්ෂ, රාක්ෂ, නාග යන සිව් කුලයෙන් සමන්විත නිසා සිංහල නම් වූ බව වාග්විද්‍යාඥයෝ පවසති. මීට වඩා වෙනස් මතයන්ද ඇති අතර ‘අසුර’ යන නාමය ‘සුර’ නාමයට පළමුව නිපන් බව සමහර භාෂා විශාරදයන් විසින්ද පවසනු ලැබේ. (ලංකාවේ නොවේ. භාරතයේමය)
ඉදින් අප තවත් තොරතුරුක් විමසා බලමු. ඒ ශ්‍රී විෂ්ණුහුගේ ඥාතීත්වයයි අතිශය පුරාණ ඉගැන්වීමක මෙසේ සඳහන්ව තිබේ.
“අසුර සිය සුරහාන –
පහනි සිව් සිරිපාන
ඕම් එන් සුරහාන –
මෙහි ‘පහනි සිවි’ ,අත් සතරක් ඇති පුද්ගලයා වේ. සුරහාන යනු සුරයන්ගේ හිමි යනුයි. ‘අසුර සිය සුරහාන’ යන්නෙන් අසුරයන්ගේ ඥාතිවූ සුරයන්ගේ නායකයාය’ අදහස් වේ.
මේ අනුව විෂ්ණු දෙවියන්ද අසුරයන්ගේ ඥාතියකු බව පැවසේ. මේ ඉදිරිපත් කිරීම් සොයා බැලීමට මිස විශ්වාස කිරීමට නොවන බව අතිරේකව දන්වනු කැමැත්තෙමි. අප රටෙහි ඇති දේශීය මූලාශ්‍ර බොහොමයක් තවමත් කෞතුකාගාරයේ ලේඛනාගාරයේ සැඟව හෝ සඟවා ඇති බව සිතමි. දේශයේ අයට විවර නොවන දොරටු විදේශිකයන්ට විවරවන බව එහි ගොස් බැලීමෙන්ම ස්ඵුට වනු ඇත. මෙසේ අප රටෙහි ඇති එක් මූලාශ්‍රයක මෙසේ සඳහන් වේ.
“රාම රාවණා ඇම සතර කොටා තරාලූ හෙයින් පුලතිසි නිදන කල සිවලිත” මෙහි සිවලිත යන්නෙන් සමස්ත උමා ඡ්‍යොතිෂය නැතහොත් සූක්ෂ්ම නක්ෂත්‍රය අර්ථවත් වන බව බාහිරාර්ථයෙන් තේරුම් ගැනීමට යම් කාලයක් යනු ඇත. එහෙත් “ශිඛාලිඛිතය” වශයෙන් ප්‍රසිද්ධව ඇත්තේ ඒ උමා ඡ්‍යොතිෂයෙහි සාරයෙන් ඉතා කුඩා කොටසක්ම බව වගකීමෙන් ප්‍රකාශ කරයි.
ඉදින් මේ ලිපියෙහි අරමුණ වූයේ අප සාකච්ඡා කරනු ලබන උමා ඡ්‍යොතිෂයෙහි ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රානුකූලව භාරතීයන්ද පිළිගන්නා සාක්ෂි ඉදිරිපත් කිරීමය. උමා ඡ්‍යොතිෂය යනු අමුතු එකක් නොවන බව පෙරද මවිසින් පවසා ඇත. “උමා හෝරා ශාස්ත්‍රය ම සමස්ත ඡ්‍යොතිෂය වේ. එහෙත් එහි ‘ද්වන්ඩමාන න්‍යායේ ශූක්ෂමාංගය” උමා ඡ්‍යොතිෂය වේ. එහෙත් එහි “ද්වන්ධ මාන න්‍යායේ ශූක්ෂමාංගය” උමා ඡ්‍යොතිෂය වශයෙන් සැඟව ඇති බව බොහෝදෙනෙකු නොදනී. ද්වන්ධමාන න්‍යාය ඉදිරි දවසක සාකච්ඡා කිරීමට අදහස් කරනු ලැබේ. “ඡ්‍යොතිෂය’ යැයි කී පමණින්ම එහි අංග ප්‍රත්‍යංග වශයෙන් ඇති සියල්ල ඊට අයත් වේ. නාඩි,ප්‍රගමන, සුදර්ශන, ශ්‍රීපති, රිකහෝරා, නාඩිහෝරා, අෂ්ටක වර්ග, පරාශර, ජෛමිණී, පුලස්ති ආදිහුගේ ඉගැන්වීම් සියල්ල එහි අනන්තර්ගත වේ. අපගේ භාවිතය “උමා හෝරා’ වේ. උමා හෝරා ශාස්ත්‍රය උමා ඡ්‍යොතිෂ්‍ය වනුයේ සමස්ත “හෝරා ශාස්ත්‍රය” ඡ්‍යොතිෂය නමින් හඳුන්වනු ලබන බැවිනි. මේ සියල්ල නිසි පරිදි අවබෝධ කර ගැනීමට නොහැකි පුද්ගලයෙකු වේ නම් ඡ්‍යොතිෂ නදියේ පිහිනීමට ඔහු අපොහොසත් වනු ඇත. ඡ්‍යොතිෂ මුල් කර්තෘන් කෙරෙහි අපහාස මුඛයෙන් කතා කරන්නකු වේ නම් ඡ්‍යොතිෂයෙහිම සඳහන් වන පරිදි ඔහු මතු ආත්මයෙහි “රෞරව“ නම් නරකාදියෙහි උපත ලබනු ඇත.
ඉහත සඳහන් බොහෝ තොරතුරු භාරතීයන්ද සම්භාවනීය වශයෙන් පිළිගන්නා “යාමල තන්ත්‍ර’ ඇසුරු කරමින්ම ලියන ලද බව වගකීමෙන් ප්‍රකාශ කරමි. මා එසේ පවසන්නට හේතුව “මා ඡ්‍යොතිෂ ඉතිහාසය මා විසින් විකෘති කරනවාය” යන චෝදනාවක් මා වෙත එල්ල වී ඇති බැවිනි. එබැවින් මේ තොරතුරු විද්වතුන්ට මිස අශාස්ත්‍රීය මඟ යන අයට ඵලදායක නොවනු ඇතැයි සිතමි.
මනෝවිද්‍යා උපදේශක,
පාරම්පරික ශාස්ත්‍රඥ
හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු