වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ආයුෂ ගැන කියන ජීවන රේඛාව
සෑම ජීවියෙකුම මරණය දක්වා කරන්නෙ ජීවත් වීමට උත්සහා කිරිමයි. ඒ අතරින් මනුෂ්‍යයන් වන අපි අනේක විධ මතිමතාන්තර, ආකල්ප, විකල්ප ක්‍රම සහ විධි මඟින් ජීවිතය ජීවත් කරවීමටත් දියුණු කර ගැනීමටත් එමඟින් සැපවත් ජීවිතයක් ගත කිරිමටත් උත්සහ දරමු, අප කරන සෑම කාර්යයක්ම සාර්ථක වන්නේද නැත. එසේම අසාර්ථක වන්නේද නැත. නිවැරැදි මාර්ගය පිළිවෙළ අවබෝධ කරගෙන නිවැරැදි වේලාවට නිවැරැදි ක්‍රමයට නිවැරැදි කාලයට කරන කටයුතු සාර්ථක වන අතර නිවැරැදි නොවන මාර්ග තුළින් වැරැදි පිළිවෙළට නොගැළපෙන කාලයට කරන කටයුතු අසාර්ථක වේ.
නැතහොත් එම ක්‍රියා නිසා අපේ දිවි ගමන අඩාළ වේ. අනපේක්ෂිත කම්කටොලුවලට මුහුණපෑමට සිදුවේ. එම නිසා එම අනපේක්ෂිත කම්කටොලු මඟ හරිමින් ජීවන ගමනේ අප හට මුහුණදීමට සිදුවන අභියෝග සහ බාධක ජය ගැනීමට හස්ත රේඛා ශාස්ත්‍රය මහඟු පිටිවහලක් කර ගනිමු.
යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ ගූණාත්මක බව පෙන්නුම් කරන රේඛාව ජීවන රේඛාවයි. ශරිරයේ භෞතික සහ භෞතවේදි ගතිගුණ එනම් ශරිරයේ ප්‍රාණවත් බව, උත්සහාවන්ත බව, හෝ මන්දෝත්සාහී බව, බාහිර පීඩනවලට ඔරොත්තු දීමේ හැකියාව, සෞඛ්‍ය තත්වය, ශරිරයේ බල දුබලතා පිළිබඳ කරුණු දැනගත හැකිවන්නේ ජීවන රේඛාව අධ්‍යයනය කිරීමෙනි.
මිනිසාගේ ආයුෂ පිළිබඳ තීරණයක් ගැනීමටද ජිවන රේඛාව උපකාරි වේ. එහෙත් දිගු ජීවන රේඛාවක් තිබීම පමණක් දිර්ඝායුෂ ඇතැයි සඳහන් කිරීමට ප්‍රමාණවත් නොවේ. සමහර දිගු ජීවන රේඛාවක් ඇති පුද්ගලයන් ඉක්මනින් මිය යන අතර කොට ජීවන රේඛාවක් ඇති අය දිගු කලක් ජීවත් වීමටද පුළුවන. ශීර්ෂ රේඛාව,හෘද රේඛාව සහ වෙනත් ලක්ෂණ මිනිසාගේ ආයුෂ ප්‍රමාණය තීරණය කිරිමට උපකාරි වේ. එක් රේඛාවක ඇති යහපත් ලක්ෂණ වෙනත් රේඛාවක ඇති යහපත් ලක්ෂණ උපකාරයෙන් ශූභ ප්‍රතිඵල වැඩි කිරිමටද ඇතැම් රේඛාවක ඇති අයහපත් ලක්ෂණවලින් අහෝසි කිරීමටද පුළුවන. ජීවන රේඛාව ගැන කරුණු සෙවීමේදි හුරු අත්ලේ ජීවන රේඛාවේ පිහිටීම පමණක් නොව නුහුරු අත්ලේ එම රේඛාවේ පිහිටීමද සොයා බැලිය යුතුය. නුහුරු අත්ලේ ප්‍රබල ජීවන රේඛාවක් හුරු අත්ලේ දුබල ජීවන රේඛාවක් පිහිටයි නම් ජීවන පැවත්ම යහපත් කර ගැනීමට උපදෙස් පිළිපැදීමෙන් යහපත් දිවිපෙවතක් සකස් කර ගත හැකි වේ.
ජීවන රේඛාව ආරම්භ වන්නේ මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල අතරනි. දබර ඇඟිල්ලට කිට්ටුවෙන් ජීවන රේඛාව ආරම්භ වන පුද්ගලයන් අධිෂ්ඨාන ශක්තියක් සහ උනන්දුවක් ඇති අය වේ. ප්‍රධානියකු වේ. පිටතින් සැර පරුෂ පෙනුනත් ඇතුළතින් සෞම්‍යය. කාරුණිකය. මාහපට ඇඟිල්ල ආසන්නයෙන් ජීවන රේඛාව ආරම්භ වන පුද්ගලයන් ශරිර ශක්තියෙන් අඩු දරුඵල අඩු අකීකරු පුද්ගලයින්ය. මාහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල අතර හරි මැදින් ජීවන රේඛාව ආරම්භ වන පුද්ගලයින් මව්පිය සහෝදර ආදිී පවුලේ උදවියට බොහෝ ළැදිය. එසේම ජීවන රේඛාව, ශිර්ෂ රේඛාව සහ හෘද රේඛාව,සමඟ එක්ව එකම ලක්ෂ්‍යයකින් ආරම්භ වන්නේ නම් එය හොඳ පිහිටිමක් වන්නේ නැත. එවැනි පිහිටීමක් සහිත පුද්ගලයන් කලබල කාරිය. හදිසි තිරණ ගනියි. ස්ථාමෝචිත ප්‍රඥාාව නැත. සාවද්‍ය තර්ක මත පිහිටා කටයුතු කිරිමට යාමෙන් කිසිම කාර්යයක් ආරම්භ කිරිමට නොහැකි වනු ඇත.
ජීවන රේඛාව මත දම්වැල් සලකුණක් දිස්වීම දිර්ඝ කාලීන අසනීප තත්ත්වයක් පෙන්නුම් කරයි. දම්වැල පවතින දිග සීමාව අනුව ජීවන රේඛාවේ වයස ගණනය මත එම කාලය මුළුල්ලේම අසනීප තත්ත්වයක් පවති. මෙම රේඛාව යහපත් වන විට රෝගය අහෝසි වේ. මෙහිදී අත් දෙකම පරිශීලනය කළ යුතුය. අව සලකුණු ඇත්තේ නුහුරු අතෙහි පමණක් නම් ශාරීරික දුර්වලතාවයක් ඇතිවන නමුදු ප්‍රබල නොවේ. එවිට රෝගී ප්‍රවණතාවය දැකිය හැකිය.ප්‍රවණතාවයේදි මරණයට මුහුණ දීම සිදු නොවේ. දම්වැලෙහි කෙලවර හුරු අතෙහි සිකුරු මණ්ඩලය පැත්තට හැරී තිබීම රෝගය මරණයෙන් කෙළවර වන බවට ලකුණකි.
ජීවන රේඛාව කැඩුණු රේඛාවලින් සමන්විත වීම හොඳ ලකුණක් නොවේ. එය නිතර අසනීප වන දුර්වල ලකුණකි. ජීවන රේඛාව මත දුපත් සලකුණු පිහිටීම එම කාල සීමාව තුළ පුද්ගලයා දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පෙන්නුම් කරන ලක්ෂණයකි. දුපත කෙළවර කෙටි හරස් රේඛාවකින් කැපි ඇත්නම් අසනීපය ශල්‍ය කර්මයකින් අවසන් වී නිරෝගි වනු ඇත. දුපතේ හි වඩාත්ම පුළුල් ස්ථානයේදි අසනීපයෙහි ඉහළම වර්ධන තත්ත්වය දැකිය හැක. තිතක් යනු කුඩාම දුපතකි. ජීවන රේඛාව මත තිතක් පැවතී අර්ථය නම් කෙටිකාලින වේගවත් අසනීපයකි
( උදා ඩෙංගු) තිත ළඟින් පහළට කොක්කක් පිහිටියේ නම් පුද්ගලයා රෝගයෙන් මිය යනු ඇත.
කතිරයද ඉතාම අසුබ සලකුණකි. ජීවන රේඛාව මත කතිරයක් අත් දෙකෙහිම එකම ස්ථානයක පිහිටා ඇත්නම් මරණය අදාළ වයසේදී සිදුවේ. බොහෝ විට මෙහිදි තවත් රේඛා කැබැලි එකතුව එනම් එය තරුවක් ලෙස දික් වීමට පුළුවන. ප්‍රථිපලය එලෙසමය. ජීවන රේඛාව කෙටි ඉරකින් කැපීයාම අදාළ වයසේදි අනතුරක් සිදුවීම පෙන්නුම් කිරිමකි. එය ශල්‍යකර්මයක් ද විය හැකිය. මෙම කැපීයාම සහ අව ලකුණු ඇති ස්ථානය කොටුවකින් වටවී ඇත්නම් එවිට සිදුවීම සිදුවන නමුත් මරණයෙන් ආරක්ෂා වේ. කොටුව එක අතක පිහිටීම ප්‍රමාණවත් ය. එමෙන්ම ජීවන රේඛාවේ දැල් පිහිටීමද යහපත් නොවේ. රේඛාව ආරම්භයේදීම දැල් සලකුණු පිහිටා ඇත්නම් පිපිරීම් සහිත අනතුරු විය හැකි බව පෙන්වන ලක්ෂණයකි. එසේම ගුරු මණ්ඩලයේ දැල් සලකුණු පිහිටා ඒවා ජීවන රේඛාව සමඟ ස්පර්ෂ වී ඇත්නම් ද ශීර්ෂ රේඛාවේද දැල් සලකුණු පිහිටා ඇත්නම් එම පුද්ගලයා ආගම වෙනස් කිරිම සිදු කරන බවට ලක්ෂණයකි.
එමෙන්ම ඉහත සඳහන් කළ සලකුණුවලට අමතරව පුද්ගලයන්ට සුබ ඵල රැගෙන එන සලකුණුද ජීවන රේඛාව මත පැවතිය හැකිය. ජීවන රේඛාවෙන් අතු ශාඛාවක් ගුරු මණ්ඩලයට විහිදිම අධ්‍යාපනික වශයෙන් දියුණුව පෙන්වන අතර කාන්තාවකගේ අත්ලෙ පිහිටා ඇත්නම් ධනවත් විවාහයක් සඳහා කටයුතු යෙදෙන පිහිටීමකි. ජීවන රේඛාවෙන් ශනි මණ්ඩලය දක්වා අතු ශාඛාවක් විහිදි ඇතිනම් තමාගේ උත්සහය නිසා නව නිවාස දේපොළ සහ මුදල් ලබාගෙන ජීවිතය ස්ථාවර කර ගැනීම සඳහා යහපත් පිහිටීමකි. රවි මණ්ඩලයට අතු ශාඛාවක් විහිදි ඇත්නම් දියුණුව ජයග්‍රහණය සහ මුදල් සමඟ කීර්තිය ලැබෙන පිහිටීමකි. එමෙන්ම චන්ද්‍ර මණ්ඩලයට අතු ශාඛාවක් ගමන් කරන්නේ නම් පිටරට යාම වැනි දිර්ඝ සංචාර සඳහා පහසුකම් සැලසෙන ජීවිතයේ සැබැ ශූභවාදි වෙනසක් වන පිහිටීමකි. විද්‍යාත්මක දෙයින් සහ ව්‍යාපාරවලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන පිහිටීමක් බුධ මණ්ඩලයට ජීවන රේඛාවෙන් අතු ශාඛාවක් විහීදිමෙන් පෙන්වන අතර සිකුරු මණ්ඩලයට අතු ශාඛාවක් විහිදීමෙන් හොඳ ඥාති සම්බන්ධතාවලට මඟ පෙන්වයි.
ස්වභාව ධර්මයේ දායාදයන් වන සෑම නිර්මාණයක්ම සැකසි ඇත්තේ යම් යම් හේතුන් මත අවශ්‍යතාවයන් හේතුකොට ගෙනය. එසේ නම් අත්ල,රේඛා මණ්ඩල සමේ ලකුණු ආදිය සැකසි ඇත්තේද යම් කිසි තේරුමක් ඇතිවය. එබැවින් ජීවන ගමන සාර්ථක කර ගැනීම සඳහා අපගේ සැඟවුණු දක්ෂතා හඳුනාගෙන අයහපත් පුරුදු වෙනුවට යහපත් ගතිගුණ වර්ධනය කරගනිමින් බාධක, අවහිරතා, සෞඛ්‍ය ගැටලු සඳහා පෙර පිළියම් යොදා ගැනීම වෙනුවෙන් හස්ත රේඛා ශාස්ත්‍රයෙන් නිවැරැදි මාර්ගෝපදේශයක් ලබා ගත හැකිය.
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ
මනෝ විද්‍යා උපදේශක,
හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල
බී.ඒ ජයවර්ධන