දික්කසාදය ලග්න හතරකට විශේෂ ඇයි?

ජුනි 24, 2022

අපේ රටේ විවාහයන් පිළිබඳව සලකා බලද්දී අද වන විට කඩාකප්පල් වී ඇද වැටෙන තරමටම ඉතාම අබල දුබල තත්ත්වයක් උද්ගත වී තිබෙන බැව් පෙනේ. එන්න එන්නම දික්කසාදය වැඩිය. වසර කීපයකින්, මාස ගණනකින්, සති කීපයකින් මෙන්ම සතියෙන් ද දික්කසාදයට පත්වන අඹුසැමියන් සිටීම ඛේදවාචකයකි. අද දික්කසාදය යන වචනය එක්තරා කලාවකි. රැල්ලක් බවට පත්වී තිබේ. නූගත් අයට වැඩියෙන් උගත් අය මෙයට දායක වේ. මා දන්නා පරිදි සතියක් පාසාම දික්කසාදයට පත් වන අය ද මේ අතර වේ. කසාදය මෙවැනි තත්වයකට පත්වූයේ ඇයි?.

 

කායිකව දික්කසාදයට යන අයට වඩා වැඩි පිරිසක් මනසින් දික්කසාදය වී සිටීම අරුමයක් නොවේ. ස්කූටරයට අමතර රෝදයක් තිබෙන සේ අනියම් සබඳතා ඇති දෙපක්ෂයම සිටී.

අපි අද කතා බහේ යෙදෙන්නේ ඡ්‍යොතිෂය අනුව ලග්න 12න් ලග්න හතරකට පමණක් දික්කසාදය බලපාන අයුරු ගැනයි. මේ ගැන විමසා බලමු. එදාට වඩා අද අඹුසැමි ඇසුර ඈත්වීම විදෙස්ගතවීම නිසා දික්කසාද වීම වැඩිවී තිබේ.

අත්දැකීම් අනුව ලග්න හතරකට පමණක් දික්කසාදවීම වැඩිවන්නේ කෙසේද යන්න විමසා බලමු. විවාහ ගැටලුව තදින්ම බලපාන ලග්න හතරක් සිංහ, වෘශ්චික, මකර, කුම්භ හිමියන්ට විශේෂත්වයක් හිමි වන්නේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති. මේ මතයට එක එල්ලේම පිළිතුරක් දීම අපහසුයි. ඉවත් කිරීමටද අපහසුය.

එම නිසා මේ ගැන විමසා බලමු. ඉතිරි ලග්න අටට විවාහ සම්බන්ධිත ඌනතා ඇති නොවන්නේ යැයි මතයක් පැන නගී. හේතුව විමසා බලමු. සිංහ, වෘශ්චික, කුම්භ ලග්න තිර රාශින්ය. මකර චර රැසකි. සිංහයේ 7 වැන්නාධිපති ශනිය. 6 අධිපතිද ශනිය. සිංහයට සුබ ඵල දෙන ග්‍රහයින් තෝරා ගැනීම එතරම් පහසු නොවේ.

කුජ යෝග කාරකයාය. 7 වැන්නාධිපති මෙන්ම බාධක ස්ථානාධිපති වන බැවින් කුජගෙන් අසුබ ඵල ලැබේ. 5 වැන්න මෙන්ම අටවැන්න අධිපති වන නිසා ගුරුගෙන්ද සිංහයට අසුබ ඵල ලැබේ.

සිංහයට බුධ ශුක්‍ර පාපීන්ය. ශනි 7 සිට සස යෝගය වුවත් එතරම් සුබ ඵල නොලැබේ. ශනි ශනිමය. කෙසේ වුවත් අසුබ ඵලම ප්‍රදානය කරනු ඇත.

වෘශ්චිකයට 7 වැන්නාධිපති ශුක්‍රයි. ශුක්‍ර 12 අධිපති වේ. බුධ, කුජ ශුක්‍ර ලග්නයට පාපීන්ය. ගුරු හා සඳු සුබයි. වෘශ්චික ලග්න හිමියා සමහර විට කුරිරුය. දුෂ්ඨය. තෙතමනයක් නැත. පාලනයට යෑමෙන් යුගදිවිය අවුල් කර ගනී. ඉක්මන් කෝපය කුඩුකේඩු ගතිය කැපී පෙනේ. ඒ ගෝනුස්සාගේ හැටිය.

මකරයට 7 වැන්න සඳුය. කුජ, ගුරු, සඳු පාපීන්ය. ලග්නාධිපතියා ශනි වුවත් සමහර විට අසුබ ඵල දේවිය. ලග්න 12න්ම දැඩි ආත්මර්ථකාමී ආඩම්බර , කුරිරු දුෂ්ඨ ගති ඇති ලග්නයකි. ඉතාම ලෝභයි. රුපියලේ සිට ගණන් බලයි. අන්‍යයන්ට දීමට අකමැතිය. ගනු මිස දෙනු නැත. දැඩි ආත්මාර්ථකාමි නිසාම අන්‍යයන් පාගාගෙන වැඩ කටයුතු කරයි. සැකයෙන් බලයි. වැඩ කරයි. මේ සෙනසුරුගේ ගතියයි.

කුම්භයේ 7 අධිපති රවිය. ගුරු, සඳු, කුජ පාපීන්ය. ශුක්‍ර සුබ ඵල දෙයි. එහෙත් ශුක්‍ර 9යට පාපියෙකි. තනිව වාසය කරයි. අන්‍යයන්ගේ සිත් ගැනීමට අපහසුයි. කිසිවෙකින් තෘප්තියට පත් නොවේ. තනිව හුදකලා දිවියක් ගෙවයි. ලෝකෝත්තර පැත්තට වැඩි නැඹුරුවක් නිසා මෙලොව ගැන නොසිතා පරලොව ගැනම සමහර විට සිතයි.

එතරම් ප්‍රසන්න පුද්ගල චරිත නැත. සසරින් ඉක්මනට එතරවන අය විශේෂයෙන්ම කුම්භ ලග්න හිමියන් විය හැක.

ඉහත සඳහන් විවිධ කරුණු කාරණා මත මෙකී ලග්නකරුවන් සතර දෙනාගේ විවාහය පිළිබඳ නිරීක්ෂණය කළ යුතු විෂය පථයකි.

 

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී

දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.