ජීවිත කතාව කියන්න පුළුවන් හස්තයක පිහිටන විශේෂිත සලකුණු

ඔක්තෝබර් 15, 2021

වර්තමානයේ හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳව සමාජය තුළ ඇත්තේ සුවිශේෂී පිළිගැනීමක්. එසේම විශ්වාසයක්. සත්‍ය වශයෙන්ම එය එසේම විය යුතුය. මන්ද මුහුණ හදවතේ කැඩපත බඳුය වන්නා සේම හස්ත රේඛා ඕනෑම ජන්මියකුගේ අනාගත ඉරණම කියා පාන කැඩපතක් වන නිසාය. හස්ත රේඛා ශාස්ත්‍රඥයාට බැලූ බැල්මට හස්තයේ රේඛා 8ක් 10ක් පමණ වුවත් සත්‍ය ලෙසම අනාගත ඉරණම් තීරක කරණයට සැඟවුණු රේඛාද සහිතව රේඛා 120ක් පමණ අධ්‍යයනය කරනු ලබන්නේ නිශ්චිත සහතිකයක් ලබාදීමටය.

 

නමුත් සඳහන් කළ යුතු කාරණයක් නම්, යම් හස්තයක් සැලකීමේදී ඇතැම් අවස්ථාවලදී ජන්මීන්ගේ රේඛා පිහිටීම පමණක්ම සලකා තීරණයන් ගෙන නිගමනයන්ට එළඹිය නොහැක. මන්ද විශේෂිත ජනමීන්ගේ හස්තයන්හි රේඛා තුළින් මතුවන විවිධ සලකුණු - සංඥා පිළිබඳවත් සූක්ෂමව අවධානයට ලක්කිරීම සිදු කළ යුතුය. බැලූ බැල්මට ක්ෂණිකව එම සලකුණු - සංඥා නොපෙනුණත් ඉතා සංවේදීව අධ්‍යයනය කරන්නාට එම තත්ත්වයන් පැහැදිලිව අවබෝධ කර ගත හැකිය. එම පිහිටන සංඥා ද විවිධ වේ. ජන්මින්ට සුබ පල - අසුබ පල ගෙන දේ. එසේම සංඥා සලකුණු ඒකාකාරීව හස්තයන්හි දීර්ඝ කාලයක් නොපිහිටන බවද සිහි තබා ගත යුතුය. ඒවා තමාගේ ගෙවන මහ දශාවන්, අන්තර් දශාවන් කාල වල ශුභ අශුභ පැන නගින තත්ත්වයන් අනුව වෙනස් වන බවද අවබෝධ කරගත යුතුය. නමුත් බොහෝ විට ශුභ ආකායෙන් පිහිටන සළකුණු ජන්මීන්ගේ හස්තයන්හි මා බොහෝවිට අත්දැකීමෙන් දැක ඇති අතර, ඔබේ අවධානය සදහා එම අවස්ථා කිහිපයක් පිළිබඳ අධ්‍යයනයක් පහතින් සිදු කරමි. මූලික වශයෙන් ම මෙසේ හස්තයන්හි පිහිටන සලකුණු අතර, සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබන හක්ගෙඩිය හෙවත් ‘සක’ සලකුණ හස්තයන්හි පිහිටීම දැක ගත හැකිය.

දක්ෂිණාවුර්ත වාලම්පූරිය නිවෙසකට සැප සම්පත් ලබා දෙයි. එනිසා මෙම සලකුණ පිහිටන්නා වූ ජන්මියාට ජීවිතයේ සැප සම්පත් - සෞභාග්‍ය නොඅඩුව ලැබෙන බවට සළකුණකි. යහපත් අතින් හිමිවන ධනයට විශේෂයෙන් හිමිකම් කියයි. අගහිඟයක් ඇති නොවේ. බොහෝ විට මෙම සළකුණේ පිහිටීම පවතින්නේ ආධ්‍යාත්මය බොහෝ දුරට දියුණු කර ගත් අයට සහ ඒ මාර්ගයට යොමු වීමට මග පෑදී ඇති හෝ පෙරමං සළකුණු සහිත පුද්ගලයින්ට වීම විශේෂයි. ශ්‍රේෂ්ඨ උතුමන්ලාගේ හස්තයෙහි මේ සළකුණ පිහිටයි. එසේම අත්ල මැද මෙම පිහිටීම මෙහි ශුභ පල තුන් ගුණයකින් වැඩි කිරීමට හේතු වන්නකි. එසේම ශුක්‍ර මණ්ඩලයේ පිහිටීම තුළිනුත් ඒ තරම්ම ප්‍රතිඵල ලැබේ. චන්ද්‍ර මණ්ඩලයේ පිහිටීම තුළින් ප්‍රතිඵල මුලින්ට වඩා තරමක් අඩු වේ. නමුත් ඇඟිලි තුඩු වල පිහිටි විට ඉතා බලසම්පන්න බවකි. සියලු තත්ත්වයනට වඩා උසස් වේ. නිධානයක් ලැබුවා හා සමාන බවකි. ගුරු මණ්ඩලයේ පිහිටි පුද්ගලයාද ඉහළ ධනවතෙක් වනවාට නොරහසකි. එනිසා සළකුණ තිබූ පමණින්ම තීරණ ගැනීම යහපත් බවක් නොදක්වන අතර, පිහිටීම අදාළ වන්නේ හස්තයේ කවර මණ්ඩලයටදැයි සොයා බැලීමත් ප්‍රමුඛ විය යුතුය.

 

මේ ආකාරයෙන් පිහිටන්නා වු තවත් සුවිශේෂ සළකුණක් වන්නේ ත්‍රිශූල සලකුණයි. -මෙයද බොහෝ ජන්මීන්ගේ හස්තයන්හි දැක ගත හැකි තත්ත්වයක් වුවද, එය නිසියාකාර ත්‍රිශූල සලකුණක් බව අත්දැකීමෙන් හඳුනා ගත යුතුය. ඇසට පෙනුණ පළියට එසේ නිර්ණය කළ නොහැක. මන්ද හස්තයේ රේඛා එකිනෙක හරහා යෑමෙන් මෙම සලකුණට ආසන්න සලකුණක් හෝ කිපයක් යම් හස්තයන්හි දැක ගත හැකි වුවත් ඒවාට මෙහි පවතින බලාත්මක හිමිකාරිත්වය දිය නොහැකිය. එම නිසා නිසියාකාරව පවතින්නා වූ ත්‍රිශූල සලකුණ පවතින ස්ථානය අනුව ප්‍රතිපල ලබා දේ. බුධ මණ්ඩලය මත පිහිටි විට දේශනාවලදී ස්වාමින් වහන්සේ නමක් බිහි කරන බවට සලකුණකි. එසේම රවි මණ්ඩලය මත පවතින ත්‍රිශූල සලකුණ මඟින් විශේෂයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බිහි කරයි. සෙනසුරු මණ්ඩලය මත නම් ආගමික භක්තිය ඇති කරන අතර දේශපාලන තන්ත්‍රයටද දක්ෂ බවකි. ගුරු මණ්ඩලය මත ත්‍රිශූල සලකුණ පිහිටීම ඉහළ ධනවතෙක් බිහි කරන බවට ඉගියකි. තවද චන්ද්‍ර මණ්ඩලය මත නම්, ගුප්ත කටයුතු වලට මෙන්ම බණ භාවනා කටයුතුවලටද සිත යොමු කරන බව ජන්මින් තුළින් අවබෝධ කරගත හැකිය. රූප සම්පත්තියක් හිමිවීම සහ අධි කාම තත්ත්වයක් අති වන බව සිකුරු මණ්ඩලය ත ත්‍රිශූල සලකුණ පිහිටීමෙන් සපථ කරයි. මහත් නිර්භිත අයෙක් බවත් පෞරුෂත්වය මත ඉදිරියට යන බවත්, කුජ මණ්ඩලය මත පිහිටි ත්‍රිශූල සළකුණක් මඟින් පෙන්වා දෙන්නකි.

 

තෙවනුව අවධානයට ලක් කරනුයේ මත්ස්‍ය රූපයට සමාන රූපයක් හස්තයන්හි පිහිටීමයි. – මෙය බොහෝ විට නිසියාකාරව පිහිටන්නේ ඉතා කලාතුරකිනි. නමුත් මෙසේ පිහිටියා වූ ජන්මියා ඉතා ශුභ සමෘර්ධිමත් ජීවිතයක් පිළිබඳ පිහිටීමකි. මොවුන් විශේෂයෙන් සමාජශීලී පුද්ගලයින් වෙති. භව බෝග සම්පත් ලබන පුද්ගලයින්ගේ හස්තයන්හි මෙම මත්ස්‍ය සලකුණ පිහිටයි. විදේශ ගමන්බිමන්වලට හිමිකම් පවතී. එසේම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා කෙරහිද යොමුවීමට තරම් වාසනා බල මහිමයක් පවතී. චන්ද්‍ර මණ්ඩලයේ හෝ සිකුරු යන මණ්ඩල දෙකින් එකක පිහිටියා වූ මත්ස්‍ය රූප සලකුණ මඟින් ජන්මියාට බලයක් සහ ධනයක් ලබා දෙයි. ඉතා යහපත් පිහිටීමකි. මේ අයුරින් ජන්මින්ට හිතකර මෙන්ම අහිතකර සලකුණුද පිහිටන අවස්ථා අනේකවත් පවතී. නමුත් ඉහත දක්වන්නට යෙදුණු සළකුණු ත්‍රිත්වය ජන්මීය ජීවිත සුඛිත - මුදිත මෙන්ම සමෘද්ධිමත් කරන්නට මඟ පාදන්නකි. හස්තයන් පිළිබඳ නිසි අවබෝධයෙන් සිටීම තුළින් අපගේ නිවැරදි තත්ත්වයන් අප විසින්ම අවබෝධ කර ගත හැකියි. එතුළින් ජීවියට ජීවිතාලෝකය ළංකර ගත හැකිය. එසේම ප්‍රධාන වශයෙන්ම තමාගේ අනාගත ඉරනම් තීරකයා ලෙසින්ද හස්ත රේඛා යොදා ගැනීම වරදක් නොවන්නේද ඒ නිසා බව තරයේ සිහි තබාගත යුතුය.

 

 

ඡ්‍යොතිෂවේදී, හස්ත රේඛා ශාස්ත්‍රඥ, වාස්තුවිද්‍යාවේදී

කේ. පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන සුරවීර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.