විවාහ ප්‍රමාදය වැළැක්වූ සෙත් කවියක්

ජූලි 30, 2021

විවාහපේක්ෂාව දුරස් වෙමින් වයස ගෙවෙන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ ම අසහන දුරු කරන ප්‍රතිකාර ක්‍රමයක්, ඡ්‍යොතිෂය සමඟ සම්බන්ධ වූ ගුප්ත විද්‍යාවෙහි දැක්වේ. ධනය, බලය, තනතුරු, වියත්කම මෙන්ම පෞරුෂය සහ රුව ගුණ ආදී සියල්ල ම පැවැතිය ද, ඇතැමෙක් විවාහය පිළිබඳ සිහින දකිමින් සිටිති.

 

ඉහත සඳහන් කිසිදු සම්පතක් නොවූ ඇතැමෙක් තුරුණු විය ලත් සැනින් යුග දිවියට එළැඹෙති.

ඡ්‍යොතිෂය තුළින් මෙයට හේතු සාධක හමුවේ. මෙය වෙනත් කිසිදු ශාස්ත්‍රයකින් හෝ විද්‍යාවකින් හෙළි කළ නොහැකි ය. මෙම තත්ත්වය පෙන්වන එකම සාධකය කේන්ද්‍රයයි. මේ සඳහා ප්‍රතිකර්මයක් වශයෙන් ඇතැම්හු එවැනි විවාහ ප්‍රමාදයන්හි දී ගුප්ත ශාන්ති කර්මයන් කෙරෙහි ද යොමු වෙති. ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමයක් වන සෙත් කවිය ද එවැන්නකි.

මෑත භාගයෙහි විසූ අග්‍ර ගන්‍ය ගුප්ත කාව්‍ය රචකයෙකු වූ මලවැන්නෙ කවිතිලක සූරීන් විසින් රචිත ක්ෂණික ඵල උදා කළ සෙත් කවක් ඊට නිදසුනක් වශයෙන් මෙහි සඳහන් කරමි. එහි අපූර්ව සිද්ධියක් ද දැක්වේ.

සරල සුගම, ඖචිත්‍ය ගුණයෙන් ද, නිරවුල් බස් වහරක් අනුගමනය කර ක්ෂණික ඵල උදා කරන ලද සෙත් කවි රචනා රැසක් එතුªමා විසින් රචිත අයුරු දක්නට ලැබේ. එකල දින වකවානු සහිතව පුවත් පත්හි ද එවැනි රචනා පළ විණ.

“සඳවතී” නමින් හැඳින්වෙන යුවතිය සිය පියාගේ අභාවයෙන් පසුව ව්‍යාපාරය පාලනය කරමින් සිටියා ය. දැකුම්කළු රූ සිරින් පසු වුව ද තිස් හතර වැනි වියට ආසන්න වන තෙක් ම විවාහය ප්‍රමාදයෙන් පසු වූවා ය.

විවාහ යෝජනා කිසිවකට ඇය කැමැත්තක් නො දැක්වීම නිසා, සෙත් කවි ක්‍රමයෙන් හෝ පිහිටක් ලබා ගැනීමට යොමු විණ. කවිතිලක සූරීන් විසින් රචිත සෙත් කවිය මෙසේ ය.

 

දිලි දිනිසුරු රැසිනි කමල, විල පොබයන ලෙසිනී

විසි මිසි සැම, අපල අඳුරු, බාධක බිඳ තෙදිනී

සුරිඳුනි සොඳ, සඳවතී ගෙ ඉඟි දැන දිව, නෙතිනී

විගසිනි ගත, සිත පිනවනු, යුග දිවි සැප දෙමිනී

 

මෙම සෙත් කවිය කියවා දින කීපයක් ගත වන විට, නොසිතූ ආරංචියක් මවට ඇසීමට ලැබුණි. එනම් සිය වෙළෙඳසලේ සේවකයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවතින බවය. හෙතෙම සුන්දර නිහතමානී තරුණයෙකි. එහෙත් ඇය ගේ ව්‍යාපාරයේ සිටි දුප්පත් තරුණයෙකු බැවින් මව දැඩි විරෝධය දැක්වූවා ය. ‘සඳවතී’ ගේ කේන්ද්‍රයේ සත් වැන්නේ නීච වූ සෙනසුරු සිටීම අයහපත් බව අසා ඇති මව තව දුරටත් බියට පත් වූවා ය. ඇය කවිතිලක සූරීන් වෙත පැමිණ, සිදුව ඇති සියල්ල පවසා සිටියා ය.

මෙය කලෙක සිට පවතින්නට ඇති සම්බන්ධයක් බවත්, දෙවියන් විසින් ඉටු කරන ලද බැවින් අශුභ නොවන බවත් පවසා සිටි ‘කවිතිලකයන්’ ඊට විරුද්ධ නොවන ලෙසත්, පහදා දෙනු ලැබිණ. මෙම අවවාදයෙන් පසු දෙදෙනාගේ විවාහය සිදු විණ.

මෙම කවියේ ශාස්ත්‍රීය කරුණු කීපයක් මෙසේය

විවාහ ප්‍රමාදය වැළැක්වීමට රචනය කරන සෙත් කවියක දී, අදාළ අයගේ කේන්ද්‍රයේ සත් වැනි රාශිය හෙවත් කලත්‍රස්ථානය ප්‍රධානව පරීක්ෂා කළ යුතු ය. සත් වැනි රාශිය කුමක් වුවත්, කවිය ලියැවෙන අවස්ථාවේ දී සත් වැන්න තත් කාලයට ගෙන කවිය ලිවිය යුතු ය. එම සත් වැන්නෙන් සත් වැන්නාධිපති පස් වැනි රාශියේ පිහිටුවා එනම් ලග්නයෙන් එකොළොස් වැන්නෙහි සිටින සේ සකස් වීමයි.

මේ අනුව සඳවතී ගේ ජන්ම ලග්නය තුලාව බැවින් ඉන් සත් වැන්න මේෂ රාශියයි. එයින් පස් වැනි රාශිය කේන්ද්‍රයේ එකොළොස් වැනි සිංහ රාශියේ සිටීමයි. සත් වැන්න මේෂ යයි. එහි අධිපති සිකුරු ග්‍රහයා එකොළොස් වැන්නේ (සිංහ රාශියේ) සිටින සේ ය.

රාශිය (ජන්ම ලග්නය) කුමක් වුවත් මෙම ක්‍රමය නිසැක පල ලබන බව සඳහන් වේ. මෙහි සඳහන් සෙත් කවියෙහි මෙම ක්‍රමය යොදා ගන්නා ලදැ’යි ප්‍රකාශ වේ. ජන්ම නැකතට සහ අභිධානයේ (නාමය) මුලකුරට සුදුසු සේ ශුභ අක්ෂරයකින් සෙත් කවිය ඇරැඹේ.

එය ‘ද’ අක්ෂරයයි. සඳවතී නාමයේ ‘ස’ සියාවස නැකතේ දෙවැනි පාදයට අයත් ය. කවියෙ ‘දි’ සියාවස සිට දෙවැන්නේ පුවපුටුප නැකැතේ සිවුවැනි පාදයේ ය. සම්පත් නැකත බැවින් ඉතා මැනැවි.

‘ස’ උළුක වාහනයේ අක්ෂරයකි. ‘ද’ මහීෂ වාහනයේ අක්ෂරයකි. අක්ෂර වේධ නොවේ. ‘ස’ ජල භූතයි ‘ද’ පඨවි භූතයි. පසට ජලය මෙන් සරු සාරය. තවද මෙම අක්ෂර දෙකම දිව්‍යාක්ෂර වේ. සිද්ධි චක්‍රයේ දී සුසිද්ධය. ක්ෂණිකව පල දරයි. සූක්ෂ්ම සිද්ධි චක්‍රයට සුසිද්ධ සාධ්‍යයි. මැනවි.

සියාවස සහ පුවපුටුප නැකැත් දෙකම මයුර පක්ෂියාට හිමිය. ආකාශ භූතයි. සි, හා, දි අක්ෂර දෙකම ‘ඉ’ ස්වරය ගැන්වී තිබේ. ස්වර වේධ නොයෙදේ. නාමයේ සහ කවියේ යෝනි ද විරුද්ධ නොවිය යුතු ය.

 

නාමය සඳවතී

ස්, අ, ඳ්, අ, ව්, අ, ත්, ඉ

3+6+6+6+4+6+7+4 = එකතුව 42 මෙය යෝනි සංඛ්‍යාව වූ 8 න් බෙදූ විට 40 යි. ඉතිරි 2 ඉතිරි 2 = බිළාල යෝනියයි.

බිළාල යෝනියට මී යෝනිය සතුරු වේ. ඒ අනුව පද්‍යයේ යෝනි මෙසේ ය.

දිලි (මුව) දිනිසුරු (බිළාල) රැසිනි (ව්‍යාඝ්‍ර) කමල (නාග) විල (මුව) පොබයන( ගජ) ලෙසිනි (ගජ)

විසිමිනි (මී) සැම (ගුරුළු) අපල (මුව) අඳුරු (ගුරුළු) බාධක (ව්‍යාඝ්‍ර) බිඳ (මී) තෙදිනී(ගජ)

සුරිඳුනි(බිළාල ) සොඳ (බිළාල) සඳවතී (බිළාල) ගෙ (ගුරුළු) ඉඟි (සිංහ) දැන (මී) දිව (ව්‍යඝ්‍ර) නෙතිනී (නාග)

විගසිනි (මිග) ගත (මී) සිත (ව්‍යාඝ්‍ර) පිනවනු (ගජ) යුග (ව්‍යාඝ්‍ර) දිවි (බිළාල) සැප (සිංහ) දෙමිනී (සිංහ)

 

මෙහි පළමු පාදයේ කිසිදු වචනයක සතුරු වූ මී යෝනි නොයෙදේ. දෙවැනි තුන් වැනි හා සතර වැනි පාදවල මී යෝනි යෙදී ඇතත්, එම යෙදුම් බාධාවක් නොවන ලෙස පිහිටුවා තිබේ.

නාමයට ‘පෙර’ දේව ගණය ද පසුව ද දේව ගණ යෙදීමත් එහි දෙපස බිළාල හා ගුරුළු යෝනි යෙදුමත් ශුභයි. ‘සුරිඳුනි’ යන දේව අභිධානය ද බිළාල වන අතර, එහි දෙපස දේව ගණ හා යෙදුම් ද ශුභයි.

මෙහි වස්තු, වචන ශබ්ද සහ උපමා ආදී යෙදුම් ද මැනැවින් යෙදේ. මාත්‍රා හය බැගින් තුන් වරක් ද පසුව මාත්‍රා හතරකින් ද පාද යෙදෙන මාත්‍රා විසි දෙක බැගින් යුත් මෙය ‘කුසුම් සිරිගර’ විරිතින් රචිතය. විවාහ ප්‍රමාද වෙනුවෙන් සුදුසු යැයි සඳහන් විරිතකි.

 

ඡ්‍යොතිර්වේදී, සෙත් කවි රචක, විශ්‍රාමික ආචාර්ය, ශාස්ත්‍රී,

පියදාස කළන්සූරිය

කොහොඹනාදෙණිය, පෝද්දල.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.