අරිටු දෝෂ භංග කරවන ග්‍රහ යෝග

ජූලි 16, 2021

උපදින අවස්ථාවේ සියලුම සුබ ග්‍රහයින් බලවත්ව සියලුම පාප ග්‍රහයින් දුබලව යෙදීම අරිටුදෝෂ භංග කරවයි. චන්ද්‍රයා හා ලග්නය සියලු සුබ ග්‍රහයින්ගේ දෘෂ්ටිවලට ලක්වීම අරිටු දෝෂ භංග කරවයි. කටක ලග්නයෙන් ඉපදී ගුරු ලග්නගතවීමට අරිටු දෝෂ බලනොපායි.

අරිටු දෝෂයක් කේන්දරයක යෙදුණාට එය භංග කරන ග්‍රහයෝග ඡ්‍යොතිෂ විද්‍යාවේ දක්වා ඇත. දෝෂ භංග කරවන එම ආකාරයේ යෝග කීපයක් මෙසේ දක්වමි.

උපදින අවස්ථාවේ සියලුම සුබ ග්‍රහයින් බලවත්ව සියලුම පාප ග්‍රහයින් දුබලව යෙදීම අරිටුදෝෂ භංග කරවයි. චන්ද්‍රයා හා ලග්නය සියලු සුබ ග්‍රහයින්ගේ දෘෂ්ටිවලට ලක්වීම අරිටු දෝෂ භංග කරවයි.

කටක ලග්නයෙන් ඉපදී ගුරු ලග්නගතවීමට අරිටු දෝෂ බලනොපායි.

රාත්‍රී කාලයෙහි ඉපදී චන්ද්‍රයා උච්චරාශි ගතවීම අරිටු දෝෂ නැතිකරවයි.

ධනු ලග්නයෙන් ඉපදී පූර්ණ චන්ද්‍රයාට උච්ච වෘෂභ රාශි ගතවීම අරිටු දෝෂ භංගකරවයි.

තුලා ලග්නයෙන් රාත්‍රී කාලයෙහි ජනිතව පුරසඳු අටවැන්න යෙදීම අරිටු දෝෂ ඉවත්කරනු ඇත.

ලග්නය මකර වී රවි, ගුරු, සඳු (පුරසඳු) හත්වැන්න ගතව බුධ ශනි දෙදෙනට දසවැන්නෙහි ද, දසවැන්නේ සිකුරු යෙදීමද අරිටු දෝෂ භංගකරයි.

යමෙකු උපදින අවස්ථාවේ ගුරු, ශනි යුද වැදී එයින් ගුරු ජයගෙන තවත් සුබ ග්‍රහයෙක්ගේ දෘෂ්ටියට ලක්වීම අරිටු දෝෂ අකල් මර යෝග භංග වී දීර්ඝායුෂ ලබාදී සැප සම්පත් විඳීමට භාග්‍යය උදාකරයි.

යමෙකු උපදින අවස්ථාවේ බුධ ශනි යුද වැදී ශනි ජයගෙන සුබ ග්‍රහයකුගේ පූර්ණ දෘෂ්ටියට ලක්වේනම් අරිටු දෝෂ භංග වී වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට භාග්‍ය උදාවන අතර දීර්ඝායුෂ විඳීමට හැකිවේ.

සිංහ ලග්නයෙන් ජනිතව මකර රාශියේ අටවැන්න වන මීන රාශියේත් දොළොස්වැන්න වන කටක රාශියේත් පාප ග්‍රහයින් යෙදීම අරිටු දෝෂයකි.

කන්‍යා ලග්නයෙන් ජනිතව ලග්නගතව රවි, කුජ, ශනි ග්‍රහයින් සිටින කල හත්වැන්න වන මින රැස අවසඳු වී නම් අරිටු යෝගයක් බව ඡ්‍යොතිෂය පෙන්වා දෙයි.

උපදින වේලාවේ ලග්නාධිපති ග්‍රහයා පාප ග්‍රහයෙක් සමඟ යුද වැදී පරාජිත වූ සුබ දෘෂ්ටි නොලැබ හත්වැන්න ගතවීම අරිටු දෝෂයකි.

තුලා ලග්නයෙන් ඉපිද එහි රවි, කුජ, ශනි යන ග්‍රහයින් සිටින විට අව සඳු සත්වැන්න යෙදීම අරිටු යෝගයකි.

වෘශ්චික ලග්නයෙන් ජනිතව ශනි, කුජ, රවි ලග්නගතව හත්වැන්නේ අව සඳු යෙදීම අරිටු යෝගයකි. අවසඳු, තුලා ලග්නගතව තුලාවෙන් ජනිත අයට ගුරුගේ දෘෂ්ටියක් නොලැබීම නම් අරිටු යෝගයකි.

මේෂ ලග්නයෙන් ජනිතව සෙනසුරු ලග්නගත වී පාප ග්‍රහයින්ගේ දෘෂ්ටිවලට ලක්වීම බලගතු අරිටු දෝෂයකි.

ලග්නය මිථුන වී රවි, චන්ද්‍ර ලග්න ගතවී ගුරුගේ දෘෂ්ටියට ලක් නොවීම අරිටු යෝගයකි.

මේෂ ලග්නයෙන් ඉපිද මේෂ රැස සඳු ද මීනය වන දොළොහේ කුජ ද වෘශ්චිකයේ රවිද නමවැන්න වන ධනුවේ සෙනසුරුද යෙදීම අරිටු යෝගයකි.

මීන ලග්නයෙන් ජනිතව හයවැන්නේ ශනි සඳු යෙදීම අරිටු යෝගයකි. මෙම අරිටු දෝෂයන් දුටුකල බිය නොවන්න. මෙම අරිටු දෝෂයන් භංග කරවන ග්‍රහයෝග මතුවට බලාපොරොත්තු වන්න.

සිංහ ලග්නයෙන් ජනිත කාන්තාවගේ සිකුරු අටවැන්නේ උච්ච බලයෙන් යෙදීම අරිටු දෝෂ භංගකරවයි. විවාහයෙන් පසුව දියුණුවට පත්වේ. ඉඩම්, වාහන, ධනය, අලුත් නිවාස සාදා ගැනීමට භාග්‍යය උදාවෙයි.

අව පක්ෂයේ දවාල මේෂ ලග්නයෙන් ජනිතව සඳු ග්‍රහයා හයවැන්න ගතවීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම අරිටු දෝෂ භංගත්වයට පමුණුවයි.

කටක ලග්නයෙන් ජනිත සඳු ලග්නගතව ලග්නය සුබ ග්‍රහයින් දැකීම අරිටු දෝෂ භංගකරවයි.

මකර ලග්නයෙන් ජනිතව හත්වැන්නේ ගුරු යෙදීමද අරිටු දෝෂ භංගකර ජන්මියාට සැපසම්පතින් පිරි දීර්ඝායුෂ විඳීමට භාග්‍යය උදාකරවයි.

කන්‍යාවෙන් ඉපදී හත්වැන්නේ සිකුරු යෙදීම අරිටු දෝෂ භංගකරවයි. මෙය ඉතා සරලවූත් සැපවත් ජීවිතයක් ගත කරන්නෙකු කරවයි.

තුලා ලග්නයෙන් ජනිතව හත්වැන්නේ රවිගේ පූර්ණ දෘෂ්ටිය ලග්නයට වැටීම අරිටු දෝෂ භංග කරවයි. ජන්මියා උගතෙකි. රජයේ උසස් තනතුරු හිමිවේ. සමාජයේ ප්‍රසිද්ධ ජනපි‍්‍රය කෙනෙකු වේ.

වෘෂභ ලග්නයෙන් ජනිතව ලග්නයේ පුරසඳු ලග්න ගතවීම සහ හත්වැන්න වන වෘශ්චික රැස ගුරු මිත්‍රවී යෙදීම අරිටුදෝෂ භංගත්වයට පමුණුවන බව ඡ්‍යොතිෂයෙහි සඳහන් වේ.

ලග්නාධිපති බලවත් වී සුබ ග්‍රහයින් දැකීමද අරිටු දෝෂ භංග කරවයි.

කටක ලග්නයෙන් ඉපදී ලග්නාධිපති සඳු එකොළොස්වැන්න ගතවීමත් අරිටුදෝෂ භංග කර සැප සම්පත් ළඟා කරදෙයි.

මකර ලග්නයෙන් ජනිතව සඳු ලග්නගතවද ගුරු හත්වැන්න සිට සඳු දැකීමද අරිටු දෝෂ භංගකරවයි.

කන්‍යා ලග්නයෙන් ඉපදී බුධ ලග්නගතවී හත්වැන්නේ සිකුරු යෙදී ලග්නයට පූර්ණ දෘෂ්ටි හෙලීම අරිටු දෝෂ භංග කරවයි.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ගොඩගම

ජයසේන ජයසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.