මැණික්කටු රේඛා සහ ගුප්ත කතිරය හෙළි කරන ධනවත් බවේ රහස්

ජූලි 9, 2021

දෛවරේඛාව, සුඛ රේඛාව දේශාටන රේඛා මෙන්ම කීර්ති රේඛාවද සමහරවිට මැණික් කටු රේඛා ආශ්‍රයෙන් ආරම්භ වෙයි. මේ අනුව හස්තරේඛා විද්‍යාවේ දී මැණික්කටු රේඛාවලට වැදගත් ස්ථානයක් හිමි වී ඇති බව ඔබට හිතාගත හැකිය.

අත්ලක පිහිටන අප්‍රධාන රේඛාවන් අතර මැණික් කටුරේඛා ද වැදගත් වෙයි. මණිබන්ධන රේඛා, වළලු කර රේඛා යන නම්වලින්ද මෙම රේඛා හඳුන්වනු ලබයි. ජීවන රේඛාව ද බොහෝ විට අවසන්වන්නේ මැණික් කටු රේඛා ආශ්‍රයෙන්මයි.

එමෙන්ම දෛවරේඛාව, සුඛ රේඛාව දේශාටන රේඛා මෙන්ම කීර්ති රේඛාවද සමහරවිට මැණික් කටු රේඛා ආශ්‍රයෙන් ආරම්භ වෙයි. මේ අනුව හස්තරේඛා විද්‍යාවේ දී මැණික්කටු රේඛාවලට වැදගත් ස්ථානයක් හිමි වී ඇති බව ඔබට හිතාගත හැක. අත්ල බාහුවට සම්බන්ධ කරන මැණික් කටුව මත වැටෙන මැණික් කටු රේඛා පිහිටා ඇති බව මේ සමඟ පළවෙන රූප සටහනින් ඔබට හඳුනාගත හැකියි. පළමුවෙන්ම අංක 1 න් දක්වා ඇති රේඛාව දෙස බලන්න. අත්ල පැත්තෙන් මුලටම පිහිටා ඇති රේඛාව පළමුව විස්තර කරමි. තෘණ වළල්ල යනුවෙන් මෙය හඳුන්වයි. එම රේඛා වළල්ල බලපානුයේ කිසියම් අයෙකුගේ ළමා කාලයටයි. එම රේඛාව පැහැදිලිව ලා රතු පාටට හුරුව ලස්සනට, පැහැදිලිව වැඩී ඇත්තේ නම් ඔහු හෝ ඇය ළමා කාලයේ දී දෙමාපියන්ගේ නොමද ආදරය ලබමින් සැප සම්පත් භුක්ති විඳි අයෙකු විය හැකි ය. කැඩී බිඳී හෝ විකෘති ලෙස පිහිටා ඇති තෘණ වළල්ලෙන් එම අය ළමා කාලයේ දී නොයෙකුත් දුක් කරදර වින්ඳ අයෙකු ලෙස පෙන්නුම් කරයි.

දෙවැන්නෙන් දක්වා ඇති රේඛා වළල්ල ධනවළල්ල ලෙස හඳුන්වනු ලබයි. එය පුද්ගලයාතේ තරුණ කාලය තුළ පැවැති ජීවිත තත්ත්වය පෙන්නුම් කරයි. පැහැදිලි ලස්සන ධන වළල්ලක් ඇති අය තරුණ කාලයේ දී අනේක විධ සැප සම්පත් ලබන බව හස්ත රේඛා විද්‍යාව නිගමනය කරයි. එම රේඛාව කැඩී බිඳී හෝ දුර්වර්ණ වී පිහිටා තිබීම අසුබය. තරුණ කාලයේ නොයෙකුත් දුක් කම්කටොලුවලට මුහුණපෑමට සිදුවන බව එමඟින් ප්‍රකට කරයි.

රූප සටහනේ තුන්වෙනුව සටහන් කර ඇති රේඛා වළල්ල සම්පත් වළල්ල ලෙස හඳුන්වයි. එම සම්පත් වළල්ල බලපානුයේ කිසියම් අයෙකුගේ මහලු කාලයටයි. මෙම සම්පත් වළල්ල පැහැදිලි ලෙස දර්ශනය වේ නම් මහලු වයසේ දී සතුටින් සැපෙන් දිවි ඇතිතෙක් ඉන්නට අවස්ථා හිමිවෙයි. මෙම රේඛාව කැපී, කැඩී හෝ විකෘති ලෙස පිහිටියේ නම් මහලු කාලයේ දුක්බරව දිවි ගෙවීමට සිදුවේ. මැණික් කටු රේඛාවලින් මතුවූ රේඛාව බුධ මණ්ඩලය කරා විහිද ගියේ නම් (4) විශාල ධන ලාභයක් හිමිවන බව කියැවේ. එම රේඛාව බොහෝ විට බුධ රේඛාවේ නැතහොත් සුඛ රේඛාවේ පිහිටීම සමාන ය. ඒ කෙසේ වුව ද එය සුඛ රේඛාව නොවේ. චන්ද්‍ර මණ්ඩලය හා දෙවන කුජ මණ්ඩලය හරහා පිට අල්ල පැත්තට වඩාත්ම නැඹුරු වී මෙම රේඛාව පිහිටයි. රූපසටහනින් ඔබට එය පැහැදිලි වනු ඇත.

දබර ඇඟිල්ලත්, මහපට ඇඟිල්ලත් අතරින් ආරම්භවුණ රේඛා දෙකක් හෝ කීපයක් අල්ල මැදදී විහිදී ගොස් මැණික්කටු රේඛාවලට සම්බන්ධවීම ස්ත්‍රී පක්ෂයට අශුභ පිහිටීමක් වෙයි. ගණිකා වෘත්තියේ නියැලෙන ස්ත්‍රීන්ගේ අත්වල පිහිටන රේඛා ලක්ෂණයක් වශයෙනුයි එය හඳුන්වන්නේ.

කෙනකුගේ පරමායුෂ ගණනය කරන ප්‍රධාන රේඛාව ලෙස ජීවන රේඛාව හඳුන්වයි. කෙසේ වුවද කෙනෙකුගේ පරමායුෂ නිගමනය කරන්නට පළමුව මැණික් කටු රේඛාත් විශේෂයෙන් පරීක්ෂා කළ යුතුයි. හොඳින් දර්ශනය වන මැණික්කටු රේඛාවක සාමාන්‍ය ආයුෂ අවුරුදු 30 ක් වශයෙන් සැලකෙයි. ඒ අනුව මැණික්කටු රේඛා දෙකක් පැහැදිලි ලෙස තිබේනම් අවුරුදු 60ක් වශයෙන්ද, රේඛා තුනක් පැහැදිලි ලෙස ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ පරමායුෂ අවුරුදු 90ක් වශයෙන් ද නිගමනය කරනු ලබයි. කාගේ හෝ අතක මැණික්කටු රේඛා හතරක් පිහිටියේ නම් ඔහුගේ හෝ ඇයගේ පරමායුෂ අවුරුදු 120ක් ලෙස සැලකේ.

වී ඇට මාලයක් ලෙසින් වැටෙන මැණික් කටු රේඛාවලින් ධනවත් පුද්ගලයෙකු හඳුන්වා දෙයි. පැහැදිලි ලස්සන මැණික් කටු රේඛා තුනක් පිහිටි අත හිමි කාන්තාව රාජ මහේෂිකාවක් වීමට තරම් පින්වත් තැනැත්තියක් බව සමුදු සෘෂිවරයින් පවසා ඇති බව කියැවේ. මැණික්කටු රේඛා මත වැටෙන ත්‍රිකෝණ ලකුණු ද සුබ පිහිටීමක් වෙයි. පිය සන්තක සියලු ධනය ඇයට හෝ ඔහුට හිමිවන බව එමඟින් ප්‍රකට කරයි. භූමි ගත මැණික් වැනි සම්පත්ද උරුම විය හැකි ය. මැණික් කටු රේඛා දෙකක් අතර කතිර වැටී තිබේ නම් එයින් පෙන්නුම් කරනුයේ සදාකාලික සැපවත් ගෘහ ජීවිතයකි. යම්කිසි අයෙකුගේ අතක මැණික්කටු රේඛා තුනක් පිහිටා එම රේඛා තුනම එකම ස්ථානයකින් කැපී කැඩී තිබේ නම් එම අය සියදිවි නසා ගැනීමට පෙළඹෙන බව කියැවෙයි.

අත්ලක පිහිටන තවත් විශේෂ ලක්ෂණයක් ගැන දැන් හඳුනාගන්න. ඒ තමයි ගුප්ත කතිරය. හෘදය රේඛාවත්, ශීර්ෂ රේඛාවත් අතර (6) ප්‍රදේශයෙහි මෙම සලකුණ පෙන්නුම් කරයි. මෙය ගුප්ත කතිරය ලෙස හඳුන්වයි. සමහරවිට ගුප්ත කතිරය හෘදය රේඛාව, ශිර්ෂ රේඛාව හෝ දෛව රේඛාවටද සම්බන්ධව පිහිටන අතර සමහරවිට සම්බන්ධ නොවීද පිහිටිය හැක. ගුප්ත විද්‍යාවන් කෙරෙහි කැමැත්ත හා විශ්වාසය එමගින් ප්‍රකාශ වෙයි. ගුප්තවිද්‍යාවන් හැදෑරීම එවැනි අයට සහජ දක්ෂතා ඇති අතර ලෝකෝත්තර හැඟීම්වලින් බරවූ හදවතක් ඔවුන් සතුවෙයි. ගුප්ත කතරය දෛව රේඛාවට සම්බන්ධ වී තිබේ නම් ඔහු හෝ ඇය බොහෝවිට ගුප්ත විද්‍යාව ඉගෙන ගන්නේ මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් වන අතර ඒතුළින් ඔවුන් විශාල ලෙස ධනයද උපයා ගනී. එය ගුරු මණ්ඩලය දෙසට බරව තිබේ නම් තමන්ගේම ප්‍රයෝජනය සඳහා එවැනි දේවල් ඉගෙන ගන්නා බව පැහැදිලි වෙයි.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.