ග්‍රහ අපලවලට පිළියම ප්‍රතිපත්ති ගරුක වීමයි

ජනවාරි 24, 2020
ඡ්‍යොතිෂය දත් නොදත් බොහෝ දෙනෙකු අද ග්‍රහමාරුවක්, චන්ද්‍රග්‍රහණයක්, සූර්යය ග්‍රහණයක් වැනි දෙයකදී දක්වන්නේ පුදුම උනන්දුවකි. සැබවින්ම ග්‍රහයින් මිනිස් දිවියට තදින්ම බලපාන එක නොරහසක් වන නිසා අද එබඳු ජනතා යොමුවීමක් පිළිබඳව පුදුම වන්නටද දෙයක් නැත. 
ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් අතර වැඩිම කාලයක් එක රාශියක සිටින සෙනසුරු වසර දෙක හමාර බැගින් රාශි, දොළසේ ගමන් කර යළි නැවත එම ස්ථානයට යාමට වසර 30ක් ගතවනු ඇත. එහෙත් ඒ එක එක රාශියට වෙන් වෙන් වශයෙන් ප්‍රතිඵල දෙන සෙනසුරු පිළිබඳ වැඩි දෙනෙකු තුළ ඇත්තේ මහත් බියකි. ඒ අන් ග්‍රහයන්ට වඩා සෙනසුරු කෙනෙකුට ඒ වසර 30 ඇතුළත ඉතා අමිහිරි අත්දැකීම් උරුම කරදෙන   ඒරාෂ්ඨක අපල කීපයක්ම ගෙනදෙන නිසා ය. සෙනසුරු 12, 01, 02 ස්ථානවල ගමන් කරන විට එක රාශියක වසර දෙක හමාර බැගින් වසර හත හමාරක ලග්න ඒරාෂ්ඨකයද සඳු කෙනෙකුගේ යම් තැනකද එම ස්ථානයට සෙනසුරු පැමිණීම ජන්ම       ඒරාෂ්ඨකයද සෙනසුරු කේන්ද්‍රයේ අට වැන්නට පැමිණීම. සෙනසුරු අෂ්ඨම  ඒරාෂ්ඨකය හා චන්ද්‍රයා සිටින ස්ථානයෙන් අටට පැමිණීම චන්ද්‍රාෂ්ඨම ඒරාෂ්ඨකයද ලෙසින් මෙම      ඒරාෂ්ඨක විවිධ වෙයි. වෙන කිසිදු ග්‍රහයකු ගෙන නොදෙන අන්දමේ අපලවිපත් සෙනසුරු ජීවිතයට ගෙන එන බව පවසන්නේ අන්න ඒ නිසා ය. කෙසේ නමුදු කෙනෙකුට කේන්ද්‍රයේ සෙනසුරු ලබා තිබෙන හොඳ නොහොඳ අනුව කෙනෙකුට සෙනසුරු යහපත් ග්‍රහයකු ලෙසද තවත් කෙනෙකුට අයහපත් ග්‍රහයෙකු ලෙසද හඳුන්වා දීමට පුළුවන. වසර දෙක හමාරක කාලයක් ධනු රාශියේ සිටි සෙනසුරු 2020 ජනවාරි 24 වන දින උදේ 09.49 ට මකර රාශි ගත වෙයි. එය පොදුවේ ගත් කල රටට ලෝකයට ජනතාවට සුබවාදී තත්ත්වයකට මූලාරම්භයක් බව කිව යුතු ය. 
වසර දෙක හමාරකට එපිට තව වසර දෙක හමාරක් සෙනසුරු සිටියේ වෘශ්චික රාශියේ නිසා එම රාශියට සෙනසුරු නීචව පැවති කාලය එනම් මීට වසර 5 ක පමණ කාලයක සිට සෙනසුරු විසින් රටට ජාතියට පරිසරයට පැවති රජයන්ට ලෝකයට ගෙනදුන් විපත් කරදර පිළිබඳ ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ අනුව මිනිසුන් මිනිසුන් අතර අසමගිතා සොරකම, වංචාව එදිරිවාදිකම අයහපත් පරිසර විපර්යාසයන් රැසකට මුහුණ දුන්නේ අන්න ඒ නිසා යයි අපට සිතිය හැකි ය. කෙසේ නමුදු ඒ අමිහිරි අත්දැකීම් සියල්ල පසෙකලා 2020.01.24 දින සෙනසුරු සිය අධිපතිත්වය හිමි මකර රාශියට පැමිණීම බොහෝ සුබවාදී බලාපොරොත්තු ඉහළ නැංවීමට තරම් වනු ඇත. 
කෙසේ නමුදු මෙම ග්‍රහමාරුව වන අවස්ථාවට පෙරාතුව අප වෙත එන ඉතා විශාල දුරකතන ඇමතුම් වලින් අසන පලාපල පිළිබඳව අපට සිතන්න හැකි වී ඇත්තේ අද රටේ මේ ග්‍රහ මාරු පිළිබඳ මිනිසුන් කොතෙක් උනන්දුවක් දක්වනවාද යන්නයි. කෙසේ නමුදු මෙම ග්‍රහමාරු ප්‍රතිපලවලට අනුව මෙම  පාඨක හිතවතුන්ට පවසන්නට තිබෙන්නේ ග්‍රහයින්ගේ අපල උපද්‍රව අපගේ ප්‍රතිපත්තිගරුක ජීවිතය තුළින් අවම කරගත හැකි බවයි. ඕනෑම ග්‍රහයකු අපගේ චිත්ත සන්තානයට බලපෑම් කරමින් අප ව්‍යාකූල මානසිකත්වයට ගෙන යමින් අපව ලෙඩුන් මානසික දුර්වලයින් හා ඒ නිසාම විවිධ කරදර උවදුරුවලට පමුණුවන නමුදු ඒ තත්ත්වයට අප හසු නොවී සිටීමට හැකි බවයි. විවිධ ග්‍රහ අපල පවතින විට සාර්ථක ඡ්‍යොතිෂවේදීන් තම සේවාදායකයින්ට පවසන්නේ තම ආගමානුකූල ජීවිතයට වඩ වඩා නැඹුරුවිය යුතුය යන්නයි. ඔබ බෞද්ධ අයකු නම් බෝධිපූජා තබා ඒ ඒ ග්‍රහයාට අදාළ දෙවි දේවතාවුන් ඇදහීම කළයුතු බවද පවසයි. මේ කටයුතු තුළින් කෙනෙනකු තුළ ඇතිවන මානසික සුවය අධිෂ්ඨානය තුළින් විය හැකි අපල අවමවෙයි. 
ඒ නිසා ඔබත් වඩ වඩාත් ග්‍රහ අපල අවම කර ගැනීමට වඩ වඩාත් ආගමික කටයුතුවල නිරතවන්න. එවිට ඔබට කිසිවිට බියවිය යුතු නැත. සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් ඔබ ශ්‍රී විෂ්ණු දෙවිඳු සඳහා පූජෝපහාර දක්වන්න. එවිට ඔබට යහපත උදාවේ.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.