වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
නත්තල් ඡ්‍යොතිෂ අසිරිය
බැබළීම නැතහොත් ආලෝකය ලෙස සැලකෙන ඡ්‍යොතිෂය නත්තල් තරුවේ දීප්තිය සමඟ ගැළපී යන බව බොහෝ දෙනා අද වන විට පිළිගන්නා මතයක් බවට පත්ව තිබේ. රජතුන් කට්ටුව ලෙස ගැනෙන ප්‍රඥාවන්තයන් තිදෙනා දෙව්බිලිඳුන් දැක ගැනීමට ආවේ නත්තල් තරුවෙන් මඟ අහගෙන බැව් නොදන්නා අයකු නැති තරම්ය. ඒ් යුගය ඡ්‍යොතිෂය ඉතා යහමින් පැවතුණු යුගයක් බව නොකිව මනාය. වෙසෙසින් පෙරදිග ජනතාව ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය සැලකුවේ විද්‍යාවේත්, දර්ශනයේත්, ආගමේත් ගැඹුරු සම්මිශ්‍රණයක් ලෙසටය. එහෙත් මේ වන විට කිතුනු දහම අදහන්නන් බොහෝ දෙනා විශ්වාසය තබන්නේ දෙවියන්ගේ කැමැත්ත පිළිබඳ පමණි. ඡ්‍යොතිෂයේ ගණිත ක්‍රමය මඟින් අප එකිනෙකා වෙත ඒ කැමැත්ත ලැබී ඇති ආකාරය යමක් සිදු වීමට කලින්ම අවබෝධ කර ගැනීමේ ක්‍රමවේදය ලබා දී ඇත්තේද මේ සියල්ලෙහි මැවුම්කරුවාණන් විසින්ම නොවන්නේද යන්න බොහෝ විට නැඟෙන පැනයකි.
ඒ කෙසේ වෙතත් නූතන පර්යේෂණවලට අනුව ජේසුතුමන් මෙලොව එළිය දැක ඇත්තේ මාර්තු පළමුවැනිදාවක බවත්, ඒ මොහොතේ උදා රාශිය මීනය වන බවත් රවි, චන්ද්‍ර, ගුරු, සිකුරු ශනි සහ නෙප්චූන්ගෙන් සැදුම්ලත් ෂඩ් ග්‍රහ සංයෝගයක් ලග්න භාවයෙහි හෙවත් පළමුවැන්නේ පිහිටා ඇති බවත් පැවසෙයි. මීන ලග්නයට උරුම සමාව දීමේ ගුණය මෙන්ම අහිංසාවාදී බව ඉස්මතු කෙරෙන බලවත් චරිතයක් ලෙස ක්‍රිස්තූන් වහන්සේ දැක්විය හැකිය. නෙප්චූන්ගේ ත්‍රිකෝණ දෘෂ්ටිය උන්වහන්සේ වෙත ඉමහත් කරුණාවන්තබව, මනා සේ දියුණු කළ මානසිකත්වයක් මෙන්ම ඇදහිය නොහැකි සුව කිරීමේ බලයක් පැවතුණු බව පෙරපර දෙදිගම මතය බවට පත්ව ඇත. එමෙන්ම ඔවුන්ගේ පළමු සංකේතය මාළුවා බවත් යම් යම් විචාරකයෝ පෙන්වා දෙති. මාළුවා ද වරල් දිගහැරි විට කුරුසයක හැඩ ගන්නා බව ද සාධාරණ දැක්මක් යැයි සිතිය හැකිය.
ඇතැම් පිරිස් පවසන්නේ කන්‍යා ලග්නය මරියතුමියගේ නියෝජනය බවයි. එමෙන්ම කිතු සමිඳුන්ගේ ශ්‍රාවකයන් දොළොස්දෙනාගෙන් නියෝජනය වන්නේ ලග්න දොළස බවටද මතයක් තිබේ. පහළොස්වැනි සියවසේ ලියනාඩෝ ඩාවින්චි නිර්මාණය කළ අවසන් භෝජන සංග්‍රහය නම් චිත්‍රයේ ඒ ලක්ෂණ මොනවට විදහා පාන බවද පැසෙයි. ඒපමණක් නොව ‘නිරිඳුන් තිදෙනා - තරුමෙන් දිලෙනා’ ආදී වශයෙන් යෙදුණු කාව්‍ය සංකල්පය නිවැරැදි යැයි පවසමින් මේ රජතුන් කට්ටුව සමාන කර ඇත්තේ ඔරායන් තරු වළල්ලේ බඳ පටියෙහි දිදුළන තාරකා ත්‍රිත්වයට යැයි ද පැවසේ. ඒ සියල්ල කැටි කොට තෝමස් ඇක්වයිනාස් දොළොස්වැනි සියවසේදී පවසා තිබුණේ දිව්‍යලෝකයේ හෙවත් ඉහළ අහසේ ඇති වස්තූන් මිනිසුන්ගේ භෞතික ශරීරයට මෙන්ම ගතිපැවතුම්වලට බලපෑම් කරන අතර මෙලොව සෑම බැඳීමක්ම තීරණය කරනු ලබන්නේ දෙව්ලොව ඇති වස්තූන් විසින් බවයි. එසේම ඔහු තවදුරටත් ගෙනහැර පාන්නේ යම් මිනිසකුට මේ සියලු බලපෑම්වලින් මිදීමේ ශක්තිය ද ඇති බවටයි. එය බොහෝ දුරට සමාන වන්නේ බුදුන්වහන්සේ දේශනා කොට වදාළ අධිෂ්ඨාන ශක්තිය ඇති මිනිසාට ග්‍රහතරුවලින් කළ හැකි බලපෑම කුමක්ද යන්නට සමාන වන බව පෙනුණත් ඇක්වයිනාස්ගේ අදහස වන්නේ ග්‍රහතරුවල බලපෑමෙන් මිදී දෙවියන් කෙරෙහිම බැඳී සිටීම වඩාත් සුදුසු බවයි. එහෙත් බුදුදහම ඉන් බොහෝ ඔබ්බට ගොස් නිර්වාණාවබෝධයේ යෙදෙන්නකු මෙවැනි නක්ෂත්‍ර ආදී දේ රැකියාව වශයෙන් තිරීම ආදිය නුසුදුසු බව පවසන්නේ එයින් නිවන් මඟට ඇතිවිය හැකි බාධා පිළිබඳ සලකාය.
ඇතැමුන් පවසන අකාරයට රෝම අධිරාජයා විසින් නිල වශයෙන් පනවන ලද නිසා හෝ සැබැවින්ම උඳුවප් සීතලේ ගවලෙනක ජේසු බිලිඳුන්ගේ උපත සිදු වුණ නිසා හෝ සමරන නත්තලට සැබෑ අරුත එක් කළ හැක්කේ උන්වහන්සේගේ ගුණ පිළිබඳ ඡ්‍යොතිෂයෙන් දක්වන කරුණු පෙරදැරි කරගන්නේ නම් පමණි. අපරිමිත කරුණාව, අන් අය වෙනුවෙන් කළ කැප කිරීම, මනා සන්නිවේදන හැකියාව, තවෙකකුගේ සිත කය සුව කිරීමේ ශක්තිය, දයානුකම්පාව, දැඩි අධ්‍යාත්මික අවධානය, ප්‍රතිභාව සහ දීප්තිමත් බව ඉහළ දියුණු මානසික හැකියාව නිදහසට සහ අධ්‍යාත්මික සත්‍යයට ආදරය කිරීම මෙන්ම යමක් පැහැදිලිව ඉගැන්වීමේ හැකියාව වැනි දහසකුත් එකක් ගුණයන් උන්වහන්සේ කෙරෙන් දැකගත හැකි වනු ඇත. ඡ්‍යොතිෂය පිළිගත්තා හෝ නොගත්තා හෝ ක්‍රිස්තුන් වහන්සේ සියලු පාපී මිනිසුන් වෙනුවෙන් සිය ජීවිතය කුරුසයට බාර කළ සැබෑ හේතුව අරුත් ගන්වන්නට ඉහත කරුණු අතරින් එකක් හෝ මනාව පුරුදු කළ හැකි දවසට නත්තලට සැබෑ අරුතක් එක්වනු ඇත.