වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
දියුණු මිනිසා සහ නොදියුණු සත්තු
ලෝකය වෙනස් කිරීමට උත්සාහ කරන මිනිසා තාක්ෂණයේ හිනිපෙත්තටම යන්න යන්නම පරිසරයෙන් ඔහු ඈත්වන බවක් පෙනෙන්ට තිබේ. ගහට කොළට සතා සීපාවාට පමණක් නොව ඉර, හඳ, තාරකාවලට පවා බැඳුණු මිනිසා ඒවාට වැඳුම් පිදුම් කළේ, බිය වූයේ නොදියුණුකම නිසා යැයි අද හැඳීන්වුව ද එවැනි මිනිසුන් සතු ඇතැම් සහජ සංවේදීතාවන් නූතනයන් තුල දක්නට නැත.
එහෙත් තවමත් සාම්ප්‍රදායික කෘෂිකර්මයේ යෙදෙන වයෝවෘද්ධ පරපුරේ ඇතැමුන් මඟින් අපට ඒ සංස්කෘතික උරුමය හඳුනාගත හැකි වීම වාසනාවකි. සියල්ල විද්‍යාත්මක විය යුතුය, පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන මඟින් පමණක් ඔප්පු වන සියල්ල සත්‍යය යන විද්‍යා වහලුන්ට මෙන්ම තාක්ෂණික මෙවලම් මත පමණක් යැපෙන තාක්ෂණික වහලුන්ට නොදැනෙන දෙය නම් විද්‍යාව යනු තවත් පරීක්ෂණයකින් නිරීක්ෂණය කර නිගමනයකට එළැඹුණු පසු පෙර නිගමනය වෙනස් වීම විද්‍යාවේ ස්වභාවය මෙන්ම මොහොතින් මොහොත සිදුකරන වෙනස්කම් මත තාක්ෂණය ද වෙනස් වුවත් සොබාදහම එදා සිට අදටත් අදින්ම මතුවටත් එකම දෙය පවසන බවයි.
විශේෂයෙන් අප රට වැනි කෘෂි මූලික රටවල මිනිසුන් සොබාදහමේ ඉඟි බොහෝ සෙයින් අවබෝධ කරගන්නට සමත් වූ අතර භෝග වගාවේදී අව්ව, වැස්ස, නියඟය, ගංවතුර වැනි දෑ එළැඹෙන බව සතුන්ගේ හැසිරීම්වලින් දැනගන්ට සමත් විය. කක්කුට්ටන් ගුල් හාරන්නේ නියරේ කිනම් මට්ටමකද යන්න මත, කිරලුන් බිත්තර දමන ස්ථාන මත, කපුටන්ගේ කරව් මත, වැස්ස, පෑවිල්ල හෝ නියඟය දක්වා එය වර්ධනය වන්නේ ද යන්න කලින් හඳුනාගෙන අවශ්‍ය කෘෂි උපායන් යෙදීමට එය උපයෝගී කරගන්නට තරම් පරිසර සංවේදීතාවක් ඔවුන් සතුව තිබිණි.
ඉර හඳ වැන්දේ නිකම්ම නොව ඉරෙහි ගමන සහ සඳෙහි කලා මත වසරේ ඒ ඒ කාලවලදී නිකුත් කරන කිරණවල අනුපාතය අනුව වගා කටයුතුවල විවිධ අවස්ථා හඳුනාගන්නට ඔවුන් සමත් විය. හර්ට්ස් 20ත් 60ත් අතර තරංග ඔස්සේ පමණක් ලෝකය දකින්නට හැකි දෑසක් හිමි මිනිසාට වර්ණාවලියේ පැහැයන්වල තීව්‍රතා විවිධ කාලවලදී වෙනස්වන බව පියවි ඇසින් දැකගත නොහැකි වුවත් එයට වෙනත් ක්‍රම උපයෝගී කරගන්නට තරම් ඔවුන්ට හැකියාව තිබිණි. ඡ්‍යොතිෂයේ විවිධ සිද්ධාන්ත උපයෝගී කරගන්නට ඒ ගොවියන් උනන්දු වූයේ එබැවිනි.
විද්‍යානුකූලව පවසන විට හර්ට්ස් 20 සිට විසිදහස දක්වා වූ පරාසයක් පමණක් තමන්ට ඇසෙන බව දැන සිටියා හෝ තමන්ට වඩා වැඩි ශ්‍රවණ පරාසයක් සතුන්ට ඇති බව අවබෝධ කරගෙන සිටි මිනිසුන් සතකුගේ වෙනස් හැසිරීම්වලින් තමන්ට කියන පණිවිඩය තේරුම්ගෙන එය ප්‍රයෝජනවත් ලෙස භාවිත කරමින් තම කටයුතු පහසු කරගන්නට තරම් නිහතමානී මෙන්ම බුද්ධිමත් විය.
තමන් උසස් යැයි සිතා සිටින නූතන තාක්ෂණික මිනිසා සැබැවින්ම මේ පාරිසරික තොරතුරුවලින් මිදී මිනිසා විසින්ම නිපදවන ලද තාක්ෂණික මෙවලම් මඟින් මිනිසා විසින්ම පමණක් සන්නිවේදනය කරන තොරතුරු මත යැපෙන්නට හුරුව සිටියි. එවැනි උපාංග භාවිතයෙන් ඇසට හා කනට සිදුවන හානි නිසා භෞතිකව මෙන්ම අධ්‍යාත්මිකව සිදුවන්නේ තව තවත් තමන් අන්ධ වීම සහ බිහිරි වීම බව පවසන්නේද මනුෂ්‍යයන්ම වීම සරදමක් බඳුය.
මේ සොබාදහම විවිධ සත්ත්වයන්ට විවිධ සංවේදන ක්‍රම ලබා දී ඇත්තේ උන්ගේ පැවැත්ම තහවුරු කිරීමටය. පංචේන්ද්‍රියන්ට අමතරව සයවැනි ඉන්ද්‍රියයක් ලෙස ප්‍රඥාව ද සොබාදහම විසින් මිනිසාට ලබා දී ඇත්තේ තමන්ට වඩා වෙනස් සංවේදනයන් සහිත ගහ කොළ සතා සීපාවා මෙන්ම ඉර හඳ ග්‍රහතරු මඟින් අවාචිකව දක්වන සංඥා අවබෝධ කරගෙන තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමටය. එය අමතක කර දමා අසංවේදී ලෙස හැසිරෙන මිනිසුන් දෙස සොබාදහම බලා සිටින්නේ කවදා හෝ යළිත් මේ සියල්ල මඟින් මිනිසා සොයා ගන්නෙ සොබාදහමේම සැඟවුණු රහස් නොවේද යන්න පිළිබඳ උපහාසාත්මක හැඟීමෙන් උපන් මඳ සිනාවකිනි.
එය අවබෝධ කරගන්නා දිනක් එළැඹෙන විට අතීත මිනිසා ගහට කොළට අහසට පොළොවට මෙන්ම ඉරට හඳට වැඳුම් පිදුම් කළේ ශිෂ්ටාචාරගත නොවූ නොදියුණු බව නිසා ද නැත්නම් පරිසරය යනු තමාගේ පැවැත්ම තහවුරු කරන තමන්ගේම කොටසක් ලෙස හා තමන් ද පරිසරයේම කොටසක් ලෙස ඇති වූ බැඳීයාව නිසා ද යන්න තේරුම් ගෙන සැබෑ දියුණුව යනු කුමක්ද යන්න හෙළිවන විට යළි වඳීන්නට පුදන්නට තරම් ගෞරවණීය වූ ගහක් කොළක් හෝ ඉරක් හඳක් පෘථිවි ජීවීන්ට පවතී ද යන්න සැකසහිතය.