වර්ෂ 2024 ක්වූ November 01 වැනිදා Friday
බලි
අපේ ගෙදර අල්මාරිය පිස්සිගෙ පළා මල්ලටත් අන්තය. කන්තෝරු අඳීන රෙදි, ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට මෙන්ම කෙට්ටු වුණාම අඳීන්න හිතාගෙන ඉන්න රෙදිපිළි, මහත් වුණාම අඳීන්න ඉන්න ඇඳුම්, අරයා මෙයා දුන් නිසා මතක සැමරුම් ලෙස තියාගත් දේවල් සියල්ල එකට ඔතා දැමූ ලට්ට ලොට්ට සියල්ල එහිය. එවැනි කතා බහ ඔබට ඕනෑතරම් අසන්නට ලැබී තිබුණාට සැක නැත. එහෙත් මේ අප කරන්නේ කුමක්ද කියා කල්පනා කළ හොත් සංසාරයේ පින් පවු එක්රැස් කරගන්නා සේම මේ භවයේ තෘෂ්ණාවට ඉඩ දී අවශ්‍ය අනවශ්‍ය සියලු දෑ පොදි ගසා ගැනීමය.
ජපන් ජාතිකයන් හිරෝෂිමා නාගසාකි බෝම්බ ප්‍රහාරවලින් පසු දියුණු වූ ආකාරය අපි දනිමු. ඔවුන් ඒ දියුණුවේ හිනිපෙත්තට ගිය පසු එස් පහ ක්‍රමය ගෙදර දොර පවා ක්‍රියාත්මක කරමින් අනවශ්‍ය දෑ ඉවත් කිරීමටත් අත්‍යවශ්‍ය දෑ පමණක් තබා ගැනීමටත් ක්‍රමවේදය ලොවටම කියා දෙන්නට විය. එහෙත් ආර්ථික අපහසුතා බහුලව ඇති අප වැනි රටවල රෙදි කඩමාල්ලක් පවා එසේ ඉවත දැමීම දෙවරක් සිතා කළ යුතු දෙයක් බව අරපිරිමැස්ම උගන්වන අපේ අත්තම්මලාගේ උපදෙසයි. එයට හේතුව කුමක් කුමන වේලාවේ අපට අවශ්‍ය වන්නේද යන්න කිව නොහැකි බැවිනි.
ඒ කෙසේ වෙතත් බෞද්ධ ආර්ථික ක්‍රමවේදය හදාරන අයකුට මේ සියලු දේ පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කළ හැකි බව කිව යුතුය. එයට පළමුව කළ යුත්තේ දැහැමිව ධනය ඉපැයීමය. එවිට එය භාවිත කරන්නාට යාදෙන ධනයක් බවට පත්වෙයි. දැහැමිව රැස් කරන ධනය වුව ප්‍රයෝජනයට ගත යුතු ක්‍රමවේදය බෞද්ධ දේශනාවේ දැක්වෙයි. සුහද මිතුරන් ඇසුරු කරන්නා සිල්වත්ව කුඩා වේයන් වැලි කැට ගානේ ගෙනැවිත් විශාල තුඹසක් බඳීන්නා සේ අනුන්ට හානි නොකර, මල නොතලා රොන් ගන්නා සේ තම ධනය යහපත් ලෙස ටිකෙන් ටික රැස් කළ යුතුය.
එසේ රැස් කළ ධනය කොටස් හතරකට බෙදා තමන්ගේ එදිනෙදා පරිභෝජනයට කොටසක්ද තමන්ගේ ආයෝජන කටයුතු සඳහා ඉන් කොටස් දෙකක් ද අවසන් කොටස ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පතුවක් ලෙසද තබා ගැනීම බොදු ඉගැන්වීමයි.
එසේම සද්ධා සම්පදා, සීලසම්පදා, චාගසම්පදා, පඤ්ඤා සම්පදා යන අති දුර්ලභ කරුණු සතර අත් කරගැනීමට ද දැහැමි ධනය හා දැහැමින් උපදවාගන්නා භෝග සම්පත් උපකාර වන බව පත්තකම්ම සූත්‍රයෙන් දේශනා කොට තිබේ. එහිදී තමන්ගේ සැපත සඳහාද මවුපිය, අඹුදරු, දැසිදස්, නෑ මිත්‍රාදීන්ගේ යහපත සඳහා ද දැහැමින් උපයාගත් ධනය යොදා ගත යුතුවේ. එසේම ගින්නෙන් දියෙන් රජුන්ගෙන් සොරුන්ගෙන් අප්‍රිය වූ දායාදවලින් සහ විපත්වලින් බේරීම සඳහාද යොදාගත යුත්තේ මේ දැහැමි ධනයයි. නෑදෑයන් වෙනුවෙන් දෙන ඥාති බලි, ආගන්තුකයන් වෙනුවෙන් දෙන අතිථිබලි, මළවුන් සඳහා දෙන පුබ්බපෙතබලි, රජුන් සඳහා දෙන අයබදු වැනි රාජබලි, දෙවියන් වෙනුවෙන් පුදන දේවතාබලි පස්වැදෑරුම් බලි වෙනුවෙන් ද මේ ධනයම යෙදවිය හැකිය. තමන් කරන යහපත් දේ ලෙස ගන්නා මහණ බමුණන් වෙනුවෙන් දානමය පුණ්‍ය කර්ම කිරීමේදීද යොදාගත යුත්තේ මේ දැහැමි ධනයම වේ.
එහෙත් මේ සියල්ල දේශනා කර ඇති ධර්මයක් සහිත අප අපේ අල්මාරි පුරවාගෙන සිටින තෘෂ්ණාධික ගතිය නිසා අවසානයේ දීමට සිදුවන්නේ බලි බිලිය. නැටීමට වන්නේ බලි තොවිල්ය. ඒ මේ භවයෙන් නොගෙවෙන තණ්හාධික බව ඊළඟ භවයන් පවා අවහිර කරන බැවිනි.
ඡ්‍යොතිෂයේ ග්‍රහ පිහිටීම් අනුව කෙනකුගේ ධන සම්පත්, විවිධ ලාභ අදිය පිළිබඳ මෙන්ම පසුගිය භවයන් හා මතු අත්භවයන් පිළිබඳව ද පැවසිය හැකි වනු ඇත. එහෙත් අතීත භවයන් කෙසේ වෙතත් මතු භවයන් වෙනස් කර ගැනීමට අපට පුණ්‍ය කර්ම මඟින් උපකාර ලබා ගත හැකිය. ඒ සඳහා අපගේ අල්මාරියේ ඇති අවුල් සහගත ගතියම ප්‍රයෝජනයට ගතහැකිබව නොසිතා සිටීම කනගාටුදායකය. අපට අනවශ්‍ය දෑ දන් දීමේ චිත්තයක් පහළ වූ වහාම අපට පින් සිතිවිලි උපදින්නට ගනී. එයින් ඉවත්වන ද්‍රව්‍ය නිසා අල්මාරිය පිළිවෙළ වෙයි. අපේ ජීවිත මෙන්ම අපේ මේ භවයේ තෘෂ්ණාධික හැඟීම් ද පහව ගොස් සිත ද පිළිවෙළ වෙයි. ඡ්‍යොතිෂයෙන් ඇතැම් විට යම් යම් ප්‍රතිකර්ම ලෙස යාචකකාරකාදීන්ට රෙදි පෙරෙදි දන්දීමට උපදෙස් දෙන්නේ මෙවැනි අවස්ථා ඇති කිරීමටය. අප සිතින් බොහෝ දෑ ඉවත් කර නිදහස් කරගත හැකි නම් සරල දිවිපෙවෙතක් වෙනුවෙන් අපේ භෞතික අල්මාරිය මෙන්ම චිත්ත අල්මාරිය ද පිරිසුදු කර පිළිවෙළ කිරීම හොඳම පියවර වෙයි. නැතහොත් අපට සිදුවන්නේ සදාකාලික බලිතොවිල් නටමින් ප්‍රේත තටු තැබීමටය.