වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ගිනි
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට ලොස් ඇන්ජලිස් දක්වා පැතිර ගිය ලැව් ගින්න අපට සුනාමි හා සමීප එහෙත් වෙනස් පාඩමක් කියා දෙයි. එයින් අපට උගත හැකි දේ බොහෝය. අප මේ පොරකමින් රැස් කරන්නේ මොනවාද? යන්න එකකි. ඒ කිසිවක් අපට අවශ්‍යද? ඔව්. පැවැත්ම සඳහා අවශ්‍ය යැයි තර්ක කළ හැකිය. එහෙත් සුනාමියේදී මෙන්ම මේ ලැව් ගිනි අත්දැකීමෙන් අපට වැටහෙන්නේ ඒ කිසිවක් නැතිවත් මිනිසුන්ට ජීවත් විය හැකිය යන්නය. එනිසා යථාර්ථය අවබෝධ කර ගැනීමෙහිලා මෙය මහත් වටිනා පාඩමක් බවට සමස්ත ලෝකයාටම අවබෝධ කරවීමට සොබාදහම දුන් පණිවිඩයක්දැයි වරෙක සිතේ.
අවුරුදු අනූ අටක් වයසැති මවක් ඒ ගින්නෙන් දැවුණු තම සුඛෝපභෝගී නිවසේ අළු මත හිඳ වසර හැට හතක පමණ ඇයගේ මතක ගැන පවසමින් කඳුළු නොසලා බලා සිටින්නේ දුක දොම්නස නැතිවා නොව, කරන්නට දෙයක් නැතිකම නිසා බව සමාජ මාධ්‍ය පරිහරණය කරන්නකුට පැහැදිලි වන දසුන් පෙළක් කියා පායි. කිසිවකුටත් අත නොපා සිටි බව පෙනෙන ප්රතාපවත් මුහුණ තවමත් ඇය සතුය. යූටියුබකරු ඇයගෙන් විමසා ඩොලර් මිටියක් අතට දෙයි. ඇය එය බාරගන්නේ වෙන කළ හැක්කක් නැති බැවිනි. සියල්ල අළුවී ගොස් තිබියදී තවත් මොන ආත්ම ගෞරවයක් ගැන සිතන්නද? ඇයට සිතෙන්නට ඇත. එහෙත් බලා සිටින අපට එය මහත් සංවේදී කතාවකි.
එවැනි සංවේදී පුවත් රැසක් සමාජ මාධ්‍යයේ අසාමාන්‍ය ලෙස පැතිරෙන්නට මේ ගින්න හේතු විය. තම සුරතල් සතුන් අතහැර ගොස් සිටි නිවැසියන්, සුරතලුන් බේරා ගැනීමට ගිනි කාගෙන සිටින පුද්ගලයන්, සතුන්ගේ සුවදුක් බැලීමට ඇති සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානවල ක්‍රියාකාරීත්වය ආදිය හදවත සසල කරවන දර්ශන පෙළක් රැගෙන ආ බව නොකිව මනාය.
ඒ සියල්ලට වඩා මෙවැනි දැඩි ව්‍යසනකාරී මොහොතක මාධ්‍යවල හැසිරීම පිළිබඳ සුපුරුදු මෙන්ම නුපුරුදු අත්දැකීම් රැසක් ලැව්ගිනි හදේ මවන්නට සමත් විය. ඒ අතර අපට ඉතා හොඳීන් හුරු පුරුදු එකිනෙකාට දොස් පවරගැනීම්, පිල්වලට බෙදෙමින් මේ දැවැන්ත ව්‍යසනයේ බොර දියෙන් තම කල්ලිය වෙත මාළු බා දීමේ ප්රයත්න කොතෙකුත් පැවතුණු බව රහසක් නොවේ. එය අපට ඉතා හුරුපුරුදු දෙපැත්තේ දොස් දැක්වීම්වලට සමාන බව නොකියාම බැරිය.
එහෙත් මේ සියල්ල අතර මහත් වූ මාධ්‍ය පාලනයක් හෝ ස්වයං පාලනයක්, සදාචාරයක් තිබූ බව දක්නට තිබිණි. ඒ මිනිසුන්ට දැකීමට අප්‍රසන්න වන අකාරයේ දැවී ගිය මිනිසුන්, සතුන් ආදිය නොපෙන්වීම ඉන් එකකි. එසේම ගින්නෙන් වන හානිය පෙන්වුවද එයින් බේරාගන්නා සතුන් මිනිසුන් වැනි ධනාත්මක දේ පෙන්වීමට දැක්වූ උනන්දුවයි. එසේම ඇමෙරිකානු වැසියන් පිළිබඳ මතවාදය කෙසේ වෙතත් ඔවුන් ආධාර බෙදා දුන්නේ දුක විකුණාගනිමින් තමන්ට ලකුණු දාගන්නා ආකාරයේ බැනර් ආදිය සවිකරගනිමින් නොවීම මහත් ආදර්ශයකි. පිළිවෙළට ගෙනත් තබන දෑ අතරින් තමන්ට අවශ්‍ය දේ පමණක් ගෙන යන තරම් විනයක් මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක පවා ඔවුන්ට ඇති බව පෙන්වන වීඩියෝ අපමණය.
මේ සියල්ල අතර අපට වැදගත්ම කරුණ වන්නේ සුනාමි අවස්ථාවේ බේරුණු බුදු පිළිම මෙන් මෙතරම් දැඩි ගින්නකදී බේරුණු බයිබල ආදිය දැක්වීමට තරම් ආගම් ළැදියාවක්, විශ්වාසයක් ඔවුන් සතුව තිබීමයි. එසේම සමාජ සේවා කටයුතු කළ අයගේ පින් මහිමයෙන් අවට සියලු නිවෙස් ආදිය ගිනි ගනිද්දී තම නිවහන පමණක් බේරුණු ආකාරය පිළිබඳ දක්වන මති මතාන්තර ඇතුළේ ඇත්තේ මිනිසා සහජයෙන්ම පින පව කෙරෙහි දක්වන විශ්වාසය පිළිබඳ හැඟීමයි.
‘සුද්දන්’ ඡ්‍යොතිෂය විශ්වාස නොකරන බව පුන පුනා කියන්නන් වෙත ද මේ සමඟ පණිවිඩයක් දෙයි. එනම් ලොස් ඇන්ජලිස් පිළිබඳ කර ඇති ඡ්‍යොතිෂ අනාවැකි සංඛ්‍යාව සහ එහි විවරණ මඟින් කරන විග්රහයයි. ඒ අනුව ඔවුන් සලකන්නේ ජනවාරි 13 පායා ආවේ වෘකයාගේ හඳ ලෙසයි. කටකයේ මතු වූ පූර්ණ චන්ද්‍රයාට කුජගේ බලපෑම මඟින් ඇති වන්නේ හදවත කකියවන හැඟීම් බව ඔවුන් පුළුල් ලෙස විග්රහ කර තිබේ. එසේම යුරේනස්, නැප්චූන් සහ ප්ලූටෝගේ බලපෑමෙන් ඇතිවන නියඟය ඇතුළු පාරිසරික ව්‍යසනකාරී තත්ත්වයන් සමඟ කුජගේ ගිනිකාරක බව තවත් වැඩිවන ආකාරය මැනවින් විග්රහ කරන්නට ඔවුන් සමත්ව ඇත. ඒ අතර මෙවැනි ග්‍රහ ගෝචරවලදී හින්දු භක්තිකයන් හනුමාන් දෙවියන් පුද දෙන ආකාරයද, කිතුනු බැතිබතුන් 91 ගීතාවලිය හෝ 23 වැනි ගීතිකාව කියැවීමෙන් දිව්‍ය ආරක්ෂාව ලැබිය යුතු ආකාරයද, ඉස්ලාම් භක්තිකයන් අල්ලා දෙවියන්ට කන්නලව් කළ යුතු අයුරුද, අර්බුදකාරී කාලවලදී යුදෙවු ඇදහිලිවලට අනුව මී ෂෙබෙරාක් යාච්ඥාවකින් ශාරීරික සහ මානසික සුවය පතන ආකාරය ද බෞද්ධ ක්‍රමවේදය අනුව මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවල මනස සන්සුන් කරගැනීමට මෛත්‍රිය කරුණාව පතුරමින් භාවනා වැඩීම සුදුසු බවද නිර්දේශ කර තිබීම ග්‍රහයන් සහ දෙවියන් මෙන්ම ආගම දහම පිළිබඳ අපට නොපෙන්වන විශ්වාසයක් ඔවුන් තුළ කෙතරම් දුරට පවතින්නේද යන්න සාක්ෂාත් කරන නිදසුන් නොවන්නේ යැයි තවදුරටත් කිව හැකිද?