දවස කෙටිද? වයස කීයද?

ජනවාරි 10, 2025

දවසට පැය 24ක් බව ගෝලීය පිළිගැනීමයි. එහෙත් දැන් දැන් දවසට ඇති පැය ගණන අඩු වී ඇතැයි හැඟෙන බවක් බෙහෝ දෙනා පවසනු පෙනේ. එයට හේතුව සත්‍ය වශයෙන්ම දවසේ පැය ගණන අඩුවීමද?

නැත. දවස තිබුණ පරිදිමය. සුළු සුළු වෙනස්කම් සූර්ය උදාව ආදියෙන් ඇති වුවත්, දවසට අයිති ඔරලෝසු පැය ගණන වෙනස් වී නැත. එහෙත් ඔරලෝසු කටුව වේගයෙන් කැරකෙන බව යමෙකුට දැනෙන්නේ නම්, කාලය මඳ බවක් දැනේ නම් එයට හේතු දෙකක් තිබිය හැකිය. එකක් නම් ඔබ වයසට ගොස් ඇති බවය. එසේ නැත්නම් ඔබ අසීමිතව සමාජ මාධ්‍ය භාවිත කරන්නෙකු විය යුතුය.

අප කුඩා අවදියේ කාලය ඕනෑ තරම් තිබුණු බවත් මේ වන විට කාලය වේගයෙන් ගමන් කරන බවත් දැනෙන්නේ නම් එයට කායික මෙන්ම මානසික හේතු බලපායි. මහාචාර්ය බෙන්ජන් නම් මනෝවිද්‍යාඥයාගේ තර්කයට අනුව අප කුඩා කල අපේ මොළයට ලබා ගන්නා දසුන් සංඛ්‍යාව හා ඒවා ලබා ගන්නා වේගය ඉතා වැඩිය. ඔහුගේ මතයට හේතුව ඇතැම් විට අප ලෝකය දකින්නේ ඒ වයසේදී නිසා විය හැකිය. කෙසේ වෙතත් වේගවත්ව නව අත්දැකීම් මොළයට ලැබෙන විට අපට කාලය සෙමින් ගමන් කරන බව නැතහොත් දවස ඉතා දිගු බව දැනෙන්නේ යැයි ඔහුගේ තර්කයයි. එහෙත් වයසින් වැඩෙත්ම ඒ නව උකහා ගැනීම්වල වේගය අඩු වන බැවින් අපට ඇතිවන අත්දැකීම් සංඛ්‍යාව සාපේක්ෂව අඩුවේගන යන බැවින් මොළය හඳුනාගන්නේ එය දවස කෙටි වීමක් ලෙසය.

විශේෂයෙන් එකම දින චර්යාවක නැතහොත් එකම රූටිනයක් ගෙවන්නකුට දවස ඉතා කෙටි වෙයි. එහෙත් වෙනස් අත්දැකීම් ලබන්නකුට දවස ඊට වඩා දිගුය. ඒ සඳහා හොඳම උදාහරණය වයස අවරුදු අටක දරුවකු සහ වයස අසූවක වැඩිහිටියකුට දවස ගෙවෙන ආකාරයයි. කුඩා දරුවා ඉගෙනීමට, සෙල්ලම් කිරීමට, විෂයය බාහිර වැඩ ආදී වශයෙන් දවසේ බොහෝ කටයුතුවල යෙදෙන බැවින් දවසකදී ලැබෙන අත්දැකීම්, එහිදී මොළයට සැපයෙන දසුන්වල වේගය වැඩි බැවින් දවසකට වැඩි වැඩ ප්‍රමාණයක් කෙරෙන බවට එන හැඟීමත් සමඟ කාලය ඉතා දිගු ලෙස සැලකීමට මොළය පෙළැඹෙයි.

එහෙත් අසූ වියැති පුද්ගලයකුට එතරම් වේගයෙන් සෙල්ලම් කිරීමට හෝ අලුතින් යමක් ඉගෙනීමට මෙන්ම දකින දසුන් වේගයෙන් මොළයට කාවද්දා ගැනීමට හැකියාවක් නැතුවා මෙන්ම අවශ්‍යතාවක්ද නැති විය හැකිය. එබැවින් දවසක් ගෙවෙන්නේ සීමිත අත්දැකීම් කොටසක් සමඟිනි. එවිට ඔවුන් දෙදෙනා දිනකදී ලබා ගන්නා අත්දැකීම් ප්‍රමාණය ඉතා වෙනස්ය. එනිසා කුඩා දරුවාට දවස දිගු වන අතර වැඩිහිටියාට දවස ඉතා කෙටි යැයි හැඟීමක් මොළය විසින් ඇති කරයි.

වර්තමානයේ ඊට තවත් අනුබල දෙන සාධකය වී ඇත්තේ සමාජ මාධ්‍යයන්ය. අප ෆේස්බුක් මිතුරන් සමඟ හෝ යූටියුබ් වැඩසටහන් සමඟ ගත කරන කාලය තුළ අපට ලැබෙන්නේ එකම අත්දැකීමක් පමණි. එහිදී වැඩසටහන් විවිධ වුවද අප යෙදෙන්නේ එකම කටයුත්තකය. එනිසා අපගේ මොළයට ලැබෙන අත්දැකීම එකමය. එසේම එවැනි සමාජ මාධ්‍යයක සිටියදී අපට කාලය ගතවන තරම පිළිබඳ අවබෝධය ද හීන වී යයි. එබැවින් අප ඒ දවස තුළ කිරීමට සිටි කටයුතු ඉටු කරගැනීමට කාලය මදි වන හැඟිමක් ඇති වනවා මෙන්ම ප්‍රායෝගිකව ද කාලය මදි වී යයි. තවද පරිගණක හා නූතන ජංගම දුරකථන තිරවල දෑස රඳවාගෙන සිටීමෙන් ශරීරය වැඩ කිරීමට මැළිබව, නිදිමත මෙන්ම මානසික ව්‍යාකූලතා ඇති වන බව විද්‍යාත්මකව සොයාගෙන ඇත. දිනකට පැය දෙකකට වඩා රූපවාහිනිය, හා දුරකථන තිර භාවිත කිරීම සෞඛ්‍යමය වශයෙන් මහත් පරිහානියක් ගෙනෙන බව දැන දැනත් ඉන් මිදීමට මනස සකසා ගැනීම අපහසු වී ඇත.

මේ නිසා කායික සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය පිරිහුණු මිනිසා අධ්‍යාත්මික වශයෙන්ද මහත් පරිහානියකට ලක්වෙමින් පවතින බව සොයාගෙන තිබේ. මනුෂ්‍යත්ව ගුණයෙන් අඩුවෙමින් යාන්ත්‍රික ගුණය වැඩි වීමෙන් මිනිසත්බවේ ඇති වටිනාකම්, යහගුණ අඩුවී යන්ත්‍රවලට ඇබ්බැහි වුණ, පරිකල්පනීය ශක්තිය දුර්වල පුද්ගලයන් මෙන්ම නිර්මාණාත්මක ගුණවල වෙනස්කම් ද ඇතිවූ පුද්ගලයන් බිහිවන බව ප්‍රායෝගිකව පොදු මඟී ප්‍රවාහන රථයකදී වුව අත්දැකිය හැකිය. එසේම දවසේ කාලය මදි වීමෙන් මහත් කලබලයක් ඇති වීමද එහි ප්‍රතිපලයකි.

මෙයින් මිදීමට නම් ඡ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව පවසන්නේ නම් බ්‍රහ්ම හෝරාවේ හෙවත් කපුටන් හැඬලීමට පෙර අවදි වී භාවනා, යෝග, ව්‍යායාම ආදියෙන් දවස අරඹා, දවසකදී තමන් කළ යුතු වැඩ කටයුතු පෙළගස්වාගෙන සම්මා සතියෙන් එහි නිරත වන අතර කෙටි වේලාවක් සමාජ මාධ්‍ය ඇසුරු කිරීමත්, හොඳ නින්දක් සහ යන්ත්‍ර සූත්‍ර ඇසුරෙන් මිදුණු විවේකයක් ලැබීමත් ඔබේ තරුණබව මෙන්ම දවසේ දිගුබව ඔබට ලබා දෙන මූලික සාධක වනු ඇත. එය ප්‍රායෝගිකව අත්හදා බැලීමෙන්ම වටහා ගත යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.