වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
මළවුන්ගෙන් නැඟිටීම
පර්සිවරන්ස් නම් රෝවර් යානාව අඟහරු මතට පා තබන්නට පෙර එයට නම් තැබීමේ උලෙළක් පැවත්විණි. එහිදී විනිසුරුවන් හාරදහස් හත්සියයක් දෙනා විසින් විමසන ලද යෝජනා විසිඅට දහසකින් වැඩි ඡන්දය ලැබුණේ කුඩා දරුවකු විසින් යෝජනා කරන ලද මේ නමටය.
එවැනි නමක් යෝජනා කිරීමට ඇලෙක්ස් මාතර් දරුවා දක්වා තිබූ හේතුව වූයේ ‘කියුරියෝසිටි, ඉන්සයිට්, ස්පිරිට්, ඔපචුනිටි වැනි අඟහරු ග්‍රහයා පිළිබඳ මෙහෙයුම් සඳහා මින් පෙර යෙදවූ යානාවලට යෙදුවේ මනුෂ්‍ය ගුණාංග නියෝජනය වන වචන. ඒවා අනුව මිනිසුන් නිතර කුතුහලයෙන් පිරුණු, යමක ගැඹුරක් සහ ජීවිතයේ අවස්ථා සොයන ගුණයෙන් සපිරි කොටසක්. සඳ මෙන්ම අඟහරු පමණක් නොවේ ඉන් එහා දේ සෙවීමට පවා අපට ප්‍රඥාව, උනන්දුව තිබෙනවා. එවැනි මිනිස් ගුණාංග අනුව රෝවර් යානා නම් කිරීමේදී අපට වැදගත්ම ගුණය මඟ හැරී තිබෙනවා. ඒ තමයි මෙවැනි කටයුතු කිරීමේදී කෙතරම් අමාරුවෙන් හෝ සියලු දේ දරාගෙන ඕනෑම තත්ත්වයයකට හැඩගැසෙනා තුරු උත්සාහය අත් නොහැරීමේ ‘උට්ඨාන වීර්යය‘ නැමැති මිනිස් ගුණාංගය. මුළු මිනිස් වර්ගයාම කිසිවක් අතහැරීමට සූදානම් නැත්තේ ඒ ගුණය නිසයි. උට්ඨාන වීර්යය ඇති විට මිනිසුන්ට කළ හැකි දේ බොහෝමයි.‘ යන්නය. ඒ 2020 වසරේදීය.
ඊට වසර 2563කට පෙර උට්ඨාන වීර්යය පිළිබඳ හොඳම උදාහරණය සිදුහත් තවුසාණන් වෙතින් අපි අසා ඇත්තෙමු. තිලොවටම උත්තම වූ පදවිය වන බුද්ධත්වය ලැබීමටත් ඉන් පහළට ඇති අප බලාපොරොත්තු වන ඕනෑම භෞතික හෝ අධ්‍යාත්මික තත්ත්වයක් වෙත ළඟා වීමටත් අවශ්‍ය ප්‍රධානම ගුණාංගයක් වන්නේද මේ උට්ඨාන සම්පදාව බව බුද්ධ දේශනාවේද එයි.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රය අනුව මෙලොව දියුණුවට හේතුවන කාරණා සතර වන්නේ උට්ඨාන සම්පදාව හෙවත් නොපසුබස්නා උත්සාහය, අරක්ඛක සම්පදාව හෙවත් දැහැමින් උපයාගත් දෙය රැකගැනීම, කල්‍යාණ මිත්තතා හෙවත් ධාර්මික මාර්ගයට යොමු කිරීමට සමත් මිතුරු සම්පත්තිය සහ සමජීවිකතා හෙවත් උපයන ධනය සහ කරන වියදම අතර සමතුලිතතාවක් ඇති කරගැනීමය.
වසරක් පුරා මේ සියලු කාරණාවලට උත්සාහවන්තව මුහුණ දී හෙම්බත් වී ගෙවා දැම්ම ද අලුත් වසරක් අරඹන විට නැවුම් හැඟුමින් යුතුව අප යළිත් ඒ වසරට මුහුණ දෙන්නේ උත්සාහවන්තවය. ඒ මෙලොව දියුණුව උදෙසාය.
එහෙත් අප නොදැනුම්වත්වම හෝ මෙලොව දියුණුව සලසා ගනිමින් උත්සාහ කරන්නේ පරලොව දියුණුව ද සකසා ගැනීම බව අවධානයට ගැනෙන්නේ නැත. මෙහිදී පරලොව යන්න සංසාරය බව අප අමතක කර දමා ඇත. ලෞකික වශයෙන් සාර්ථක ජීවිතයක ලෝකෝත්තර පැතුම්ද සාර්ථක වන බව සූත්‍ර පිටකයේ වරින් වර දැක්වෙන්නෙ එබැවිනි.
උට්ඨාන වීර්යය ඇති වන්නේ නිකම්ම නොවේ. ඒ සඳහාද කරුණු සතරක් සම්පූර්ණ කළ යුතු බව දහමේ දැක්වෙයි. එනම් තමන්ගේ කර්මාන්තයේ හෝ විෂයයෙහි දක්ෂයකු, නිපුණයකු වීම, අලසකමින් තොරව නිසි වේලාවට අදාළ කටයුතු සිදු කිරීම, ඒ කටයුතු උපායශීලීව, විමසිල්ලෙන් යුතුව ඉටු කිරීම හා ඒවා නුවණින් යුතුව සංවිධානය කිරීමේ දක්ෂබව යන කරුණු සතරය. මේ අතරින් නොපසුබට උත්සාහයට බැඳී ඇති ප්‍රධාන කරුණ නම් මනා සිහියයි. අපට සිතෙන දේ හා අප සිතන දේ යන කරුණු අතරින් අප සිතන දේ සිහිනුවණින් යුතුව සිතීමට හැකි වන්නේ මනා සිහියක් ඇති විටය. උත්සාහය අතනොහැරීමට හැකි වන්නේ මනා සිහියක් ඇති විටය. උත්සාහවන්ත වීම රාගය යැයි කෙනකු සිතිය හැකි වුවද කෙලෙස් ප්‍රහීන කිරීමට වැදගත් වන්නේද මනා සිහිබුද්ධියයි.
සම්මා සතියෙන් තොර වීම ප්‍රමාදයට හේතු වන බව ධර්මයෙහි දැක්වෙන්නේ එබැවිනි. ප්‍රමාද වන්නට සිත් දෙන්නේ උත්සාහයක් නොමැති විටය. මෙය චක්‍රයක් බඳුය. ප්‍රමාද වූ තැනැත්තා මළ අයකු බඳු යැයි බුදුන් දේශනා කරන්නේ පංච නියාම ධර්ම අතරින් චිත්ත නියාම ධර්මයේ කොටසක් වන තමා විසින් සිතා කරන කටයුතු නොකරන පුද්ගලයා අනෙකුත් නියාම ධර්ම මඟින් මෙහෙයවන අප්‍රාණික වස්තුවක් බඳු නිසාය.
එසේ නම් වසරක ආරම්භයේ අප කළ යුතුව ඇත්තේ මළවුන්ගෙන් නැඟිටීමය. එනම් සිහි නුවණින් යුතුව වසරේ කටයුතු මෙන්ම අනාගතය සංවිධානය කරගැනීමය. මේ ඇතැම් දේ සඳහා තමන්ට යම් සැකසංකාවක් ඇත්නම් ඒ වෙනුවෙන් විශේෂිත වූ දැනුම් සම්භාරයක පිහිට වුව පැතීම වරදක් නොවනු ඇත. ඒ ද ලෞකික දියුණුව වෙනුවෙන් කරන්නක් බැවිනි. එහිදී අපට නොපෙනෙන අවිනිශ්චිත අනාගතයේ ඇතැම් අවස්ථා පිළිබඳ හෝඩුවාවක් දැනගැනීමට ඡ්‍යොතිෂය වැනි අස්පර්ශී ඥානයක් වුව දායක කරගත හැකිය. එසේ කළත් නොකළත් මිනිසකු වශයෙන් අප කළ යුත්තේ කන කැස්බෑවා වියසිදුරෙන් පුන්සඳ දකින්නා සේ මහත් අහම්බෙන් ලද මේ මිනිසත් බවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමය. එය සුභාවිත වන්නේ දෙලොව දියුණුවට හේතුවන මෙලොව ජය ගැනීමෙන්ය. ඒ සඳහා උට්ඨාන වීර්යය මෙන්ම යහපත් සිහිනුවණ වඩා ගැනීමට වසරේ මුල් මාසය තුළම අදිටන් කරගැනීම වඩාත් අගනේය. එවිට සතර නියාම ධර්මවලින් පමණක් පාලනය නොවන පංච නියාම ධර්මවලින් කර්ම, ග්‍රහ අපල ආදිය පවා වෙනස් කළ හැකි නොපසුබස්නා උත්සාහය සහිත මළවුන්ගෙන් නැඟිටගත් සැබෑ මිනිසකු බවට පත්වීමට මේ වසර උපයෝගී කරගත හැකි වනු ඇත.