මහිලාවන් වෙනුවෙන් සුබසෙත සායනයක්

ජුනි 28, 2024

මිහිතලය මෙන් සැප දුක දෙක එක ලෙස දරාගත හැකි බැවින් කාන්තාවෝ මහිලාවන් ලෙස සලකති.

මවක වීමේ පූර්ණ ශක්තිය, වාසනාව හිමි වන්නේ කාන්තාවකටය. එනිසා ඇය ලොවක් බිහි කරන මෙලොවට පැවැත්ම තහවුරු කරන වාසනාවන්තියයි. ලංකා මහිලා සමිති බිහි වන්නේ එවැනි කාන්තාවන්ගේ අභිවෘද්ධිය අපේක්ෂාවෙනි.

ඒ 1930 කැනේඩියානු ජාතික වෛද්‍යවරියක වන මේරි රත්නම් මැතිනියගේ මූලිකත්වයෙනි. එදා මෙදා තුර පාර්ලිමේන්තු ව්‍යවස්ථාවකින් සම්මතව වසර 95ක් පුරා ගම්බද කාන්තාවන්ගේ සමාජීය හා ආර්ථික තත්ත්වය නංවාලීමේ කාර්යයේ නියැළෙන සමාජ සේවා ආයතනයක් ලෙස සේවාවන් රැසක් ඉටු කරන්නට ලංකා මහිලා සමිති පෙරමුණ ගෙන තිබේ.

කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, කළුතර, ගම්පහ, අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, මොනරාගල, බදුල්ල, කෑගල්ල, රත්නපුර, මාතලේ යන දිස්ත්‍රික්ක පහළොවක මහිලා සමිති 180 ක සාමාජිකාවන් 5400ක් පමණ ඇති අතර එමඟින් මේ වන විට පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන 150ක් පාලිකාවන් 200 දෙනකු සඳහා පවත්වා ගැනීමට කටයුතු යොදා ඇත. එහි දරුවන් 5000ක් පමණ ඉගෙනුම ලබන අතර පාලිකාවන් හට නොමිලේ පුහුණු වැඩසටහන්, අපදා සහන වැඩපිළිවෙළ, සෞඛ්‍ය සම්බන්ධ දැනුම්වත් කිරීමේ වැඩසටහන්, පෝෂණ වැඩසටහන් ආදිය ද මහිලා සමිති මඟින් පවත්වනු ලැබේ.

මීට අමතරව මේ වන විට පොල් සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් විදේශ විනිමය උපයන ‘තවාෂි බුරුසු’ නිපදවීමේ ව්‍යාපෘතිය වැනි වැඩසටහන් මඟින් ද පේෂකර්ම දෙපාර්තමේන්තුව හා සම්බන්ධව අත්යන්ත්‍ර රෙදිපිලි නිෂ්පාදන කටයුතු ද, ගෙවතු වගා, මල් වගා, හතු වගා, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය වැනි කටයුතු ඔස්සේ කාන්තාවන්ගේ ආර්ථික මට්ටම සවිබල ගැන්වීමේ පෙරමුණ ගෙන සිටියි.

මහිලා සමිති මඟින් මීට පෙර සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති අතර තෝරාගත් ප්‍රදේශවල පෙරපාසල් සඳහා ජලය සහ සනීපාරක්ෂාව සැපයීම, වැසි ජලය රැසි කිරීමේ ටැංකි ලබා දීම, පශ්චාත් සුනාමි වැඩසටහන, පෙරපාසල් ගුරුවරුන් සඳහා ඉංග්‍රීසි භාෂා පුහුණුව, පෙරපාසල් දරුවන්ගේ පෝෂණය සඳහා දිවා ආහාරය ලබා දීම වැනි කටයුතු රැසකි.

මහිලා සමිතියේ අපේක්ෂාව වන්නේ ගම්බද කාන්තාවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය හා ආර්ථික තත්ත්වය උසස් කිරීම උදෙසා පුහුණු කිරීම, ඔවුන්ගේ සෞඛ්‍යය, සමාජීය හා ආර්ථික දියුණුව උදෙසා කුසලතා ඔප් නැංවීම, අත්කම් ආදි ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ සොයා දීම ආදියයි.

වැටුප් රහිත විශාල සේවාවක් කාල වේලාව නොතකා තම නිවැසියන් වෙනුවෙන් ඉටු කරන සෑම ගෘහණියකගේම ශ්‍රමය අගය කළ යුතුය යන හැඟීමෙන් ලංකා මහිලා සමිති ක්‍රියා කරයි. ඥානය නැමැති පහනෙහි ආලෝකය වඩ වඩා දීප්තිමත් කිරීම වෙනුවෙන් තම දෑතින් සුළං වළකන මහිලාවන්ගේ දැනුම වැඩීමටත්, අසරණකම හා නූගත්කම නම් වූ අන්ධකාරයෙන් ඇය මුදවා සුඛිත මුදිත සමාජයක ගෞරවණීය සාමාජිකාවන් ලෙස ජීවත් වීමට ඉඩ සලසා දීමත් මහිලා සමිතිවල අපේක්ෂාවයි. එවන් වූ ලංකා මහිලා සමිති 95 වසරක් සපුරන අවස්ථාවේ මෙරට කාන්තාවන්ගේ සුබ සෙත වෙනුවෙන් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් පත්තර මහගෙදර වන ලේක්හවුස් ආයතනයෙන් ඔවුන්ට පිදෙන උපහාරයක් ලෙස 55 වසරක් සපුරන සුබසෙත පුවත්පත මඟින් ඡ්‍යොතිෂායුර්වේද සායනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මාලඹේ, වැලිවිට පිහිටි ලංකා මහිලා සමිති ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ජූනි මස 28 වැනිදා සිකුරාදා පෙරවරු 9.00 සිට දවස පුරා නොමිලේ පැවැත්වෙන මේ සායනය මාලඹේ හා කඩුවෙල අවට ජනතාව වෙනුවෙන් විවෘතය.

මෙරට ප්‍රමුඛ ඡ්‍යොතිෂවේදීන් මඟින් ඔබගේ කේන්දර පරීක්ෂාව, ප්‍රධාන පෙළේ හස්තරේඛ ශිල්පීන්ගෙන් ඔබගේ අතබලා අනාගතය දැනගැනීම, ඉංජිනේරු විද්‍යාව හැදෑරූ වාස්තු විද්‍යාඥයන් මඟින් ඔබේ නිවෙස්වල වාස්තු දෝෂ ඇත්දැයි පරීක්ෂා කරගැනීම, දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන් මඟින් ඔබේ රෝග විනිශ්චය, තෛල අභ්‍යංග චිකිත්සකවරුන් මඟින් ප්‍රතිකාර ගැනීම සහ නිල වෛද්‍ය චිකිත්සා, කටු චිකිත්සා ආදී කටයුතු සේම ජෛව අනුනාදක හෙවත් ඕඪධ අඥජධදචදජඥ යන්ත්‍රය මඟින් රෝග විනිශ්චය, රුද්‍රාක්ෂ මඟින් සිදු කෙරෙන රෝග නිවාරණ, සුවවේද (ඩ්ඥචතඪදඨ), ආහාරයේ ඖෂධීය ගුණ පිළිබඳ අවබෝධය ලබා දීම, නිමිති ශාස්ත්‍රය ආදි ඡ්‍යොතිෂායුර්වේද ක්‍රම ගණනාවක සේවය නොමිලේ ලබා ගැනීමට ඔබට මෙහිදී අවස්ථාව උදා වේ.

තොටිල්ල නළවන දෑතින් සමාජය සුඛිත මුදිත කරන්නට කැපවන මහිලාවන්ට සුබසෙත සලසමින් වඩාත් යහපත් සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීමේ අරමුණින් සුබසෙත මහිලා සමිතිය සමඟ අත්වැල් බැඳගෙන මේ සායනය පවත්වනු ඇත.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.