කිරි අම්මාවරු දහසකට දානය කැලණියේදී

ජූලි 14, 2023

රටටත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දහසක් කිරි අම්මාවරු උදෙසා දානමය පුණ්‍ය කර්මයක් කැලණි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශාල ජන සහභාගීත්වයකින් පැවැත්විණි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව සිසිර ජයකොඩි සියපත පදනම මගින් මෙම මහඟු දානමය පිංකම සංවිධානය කර තිබූ අතර ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සෙත්ශාන්තියක් උදා කරළීම උදෙසා ඈත අතීතයේ සිට පැවත ආ අපේ ඉපැරණි සම්ප්‍රදායන්ට අනුකූලව මේ කිරි අම්මාවරුන්ගේ දානය පැවැත්විණි. එය දැක බලා ගැනීම උදෙසා කුඩා ළමුන් ඇතුළු දේශීය මෙන්ම විදේශීය විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

-------------------------------

බෙල්ලන්විල ඇසළ පූජෝෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසළ පූණ්‍යීත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කෙරිණි. බෙල්ලන්විල ඇසළ පුණ්‍යීත්සවය සහ පෙරහර මංගල්‍ය 73 වන වරටත් අගෝස්තු 02 වැනිදා සිට 20 වැනිදා දක්වා උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. පූජ්‍ය බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ මග පෙන්වීම හා අනුශාසනා පරිදී බෙල්ලන්විල ඇසළ පෙරහර කමිටුව විසින් පූජෝත්සවයේ සංවිධාන කටයුතු සිදු කරනු ලබයි. පෙරහර මංගල්‍ය සඳහා වාර්ෂිකව දායකත්වය ලබා දෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සම්පත් දායකත්වය මෙවර ද ලබා ගනිමින් පුණ්‍යීත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.

-------------------------------

නොමිලයේ වෛද්‍ය සායනයක්

මාලිගාවත්ත තාරුකා ආයුර්වේද මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය දමයන්ති දීපිකා මහත්මිය විසින් පවත්වනු ලබන වෛද්‍ය සායනයක් මේ මස 15 වන දින උදේ 8.30 සිට සවස 3.00 දක්වා මාලිගාවත්ත ඛෙත්තාරාම විහාරස්ථානයේදී නොමිලයේ පැවැත්වේ. වනිතා සවිය පදනම මඟින් මෙය සංවිධානය කරන අතර, කාන්තාවන් සඳහා පැවැත්වෙන මෙම සායනයේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබාදීමත් අක්ෂි පරීක්ෂාව සහ නොමිලයේ ඇස් කණ්ණාඩි ලබාදීමත් පියයුරු සහ ගර්භාෂ පිළිකා පරීක්ෂාවත් එදිනට සිදු කරනු ලැබේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.