ආයුර්වේදයේ අගය අමතකද?

ජනවාරි 14, 2022

රටක් ජාතියක් වශයෙන් ප්‍රෞඪත්වය, ශ්‍රේෂ්ඨත්වය යන වදන් පමණක් නොව ඒ හැඟීම් ද, අප තුළ තිබිය යුතුය. එය වචනවලට පමණක් සීමා විය යුතු නැත. අප සතුව ඇති යම් යම් සාර්ථකත්වයන්, සම්පත් ආදියෙහි අගය වටහාගෙන ඒ හා ජීවත්වීම මෙන්ම එය සෙසු ලෝකයට හුවා දැක්වීමටද අපට හැකි නම් ඒ කෙතරම් අගනේද? කුඩා දූපතක් වුවද එවන් සාර්ථක අගයන් අප සතුව ඇත. ඉන් නිසි පල ලැබිය යුතුය.

 

අප තුළින් මේ අදහස් මතුවූයේ ලොවටම වසංගතයක් වූ කොවිඩ් රෝගය පැතිරීමත් සමඟය. ඒ ව්‍යසනය වැළැක්වීමට මොනයම් හෝ ක්‍රියාදාමයක් දියත් කිරීමට අපට ශක්තියක් නොවිනිද? අපේ දේශීයත්වය ගැන නොසිතා පුරුදු පරිදිම බටහිරට දෑත් දිගු කළේ එය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවිනි. වසර ගණනාවක් පැරණි දේශීය ආයුර්වේදයක් අපට තිබෙන බව අමතක නොකළ යුතුය. කොවිඩ් රෝග මර්දනය සඳහා සෙසු රාජ්‍යයන් මෙන් අපද එන්නත් වැනි ප්‍රතිකාර ක්‍රම විවිධ රටවලින් ලබාගත යුතුව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත අපටද එය වැළඳ ගැනීමට සිදු වූයේ අන් මගක් නොවූයෙන් ද ඒ කෙසේ වුවද වසංගතයට එම එන්නත සාර්ථකව නොවන බව බොහෝ රාජ්‍යයන් පිළිගෙන ඇත. මෙරට ද මේවන විට එන්නත් විදගත් 714 දෙනෙකු කොරෝනා වැලඳීමෙන් මිය ගොස් ඇති බව ජාතික රෝහලේ වෛද්‍යවරුන් කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත. තවත් බොහෝ දෙනා අතුරු ආබාධයන්ට ලක්ව ඇති බැව් අසන්නට ලැබිණි.

මෙවන් වසංගත සඳහා අපේ දේශීය ආයුර්වේදය තුළින් ප්‍රතිකාර ක්‍රම නොතිබිණිද? ප්‍රතිශක්ති ක්‍රම නොතිබුණා නොවේ. එවන් දේ පිළිබඳව අවධානය යොමු වූයේ නැත. ක්‍රියාත්මක වූයේ නැත. මෙවන් විපත්වලට ප්‍රතිකර්ම සඳහා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දක්ෂයන් මෙහෙයවීමක්, යොමු කිරීමක් සිදු නොවූයේ ඇයි.මානුෂීය චර්යා ධර්ම ඇති බැවින් ඔවුනට බලහත්කාරයෙන් ඒ සඳහා ඉදිරිපත් විය නොහැක. කෙසේ වුවද අපේ ආයුර්වේදයෙහි අගය වටිනාකම අප වටහාගත යුතුය. ඒ සඳහා වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පසුගියදා අප හමුවූයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුශ්‍රැත ගෞරව සම්මාන ලාභි වෛද්‍ය ඒ.පී.ඒ. කරණාතිලක මහතායි. ආයුර්වේදය පිළිබඳව එතුමාගේ දැනුම සහ අත්දැකීම් දැනගත්විට මා තුළ ඇතිවූයේ සතුටක් පමණක් නොව ආඩම්බරයකි.

එමෙන්ම එවන් දැනුවත් අයගෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය. එවන් පුද්ගලයාගේ දැනුම ඔවුන් සමඟම වියැකී යාමට ඉඩදිය යුතු නැත. ඉන්දියාවේ (ආයුර්වේද ඩී.එල්.එම්.එස්,පී.එච්.ඩී) විභාග කීපයකින්ම උසස් සාමාර්ථ ලබා ඇති කරුණාතිලක මහතා සුශ්‍රැත රත්න සම්මානය ලබා ඇත්තේ බැංගලෝරයෙනි.

ඔහු පවසන පරිදි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රභවය සිදුවූයේ මහා භාරතයෙහිය. ඒ ක්‍රි.පූ. 800 පමණය. එහි විධිමත් විද්‍යාත්මක බවක් එළිදැක්වුනේ අථර්වවේද යුගයේදී ය. එහි ප්‍රමුඛයා ධන්වන්තරී ඍෂිවරයාය. මේ වන විටත් ධන්වන්තරී නාමය මෙරට ආයුර්වේදය සමඟ සමීපව ඇත්තේ ඒ නිසාය. එකල භාරතයේ තක්ෂිලා, වික්‍රමශිලා, බාරානසි, වැනි අධ්‍යාපන ආයතන තුළින් එම දැනුම ව්‍යාප්ත විය. වර්තමානයේ අප හිස් මුදුනින් පිළිගෙන සිටින බටහිර වෛද්‍ය ක්‍රමය බිහිවූයේ මින් වසර 400 කට පමණ පසු වය. භාරතයට සමීපව නොහොත් යාබදව පිහිටි අප රටද එම වෛද්‍ය විද්‍යාව ඉතා අගය කොට පිළිගන්නා ලද්දේ එහි සත්‍යතාව මතය. එදා එම ආයුර්වේද ක්‍රමයෙහි සැත්කම් පවා තිබුණ බැව් බුද්ධදාස රජතුමා විසින් සැත්කම් කර ඇති බැව් ඉතිහාසයේ සඳහන් වන බැවින් පිළිගත හැක. එවන් වූ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට අද සමාජයේ එතරම් පිළීගැනීමක් නැත. “අනේ ඔය ඉඟුරු, කොත්තමල්ලි, බීල හරියන්නෙ නෑ.”වැඩි දෙනෙකුගේ ආකල්පයයි ඒ. ඖෂධීය ගුණයෙන් යුතු අපේ පැළෑටි වර්ග බොහෝ දෙනා හඳුණන්නේ නැත. සමහර වෛද්‍යවරුන් නෙලුම් අලය වෙනුවට නෙලුම් දඬු කැබැල්ලක් ප්‍රයෝජනයට යොදා ගැනීමට පවා පුරුදුව ඇත්තේ ඒ නිසාය. ඇත්තටම ඒ පිළිබඳව ඔවුනට දොස් පැවරිය නොහැක. ඔවුන්ද ක්‍රියාත්මක වන්නේ පවතින තත්ත්වය අනුවය. අපේ දේශීය වෛද්‍ය විද්‍යාව මෙයට වඩා අවධානයට ලක් විය යුත්තේ එබැවිනි.

මාස තුනක හෝ හයක පමණ කාලයක් තුළ නොව වසර දහස් ගණනක් තුළ ලද අත්දැකීම් තුළින් ලබාගත් දැනුම,අවබෝධය ඇතත් වර්තමාන සමාජයට ගැළපෙන සේ එය සමාගත වීමක් නැත. ඒ සඳහා ක්‍රමවේදයන් නැත. යල් පැන ගිය පැරණි සමාජගත වීමක් නැත. ඒ සඳහා ක්‍රමවේදයන් නැත. යල් පැන ගිය පැරණි කෝවක නොදමා අපේ ආයුර්වේදයට කාලීනව අවශ්‍ය ක්‍රියාමාර්ගය සකසා මෙයට වඩා උසස් තත්ත්වයට එය යොමු කළ යුතුව ඇත. එවන් තත්ත්වයක් තිබිණි නම් පසුගියදා පැමිණි කොරෝනා වසංගතය ට වුවද ප්‍රතිකර්ම සොයා ගැනීමට අපට හැකිවීමට ඉඩ තිබිණි. එවන් අත්හදා බැලීම්, ක්‍රියාකාරකම් සඳහා පසුතල පහසුකම් වාතාවරණයන් මෙන්ම බලයක්ද නැතිනම් කුමක් කළ හැකිද? කවුරුන්දෝ හඳුන්වා දුන් පානයක් නිසාවෙන් ආයුර්වේදයටද පහරක් එල්ල වුවද යථාර්ථය එළිවීම නිසා එය වැළකිනි.

අද අප බොහෝ දෙන දේශීය වෛද්‍ය ක්‍රමය අගය නොකරනුයේ ඒ පිළිබඳ සමාජ දැනුම අඩු බැවිනි. පස් පංගුව, ඉඟුරු,කොත්තමල්ලි, අවතක්සේරුවට ලක්කරන අය බටහිරින් එන පෙති කරල් අගය කරනුයේ, ඒ ගැන හරි හමන් දැනුමක් ඇතිව නොවේ. එක් අතකින් එම පෙති, කරල් යම්කිසි ප්‍රමිතියකට නිපදවා ඇතත් අපේ ඖෂධවල ප්‍රමිතිය ගැන නිසි පිළිවෙතක් නැත. ප්‍රමිතියක් ඇතත් එය ඇත්තේ සැඟවීය. මෙවන් අඩුපාඩු සකස් කරගත හොත් ආයුර්වේදයේ වටිනාකම බටහිර රාජ්‍යයනනන් අගය කරනු ඇත.

අතීතයේ ශෛල්‍යකර්ම පවා ආයුර්වේදයෙහි තිබී ඇත. එම සැත්කම් සඳහා යොදාගන්නා උපකරණ පිළිබඳව විස්තර කෙරෙන ග්‍රන්ථයක්ද කරුණාතිලක මහතා එළිදක්වා ඇත. වරපත්‍ර (අස්ථිකැපීම) ශෘංග(වායුව ඉවත්කිරීම) භගන්දර (ගුද මාර්ගය සඳහා) සිටි යන්ත්‍රය (වායුව ස්ථාවරව තබා ගැනීමට) වැනි උපකරණ පිළිබඳව එහි සඳහන් වෙයි. මෙවන් පරිපූර්ණ අපේ දේශීය වෛද්‍ය විද්‍යාව කෙරෙහි එතරම් පිළිගැනීමක් නැත්තේ ඒ තුළින් ක්ෂණිකව (තාවකාලිකව) සුවයක් නෙැලැබෙන නිසාද? ප්‍රමාද වී ස්ථාවර සුවයක් ලැබෙන බව නොදත් නිසාද? නැතිනම් පැරණි වූ නිසාදැයි නොදනිමු. සමහර විට ඉහළින්ම එයට පිළිගැනීමක් නැති නිසා විය හැක.

ඇත්ත වශයෙන්ම මෙම ක්ෂේත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ පිළිබඳ අවබෝධයක් ඇති අයට යෙදිය යුතුව ඇත. එම දෙපාර්තමේන්තුව තුළ වුවද පරිපාලනය සඳහා එම විෂය පිළිබඳ අවශ්‍ය දැනුමැති පුද්ගලයන් යොමු කළ යුතුය. එවිටය එහි වටිනාකම සමාජගත වන්නේ. එමෙන්ම කාලීනව අවශ්‍ය වෙනස්කම්ද (මූලධර්ම නොව) ඒ අය වටහා ගත යුතුය. එසේ වුවහොත් බටහිර ඖෂධ සඳහා විදේශවලට ඇදීයන මුදල් ඉතිරි වන අතර අනාගතයේදි අපට නීරෝගී සමාජයක් බිහි වනු ඇත.

සටහන

ජේ.ශීලා වික්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.