වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
දියවැඩියාවට ගුණදායක ඇඹරැල්ලා
විවිධ වූ බෙදීම් රාශියකින් යුතු තුරුලතා අතුරින් ඖෂධීය හා ආහාරමය වශයෙන් වැදගත් වන ශාකයක් පෝෂණ ගුණ සපිරි රසවත් පලතුරක් ලෙස වැදගත් අවන ආහාරයක් වශයෙන් ඇඹරැල්ලා හැඳින්විය හැකිය. බාල, මහලු, තරුණ සියලු දෙනාම හොඳින් දන්නා එසේම බොහෝ දෙනා ඉතා ප්‍රිය කරන ඖෂධාහාරයක් ලෙසද ඇඹරැල්ලා හැඳින්විය හැකිය. ඉතා ඈත අතීතයේ සිටම ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ප්‍රයෝජනයට ගෙන තිබන බව මූලික ආයුර්වේද සංහිතා ග්‍රන්ථ පරිශීලනයෙන් පැහැදිලි වේ.
චරක සංහීතාවේ සූත්‍ර ස්ථානයේ සහ චිකිත්සා ස්ථානයේද, සුශ්‍රැත සංහිතාවේ සූත්‍ර ස්ථානයේ සහ චිකිත්සා ස්ථානයේද, අෂ්ටාංග හාදය සංහීතාවේ සූත්‍ර ස්ථානයේ සහ චිකිත්සා ස්ථානයේද මෙම ශාකය ගැන හොඳ විවරණයක් දක්වා ඇත.
ආම්‍රාත්‍ර, ආම්‍රාතක යන සංස්කෘත නාමයන්ගෙන් හඳුන්වනුයේ මී අඹ ගෙඩි වැනි හෙයිනි. එම ආම්‍රාත යන නාමයම සිංහලට ඇඹරත වී පසුව ඇඹරැල්ලා වී ඇතැයි සිතිය හැකිය. තවද මෙම ශාකය සංස්කෘත භාෂාවෙන් අඩ්ව භෝගය යනුවෙන්ද හඳුන්වයි. එහි සිංහල අර්ථය පයින් ගමන් කරන්නන්ගේ කෑමක් යන්නයි. පයින් ගමන් කරන අය මහමග යන විට පාර දෙපස ඇති ගස් වල ගෙඩි කඩාගෙන කැමෙන් සතුටට පත්වූ නිසා එසේ හැඳීන්වූවා යැයි සිතිය හැක.
තවද හෘදයට හිතකර එළවලුවක් හා පලතුරක් ලෙසද දැක්විය හැකි අතර මධුමේහ රෝගීන්ටද ගුණදායක පලතුරකි. මේ අතර ඇඹරැල්ලා ශාකයේ දියුණු කරන ලද ප්‍රභේදය වන කුඩා ඵල සහිත කුරුගස් අද වඩාත් ජනප්‍රිය ගෙවතු බෝගයක් බවට පත් වී ඇත.
වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන් - ගිනිකොන දිග ආසියාවේ සිට ජනාවාස වූ දිවයින් වලට හඳුන්වා දෙන ලද ශාක විශේෂයකි. ජාවා, මලක්කා, බටහිර සුමාත්‍රා සහ මලයාව වැනි රටවල වැඩි දියුණු කර වගා කරන ලද ශාක විශේෂයක් ලෙස සැලකේ.
දේශීය වශයෙන් - ශ්‍රී ලංකාවේ තෙත් පහතරට කලාපයේ හොඳින් වැවේ.
කඩුගන්නාව, පේරාදෙණිය, පැල්මඩුල්ල ආදී ප්‍රදේශවල බොහෝ සෙයින් දක්නට ලැබේ. තවද පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාවින්න ආයුර්වේද පර්යේෂණායතනය, බත්ගොඩ, පල්ලෙකැලේ ගිරාඳුරුකෝට්ටේ ඔසු උයන්වලද දක්නට ලැබේ.
ඇඹරැල්ල පිළිබඳව විවිධ භාෂා වලින් හඳුන්වන නාමයන් -
පොදු සිංහල නාම - ඇඹරැල්ලා, ඇම්බරැල්ලා, ඇඹරළු ආදී නාමයන් වන අතර සංස්කෘත බසින් - ආම්‍රාත,ආමත්‍රක,මර්කතාමු, පීතන, කපීතන ආදී නාමයන් යෙදේ. ඒ අතුරින් ආම්‍රාත, ආම්‍රාතක - ගෙඩිවල අඹ වැනි සුවඳක් ඇති බැවින්ද මර්කටාමු - කැලැවේදී වඳුරන්ට ගොඳුරු වන නිසාද
පීතන - ඉදුණු ගෙඩි වල කහ පැහැය ඇති නිසාද කපීතන - ඉදුණු ගෙඩිවල පඬුපාට ඇති නිසාද යෙදේ.
හින්දි බසින් අමරා යනුවෙන්ද වංග බසින් ආමරා යනුවෙන්ද දෙමළ බසින් චාම්බූලිචී,අම්බීරම්, අම්පල්ලායී යන නාමයන්ද යෙදේ. ඉංග්‍රීසි බසින් ඩ්ර්‍ණට් – ර්‍ථඹ්උර්, එධ්ඹ්ච් ර්ඒව්ට්ර්‍ණ යන නාමයන්ද යෙදේ.
උද්භිද විද්‍යාත්මක නාම - SPONDIAS MANGIFERA WILD SENSUTRIMEN, SPONDIAS PINNATA (L.F) KURZ, SPONDIAS CYTHEREA SOHN, SPONDIAS DULEIS SOLAND EX PARKINයන නාමයන් යෙදේ.
කුලය- ANACARDIACEAE හෙවත් ආමුකුලය වෙයි. ඖෂධීය අංග - ගෙඩි, කොළ, පොතු හා මැලියම් වේ.
ඇඹරැල්ලාවල ඖෂධීය ගුණ කර්ම-
රසයෙන් :- අමු ගෙඩි ඇඹුල්ද ඉදුණු ගෙඩි කසට හා මිහිරිද වේ.
ගුණයෙන් :- ගුරු හා ස්නිග්ධ වේ. වීර්යයෙන් :- අමු ගෙඩි උෂ්ණද, ඉදුණු ගෙඩි ශීතද වේ.
විපාකයෙන් :- අමු ගෙඩි අම්ලද, ඉදුණු ගෙඩි මධුරද වේ. දෝෂ අනුව සැළකීමේදී - අම්ල රස හා උෂ්ණ වීර්ය නිසා අමු ඇඹරැල්ලා සෙම් පිත් වඩන හා වාත ප්‍රශමන වන අතර මදුර කෂාය රස හා ශීත වීර්ය ඇති නිසා ඉදුණුු ඇඹරැල්ලා වා පිත් ශාමකද සෙම වර්ධකද වේ. මෙනිසා අමුගෙඩි වාත රෝග සඳහාද ඉදුණු ගෙඩි වාත පිත්තජ රෝග සඳහා ද යොදනු ලබයි.
ශාරිරීක ව්‍යූහාගත ක්‍රියා සැලකීමේදී
බාහිර වශයෙන්- කොළ වේදනා නාශකයි. එනිසා ඇඹරැල්ලා කොළ යුෂය කන් කැක්කුමේදී යොදයි.
අභ්‍යන්තර වශයෙන්
ආහාර පරිවහන ව්‍යූහාවේදී - මෙය ආහාර රුචි වර්ධක ගුණ යුතුය. අමු ගෙඩි පිත්ත වර්ධක සහ පිත්ත සාරක වන අතර ඉදුණු ගෙඩි පිත්ත සාමකද විෂ්ටම්භීද වෙයි. කොළ මෙන්ම පොතුද ස්ථම්භන ගුණයි. අමු ගෙඩි අරුචි හා මලබද්ධ වලදීද, ඉදුණුගෙඩි අම්ල පිත්තය ඇතුළු පිත්තජ රෝග සඳහාද කොළ සහ පොතු ප්‍රවාහිකා සහ රක්ත අතීසාර සඳහාද යොදයි.
රුධිර සංසරණ ව්‍යූහාවේදී -
මෙය රක්තස්තම්භන ගුණ යුතු අතර උරෂණ (පෙණහල්ලේ තුවාල) රක්ත පිත්ත රෝගාබාධවලදී ප්‍රයෝග කරනු ලබයි. එසේම අධිරුධිර පීඩනයේදී උපයෝගී කර ගනු ලබයි.
මුත්‍ර ව්‍යූහාවේදී - ඇඹරැල්ලා පොතු මුත්‍ර මාර්ගයේ ස්‍රාවයද, ඉදිමුම්ද දුරු කරන අතර ඇඹරැල්ලා පොතු කෂාය ඒ සඳහා යෙදිය හැකිය.
ප්‍රජනන ව්‍යූහාවේදී
ඇඹරැල්ලා පොතු ගර්භාෂගත ශ්ලේෂ්මල කලාවේ ස්‍රාවය සහ ඉදිමුම දුරු කරයි. එසේම ඇඹරැල්ලා පොතු කෂාය ශ්වේත ප්‍රදර රෝගයේදී ද යොදයි. මේ අතර මෙහි පිත් සමන ගුණ ඇති නිසා දාහ ප්‍රශමන ගුණ යුතු අතර දැවිලි සඳහා යොදයි. එසේම ස්නිග්ධ ගුණ හා මධුර රස ඇති නිසා බලකාරී හා වෘෂ්‍ය ගුණද වෘංහණ ගුණද ඇත. එනිසා ශාරීරික දුබලතා සඳහා යොදයි.
ඇඹරැල්ලා අඩංගු ඖෂධ යෝග -
ගලශෝථයට (බෙල්ල ඉදිමුමට) :-
1. ඇඹරැල්ලා ගසේ පොතු (පිට කුරුට්ට) ඉවත් කරගෙන එයට ලුණු, ගම්මිරිස්, අමු ඉඟුරු ටික ටික දමා කොටා නස්නාරං ඇඹුලෙන් අනා උගුරේ ගා සෙම් හැරීමට සුදුසුය.
2. ඇඹරැල්ලා ගසේ පොතු කොටා දෙහි ඇඹුලෙන් අඹරා කකාරා බෙල්ලේ ගෑමද සුදුසුය.
ගණ්ඩමාලයට :- ඇඹරැල්ලා ගසේ පොතු, අරළු, අමු ඉඟුරු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කකාරා ගායි.
තැල්මට :- ඇඹරැල්ලා ගසේ පොතු ලුණු වතුරින් අඹරා කකාරා ගානු ලබයි.
අම්ල පිත්තයට :- ඇඹරැල්ලා පොතු කෂාය යොදයි.
කල්ගත වූ කුෂ්ඨයට හා කක්කල් කැස්සට :- හොඳීන් පැසී ඉඳුණු ගෙඩි පොතු හැර ගෑරුප්පුවකින් සිදුරු කර මී පැණි වල බහා තබා දිනපතා ගෙඩිය බැගින් කෑම ඉතා ගුණදායකය.
මේ ආදී ඖෂධ යෝග රාශියක් ඇඹරැල්ලාවල ඖෂධාංග සහිතව රෝගාබාධ රැසකට යෙදෙයි.
ඖෂධීය මාත්‍රා -
ස්වරස :- කර්ෂ 1- 2 දක්වා
ක්වාථය :- කර්ෂ 5- 10 දක්වා වේ.
මේ ආදී වශයෙන් ඇඹරැල්ලා ඖෂධීය වශයෙන් අතිශයින් ප්‍රයෝජන ගෙන දෙයි.
ඇඹරැල්ලාවල ආහාරමය වටිනාකම
ඇඹරැල්ලා චට්නි සහ අච්චාරු ලෙස සකස් කර ආහාරයට එක් කර ගනු ලබන අතර ඇඹරැල්ලා දලු සම්බෝල සාදා ආහාරයට එක් කර ගනු ලබයි.
ඇඹරැල්ලා ග්රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ
ශක්තිය කැලරි 46
ප්‍රෝටීන් ග්‍රෑම් 0.2
මේදය ග්‍රෑම් 0.1
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 12.4
කැල්සියම් ග්‍රෑම් 56
පොස්පරස් මිලිග්‍රෑම් 67
යකඩ මිලිග්‍රෑම් 0.3
කැරොටීන් මයික්‍රොග්‍රෑම් 205
තයමීන් මයික්‍රොග්‍රෑම් 50
රයිබොෆ්ලෙවීන් මයික්‍රොග්‍රෑම් 20
නියැසීන් මිලිග්‍රෑම් 1.4
විටමින් සී මිලිග්‍රෑම් 36 වශයෙනි.
මේ අනුව පෙනී යන්නේ ඇඹරැල්ලා යනු අතිශයින් වැදගත් පෝෂ්‍ය පදාර්ථ සපිරි රසවත් පලතුරක් සහ ඖෂධහාරකයක් බවයි.
එනිසා බොහෝ රෝගාබාධ සඳහා බෙහෙවින් ගුණ දෙන ශාරීරික පෝෂණය සඳහා බොහෝ සෙයින් හේතුවන අගනා වටිනා ශාකයක් ලෙස ඇඹරැල්ලා හැඳීන්විය හැකිය. සෑම ප්‍රදේශයකම පාහේ හොඳීන් වැවෙන බොහෝ දෙනකු ඉතා හොඳීන් හඳුනන ඇඹරැල්ලා ඉතා පහසුවෙන් වැවිය හැකි ශාකයක් බැවින් සෑම ගෙවත්තකම එය වගා කරගත හොත් නීරෝගි ජීවිතයක් ගත කිරීමට එය අතිශයින් ප්‍රයෝජනවත් විය හැක.
ශාකයේ ස්වරූපය -
කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ පතනශීලී හෝ නොවන වෘක්ෂයකි. සෘජු කඳකින් යුතුයි. ගම් ස්‍රාවය වන පොත්තක් සහ සිනිදු ලපටි කොටස්වලින් යුක්තය. මෙහි පත්‍ර විශාල වන අතර පොඩි කළ විට ටර්පන්ටයින් සුවඳක් දැනෙයි. මෙහි හටගනු ලබන මල් ක්‍රමවත් ද්වීලිංගික වන අතර ලා රෝස පාටට හුරු කොළ පැහැතිය. මෙම ශාකයේ හට ගනු ලබන ගෙඩි මාංසල ස්වරූපයකින් යුතු අණ්ඩාකාර අෂ්ඨිලයකි. රසයෙන් ඇඹුල් වන අතර අභ්‍යන්තරයේ අරීයව හටගනු ලබන සෘජු හෝ වක්‍ර වූ කණ්ඨක වැනි ව්‍යූහ රාශියක් වේ. පසුව කහ පාට වේ.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ
කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන