ක්ෂණික මෝචනය සිහිනෙන් ධාතු පිටවීම වළකන දිරවීම පහසු කරන සියඹලා

ජනවාරි 10, 2025

“ආයුබෝවන් වෙද මහත්තය. මේ කොහේ යන ගමන් ද උදේ පාන්දරම?”

“මම මේ කුඹුර පැත්තෙ යන ගමන් සිරිසේන”

“ඉතිං..මෙතැන නැවතිලා ඉන්නේ. මොකක් හරි අසනීපයක්ද?”

“අසනීපයක් නං නැහැ සිරිසේන. මම මේ බලං හිටියේ සියඹල ගහ දිහා.බලන්න සියඹලා කරල් ගොඩක් ගහ යට. සිරිසේනලා මේවා එකතු කරන්නෙ නැත්ද?. සියඹලා කියන්නෙ හොඳ ඖෂධයක් වගේම හොඳ ආහාර රසකාරකයක්නේ...”

“අනේ වෙද මහත්තයෝ. අපි කෑම වලට දමන්න ටිකක් එකතු කරල හදා ගන්නව විතරයි. ඉතිරි ඒවා ගහ යටම තියෙනවා. සමහර අය අහුලගෙන යනවා.”

“බලන්න සිරිසේන කොච්චර හොඳ ඖෂධයක් ද? අපරාදෙ ගස් යට විනාශ වෙන්නෙ..”

“සියඹලා එච්චරටම ගුණයිද වෙද මහත්තයෝ.”

“ඔව්. සියඹලා විශාල ප්‍රමාණයේ ගස් ගම්බදව ඉතා බහුල වශයෙන් දකින්න ලැබෙනවා. ආහාරමය වශයෙන් ගත්තාම සියඹලා කරල් වල ආහාර රුචිය උපදවන ගුණය තියෙනවා. ඒ වගේම දිරවීම පහසු කරනවා..

අනෙක් කාරණය මල අනුලෝමනය කරන ගූණයත් සියඹලා වල තියෙනවා.

ඒ වගේම තමයි සිරිසේන අමු සියඹලා තද ඇඹුල් රසයිනේ. ඉදුණු සියඹලා පැණි රස( මධුර රස) සහ ඇඹුල් රසින්(අම්ල රස) යුක්තයි.”

“එතකොට වෙද මහත්තයෝ සියඹලා හැදෙන්නෙ අපේ රටේ විතරයිද?”

“නැහැ. ඉන්දියාවේ විශේෂයෙන් දකුණු ඉන්දියාවේත්, බෙංගාලයේත්, මියැන්මාරයේත් ශ්‍රී ලංකාවට අමතරව දකින්න ලැබෙනවා. ශ්‍රීලංකාව සැලකුවාම බොහෝ ප්‍රදේශවල සියඹලා ගස් දකින්න පුළුවන්. ඒ වගේම තමයි සිරිසේන ඉතා විශාල ප්‍රමාණයට හැදෙන මේ සියඹලා ගස් බොහෝ කාලයක් පවතිනවා. සියඹලා කොල ඉතා කුඩයිනේ. සාමාන්‍යයෙන් නෙල්ලි කොළවලට සමානයි. සියඹලා කරල් අඟල් 6ක් විතර දික් වෙනවා. සියඹලා කරල්වල පොත්තත් ඉතා ඝනකම්. ඊට ඇතුළෙන් තියෙන මදය තුළ බීජ 2ක් හෝ 3 ක් තියෙනවා.. මේ බීජත් ඝන ආවරණයකන් යුතුයි. ඒ ආවරණය තුළත් මදයක් තියෙනවා.”

“වෙද මහත්තයෝ එතකොට සියඹලාවලට වෙනත් නම් එහෙමත් තියෙනවද?”

“ඔව්. සංස්කෘත භාෂාවෙන්

අම්ලිකා...තින්තිඩී..චික්ද්චා..අම්ලී..චුක්‍රා..දන්තශඨා...අම්ලා..තින්ත්‍රීනී..සහ කාවතින්තිඩී..යන නම් යෙදෙනවා

හින්දි භාෂාවෙන්

චිංචාඉම්ලී නම යෙදෙනවා

දෙමළ භාෂාවෙන් පුලයම්පලම් සහ පුලි යන නම් යෙදෙනවා

ඉංග්‍රීසි භාෂාවෙන් Tamarind Tree.  යනුවෙන් යෙදෙනවා. සියඹලාවල උද්භිද විද්යාත්මක නාමය  Tamarindus indica Linen 

කුලය LEGUMINOSAE හෙවත් ශිම්බී කුලයයි. උප කුලය පූතිකරඤ්ච උපකුලයයි. ඒ වගේම තමයි සිරිසේන ආහාරමය වශයෙන් සියඹලා කරල් යොදා ගන්නවා වගේම ඖෂධීය වශයෙන් සියඹලා කරල්.. කොළ..පොතු.. මල්..සියඹලා බොර..සියඹලා කරලේ පොතු හා ඇට යොදා ගන්නවා.”

“එතකොට වෙද මහත්තයෝ සියඹලා ආහාරමය වශයෙන් වැදගත් වන්නේ කොහොමද?”

“ආහාරමය වශයෙන් සියඹලා කරල්වල මදය යොදා ගන්නවා. ආහාර රසවත් කිරීමට.. ආහාර රුචිය වැඩි කිරීමට මෙය යොදා ගන්නවා. විශේෂයෙන් එළවළු..මාළු ආදිය සකස් කරන කොට සියඹලා යොදා ගන්නවා ඊට අමතරව තැම්බුම් හොද්ද සකස් කරන කොටත් සියඹලා නැතුවම බැරි දෙයක්. සිරිසේන දන්නවානේ...”

“එතකොට වෙද මහත්තයෝ සියඹලා කොහොමද ඖෂධීය වශයෙන් වැදගත් වෙන්නේ?”

“සියඹලා ඖෂධීය වශයෙන් ගත්තාම

රසයෙන් අම්ල යි

ගුණයෙන් ගුරු හා රූක්ෂ යි

වීර්යයෙන් උෂ්ණයි

විපාකයෙන් අම්ල යි

දෝෂ අනුව සැලකුවාම

අමු සියඹලා කරල් අධික ඇඹුල් නිසා වාත සමන සහ සෙම් පිත් වඩන ගුණ යුතුයි. රත්පිත් වඩනවා. උෂ්ණ වීර්යයයි. භේදක ගුණ හා ලඝු පාකය සහිතයි.

ඉදුණු සියඹලා කරල් මධුර හා අම්ල රස නිසා වාත සමන හා උෂ්ණ වීර්යයයි.

සීනි සියඹලා හෙවත් මිහිරි රස සියඹලා පිත සමනය කරනවා.

වියළි සියඹලා (පරණ සියඹලා බොර) ආහාර රුචිය වැඩි කරනවා වගේම පිපාසය සමනය කරනවා.

මේ නිසා අමු සියඹලා වාතවලටත්

ඉදුණූ සියඹලා සෙම් වාත රෝගවලටත් යොදා ගනු ලබනවා. ඒ වගේම ඉදුණු සියඹලා පානය පිත් රෝග සඳහාත් යොදාගනු ලබනවා.

ඒ වගේම සිරිසේන ශාරීරික ව්‍යුහගත ක්‍රියා සැලකුවාම

බාහිර වශයෙන්

සියඹලා කොළ සහ ඇට ඉදිමුම් හා වේදනා නසන ගුණ යුතු නිසා සියඹලා කොළ සහ ඇට අඹරා රත්කර ආලේප කිරීමෙන් ඉදිමුම් හා වේදනාව නැසෙනවා

ඒ වගේම සියඹලා මධුර ආලේපයෙන් සැරවා නැතිවී තූවාල සුව වෙනවා එසේම සියඹලා කොළ තම්බාගත් වතුරේ රෙදි කැබැල්ලක් පොඟවා තැවීමෙන් ඉදිමුම් සුව වෙනවා. ඒ වගේම අර්ශස්වලදී සියඹලා කොළ තම්බා අඹරා ආලේප කරනවා.

කටේ තූවාලවලට සියඹලා කොළ තම්බා ගත් වතුරින් කට සේදීම හොඳයි. ඒ වගේම බඩවැල පහත් වීමේ දී සියඹලා ඇට බැද වතුරෙන් අඹරා ආලේප කිරීමත් හොඳයි.

අභ්‍යන්තර වශයෙන් ගත්තාම

සියඹලා කරල්වල මදය බඩගින්න වඩන පිපාසය නසන.. අක්මාව ශක්තිමත් කරන සහ පිත්ත විරේචන සහ භේදක ගුණ සහිත අගනා ඔසුවක්. මේ නිසා අරුචිය.. බඩගිනි අඩුකම. අක්මා ආශ්‍රිත රෝග සහ මලබද්ධය ට ඉතාමත් ගුණයි.

ඒ වගේම සියඹලා මදයෙන් සාදන ආම්ලිකා පානයත් ආහාර රුචිය වැඩි කරන්න ඉතා හොඳයි.

ඒ වගේම සියඹලා බොර හා එලකිරි එකතු කරල හදපු සියඹලා මෝරු මලබද්ධයට සහ උණ රෝගයට ඉතාමත් හොඳයි.

එසේම අර්ශස් සහ අතීසාර සඳහා සියඹලා දළු හා මල් හොඳයි.

ඒ වගේම සියඹලා ඇට මද ශුක්‍ර ස්තම්භන සහ සංග්‍රාහී ගුණ සහිත නිසා

ප්‍රදර....සෝමරෝග, ශුක්‍ර මේහ..සහ සිහිනෙන් ධාතු පිටවීම වගේ රෝග සඳහා යොදා ගන්න වාජීකරණ ඖෂධයක්.

මේ සඳහා සියඹලා ඇට දින දෙක තුනක් වතුරේ පොඟවා ඊට පස්සෙ පොතු ඉවත් කරල මදය අරගෙන වේලල කුඩුකරල මුලින්ම උණු වතුරෙන් අනලා ඊට පස්සෙ මීපැණි වලින් අනලා කඩල ඇට පමණට ගුලි හදල වරකට ගුලි 3ක් ගැනීමෙන් ක්ෂණික ශුක්‍ර පිටවීම සහ සිහිනෙන් ධාතු පිටවීම ආදිය නසනු ලබනවා

මේ බේත වාජීකරණයට විශිෂ්ට ගුණ දෙන අගනා ඔසුවක්

ඒ වගේම

සර්ප විෂේදී

සියඹලා කොළ යුෂ කලං 4ක් සහිඳ ලුණු කලං 3ක් සමඟ බීම ඉතා හොඳයි.

අණ්ඩ වෘද්ධි රෝගයේදී

සියඹලා කොළ සියුම්ව අඹරලා රත්කරල ගෑමෙන් වේදනාව සහ ඉදිමුම සමනය වෙනවා

කැසීම් සහිත දදවලට

සියඹලා කොළ යුෂ ගෑම හොඳයි

එසේම ලේ යන අතීසාරයට සියඹලා කොළ කෂාය යොදනු ලබනවා.

ඒ වගේම ඉදිමුම් හා මළබද්ධය සහිත කල්ගතවුණු අතීසාරයට සියඹලා නැටි.. කරපිංචා නැටි, අරළු, පෙති පුවක් කෂාය දෙනවා.

කැස්ස සහිත ඇදුම..වැනි සෙම් රෝග වලට පරණ සියඹලා බොර ආදී කෂාය මීපැණි සමඟ දෙනවා. ඒ වගේම අරුචිය... බඩගිනි අඩුකම සහ අජීර්ණ සඳහා සියඹලා බස්නය යොදනු ලබනවා.

ඉතිං සිරිසේන මේ ආකාරයේ ප්‍රයෝජන රාශියක් සියඹලාවලින් අපට ලැබෙනවා. ඒනිසා සියඹලා මේ විදිහට ගහ යට විනාශ වෙන්න දෙන්න එපා. එකතු කරල වේලල තියා ගත්ත නම් බෙහෙත්වලට ගන්නත් පුළුවන්. ආහාර රසවත් කරන්නත් පුළුවන්.”

“අනේ ඔව් වෙද මහත්තයෝ. සියඹලාවල තියෙන වටිනාකම මට හොඳටම තේරුණේ වෙද මහත් මහත්තයා කියල දුන්නමයි.

ඒනිසා මම සියඹලා එකතු කරල වේලල ගන්නම්. මේ ගැන මට කියල දුන්නට වෙද මහත්තයට බොහොම පින්.”

“හොඳයි. සිරිසේන එහෙනම් මම යනවා.”

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.