නිවෙසේ දියුණුව සලසන ඔසු ගස බෙලි

ජනවාරි 3, 2025

නිවෙසට ශ්‍රීයාව, සෞභාග්‍යය කැන්දන ගෙවත්තට ශ්‍රියා කාන්තාව සේ සැලකෙන බෙලි ගස ගැන මේ නව වසරේ මුලින්ම කතා බහ කරමු.

බෙලි යනු නිවෙසට, ගෙවත්තට ශ්‍රියා කාන්තාව සේ සැලකෙන ශාක අතරින් එක් ශාකයක් ලෙස හැඳින්විය හැකිය. ගෙමිදුලේ බෙලි ගස් පහක් සිටුවීම දෙව්ලොව යා හැකි පින්කමක් වශයෙන් භාරතීය ආගමික ග්‍රන්ථවල දක්වා තිබීමෙන්ම බෙලිවල ඇති පූජණීයත්වය මනාව පැහැදිලිවේ.

එසේම ගෙමිදුලේ දකූණු පැත්තෙ බෙලි ගසක් සිටුවීම වාසනාවන්ත ලෙසත් මතයක් පවතී. එසේම හින්දු භක්තිකයන් ශිව දෙවියන් පිදීමට බෙලි ගස යොදාගන්නා අතරම විෂ්ණු පූජාවටත් බෙලි කොළ නැතිවම බැරිය.

බාලග්‍රහ දෝෂවලදී දුම් ඇල්ලීමට බෙලි කටු, කොළ සහ මුල් යොදා ගනු ලබයි. තවද සමෘද්ධියේ සහ ඉසුරුමත් බවේ සංකේතය වන ලක්ෂ්මිය උතුම් මංගල වස්තුවක් ලෙස සැලකෙන ස්ථානවල වාසය කරන බවට මතයක් තිබෙන අතර බෙලි ගස ඉන් එකකි. මෙවන් වූ ශ්‍රේෂ්ඨතම වෘක්ෂයක් වන බෙලි ඖෂධීය වශයෙන් ද අතිශයින් වැදගත් වන අතර ඉතා ඈත අතීතයේ සිටම ඖෂධ සඳහා යොදා ගෙන තිබෙන බව මූලික ආයූර්වේද සංහිතා ග්‍රන්ථ පරිශීලනයේදී පැහැදිලි වේ.

බෙලි ගස වැවෙන ප්‍රදේශ ගැන සැලකීමේදී

විදේශීය වශයෙන් ඕස්ට්‍රේලියාව බෙලි ගසේ ජන්ම භූමිය ලෙස සැලකෙන අතර ඉන්දියාවේ සෑම ප්‍රදේශයකමත් මියන්මාරය, මැලේසියාව, පාකිස්තානය, පිලිපීනය ආදි රටවලත් බහුලව දක්නට ලැබෙන ශාකයකි.

දේශීය වශයෙන් සලකන කල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන අතර වියළි මෝසම් පරිසරයට හැඩ ගැසුණු ශාක විශේෂයකි.

බෙලි ගසේ ස්වරූපය සැලකීමේදී

බෙලි ගස මීටර් 10 ක් පමණ උසට වැඩෙන අවුරුද්දකට එක වරක් පමණක් කොළ හැලෙන පතනශීලී ගාකයකි. මෙහි මේරූ අතු කටු සහිතය. ළපටි අතු කොළ පැහැතිය. පත්‍රිකා 3 බැගින් හෝ ඉතා කලාතුරකින් පත්‍රිකා 1හෝ2 සහිත වේ. පත්‍රිකා හැඩයෙන් අණ්ඩාකාර සිට ඉලිප්සාකාර වේ. පත්‍රවල දෙපැත්තම මඳ සිනිදු හා ළා කොළ පැහැතියි. පත්‍ර පොඩි කළ විට මනා සුවඳක් දැනෙයි.බෙලි ගස්වල මල් පොකුරු වශයෙන් පවතී. ඒ මල් හොඳ සුවඳකින් යුතු අතර කොළ පැහැයට හුරු සුදු පැහැයෙන් යුක්තයි. මේ මල් ද සුගන්ධවත් ය. බෙලි ගෙඩි සාමාන්‍යයෙන් ගෝලාකාර වන අතර ඝන කාෂ්ඨමය කටුවකින් ආවරණය වී තිබේ. මෙය කොළ හා දුඹුරු පැහැතිය. මේරූ විට කහ පැහැතිය. බෙලි ගෙඩිය තුළ ආහාරයට ගතහැකි ඇලෙන සුළු මදයේ ගිළුණු බීජ 6-10 ක් පමණ ඇත.එසේම එයටම ආවේණික රසයකින් සහ සුවඳකින් යුක්තයි.

බෙලි සඳහා විවිධ භාෂාවලින් හඳුන්වන නාම රැසකි.පොදු සිංහල නාමය බෙලි වන අතර සංස්කෘත භාෂාවෙන්. බිල්ව, ශ්‍රීඵල, ත්‍රිපත්‍ර, ගන්ධපත්‍ර, සදාඵල, කණ්ඨකී, ශල්‍ය, ශලාටු, ගන්ධගර්භ, මහා කපිත්ථ, ලක්ෂ්මි ඵල, හෘද්‍යගන්ධ, ත්‍රිශාඛ පත්‍ර ආදී නාමයන් යෙදේ.

හින්දි භාෂාවෙන් බේල. යනුවෙන් ද දෙමළ භාෂාවෙන් බිල්වකායි, බිල්වම්, මාවිලමරම් යන නාමයන් යෙදේ.

ඉංග්‍රීසි භාෂාවෙන් Neal fruit... Beam tree..  යන නාමයන් යෙදේ.බෙලිවල උද්භිද විද්‍යාත්මක නාමය Eagle marmelos (L) Correa වන අතරකුලය RUTACEAE හෙවත් ජම්බීර කුලයයිබෙලිවල ඖෂධීය අංග ලෙස මල්, මුල්, කොළ, පොතු, ගෙඩි, ලාටු, මද සහ කටු ආදී සියලුම කොටස් ඖෂධ සඳහා ගනු ලබයි.

බෙලි ප්‍රභේද 2 කි.ග්‍රාම්‍ය හා වන්‍ය වශයෙනි.

බෙලිවල ඖෂධීය ගුණ කර්ම..

රසයෙන් කෂාය සහ තික්තයි.ගුණයෙන් රූක්ෂ හා ලඝු යි. වීර්යයෙන් උෂ්ණයි. විපාකයෙන් කටුකයි.

අමු බෙලි මද, කටුක, තික්ත හා කෂාය රස වන අතර ස්නිග්ධ හා උෂ්ණ ගුණ යුතුයි. එසේම දීපන හා ග්‍රාභී ගුණ යුතු අතර වා සෙම් නසයි. එසේම අන්ත්‍ර බලකාරක ගුණ යුතුයි. පැසුණු බෙලි මද මධුර රස වන අතර ගුරු හා විදාහී ගුණ යුතුයි. එසේම විෂ්ටම්බී දෝෂහර අනුලෝමන ගුණයන්ගෙන් යුක්තයි. සුවඳවත්ය. ශීතය. පෝෂ්‍යයි. මළභේද කරයි.

හොඳීන් ඉදුණු බෙලි සුවඳයි. සිසිල ඇතිකරන ගුණ යුතු අතර ගර්භාෂ ශක්තිය ඇති කරයි. හදවතට, මොළයට ශක්තිය දෙයි. උදරයේ අභ්‍යන්තර වේදනා නසනු ලබයි. බෙලි මල් මධුර රස යුතු අතර අතීසාර, වමන, පිපාසා සහ පිත නිවාරණය කරනු ලබයි. බෙලි මුල් මධුර රස යුතු අතර ස්නායු ව්‍යූහාවේ ශාමක ගුණ යුතුයි. වාතය නසයි. තුන් දොස් සමන ගුණ යුතුයි. ලඝු ගුණ යුතුයි. ආමය පැසවන ගුණ යුතුයි.

බෙලි ඇට අගනා විරේකයකි.

බෙලි ගෙඩියේ කටු දිව වියළීම..අත් පා දැවිල්ල.. උෂ්ණය..අරුචිය නැති කරයි. මළ බද්ධය, කල්ගිය අතීසාරය, ගුල්ම නැති කරයි.

බෙලි කොළ වාත නසන.. ඉදිමුම් නසන... උණ නසන.. සෙම් පිට කරන.. සහ ග්‍රාහී ගුණ යුතුයි. වේදනා නසයි.

බෙලි පොතු කෂාය රස යුක්තයි. හදවතට හිතකරයි.

බෙලි මුල් අරටුව බඩගිනි වඩයි. සෙම සමනය කරයි. ලේ ගෑලීම් නවතයි. කාම උද්දීපන ගුණ යුතුයි. උණ නසන ගුණ යුතුයි. දුෂිත වායු නසයි.

දෝෂ අනුව සැලකූ විට

රූක්ෂ, ලඝු, කෂාය සහ තික්ත නිසා සෙම ද, උෂ්ණ නිසා වාතය ද සමනය කරයි. එනිසා සෙම් වාත සමන ගුණ යුතුයි.

බෙලිවල ඖෂධීය ගුණ සැලකූ විට

බාහිර වශයෙන් බෙලි මුල් තම්බාගත් වතුරේ වාඩිවී සිටිමෙන් අර්ශස් රෝගීන් ගේ වේදනා නැසෙයි. ඇස් රුදාවට බෙලි කොළ යුෂ ඇසට දැමීමත්, බෙලිකොල අඹරා ඇස පිට ගෑමත් ගුණයි. එසේම බෙලි කොළ යුෂ කොළ අඹරා ශරීරයේ ආලේපයෙන් ශරීරයේ දුඟඳ නැසෙයි. ඉදිමුම් වේදනා ආදියේදී තැවීමටද බෙලි කොළ යොදා ගනු ලබයි.

අභ්‍යන්තර වශයෙන් බෙලි මුල් වාත රෝග, ආක්ෂේප, නිද්‍රා, උන්මාද ආදියේදී ප්‍රයෝග කරනු ලබයි.එසේම අමුබෙලි බඩගිනි වඩන, ආමය පැසවන සහ ග්‍රාහී ගුණ යුතුයි. පැසුණු බෙලි මෘදු විරේචක ගුණ යුතුයි. අධිකව කෑමෙන් විෂ්ටම්භය ඇතිකරයි.

බෙලි කොළ යුෂ අක්මා උත්තේජනය කරයි බෙලි මුල් හදවත් දුබලතා සහ හදවත් කම්පන වලදී යොදනු ලබයි. බෙලි ගෙඩි මද ලේ නතර කරන ගුණ යුතුයි. බෙලි මුලේ පොතු හෝ බෙලි කොළ යුෂ ඉදිමුම් රෝගයේදී ප්‍රයෝග කරනු ලබයි. එසේම උණ හා හතිය අවස්ථා වල දී ඇතිවන අස්වාභාවික හෘද ස්පන්දනයේදී බෙලි මුලේ පොතු යොදනු ලබයි. බෙලි කොළ යුෂ මධුමේහ සහ ඉක්ෂූ මේහයේදී යොදනු ලබයි.

ශුක්‍ර මේහයට, බෙලි පොතු යුෂ, සූදුරු කුඩුහා එලකිරි සමඟ ප්‍රයෝග කරයි.

ඇමීබා අතීසාරයට බෙලි කටු කෂාය හා වියළාගත් අමු බෙලි දීම හොඳයි.

විෂම ජ්වරයට

බෙලිගසේ හටගත් පිළිලයේ යුෂ මෝරු සහ ගිතෙල් සමඟ යොදයි.

බෙලි මුලේ පොතු කෂාය යොදනු ලබයි

බෙලි කොළ යුෂ යොදයි

මධුමේහයට බෙලි කොළ යුෂ හෝ බෙලි කොළ තැම්බූ වතුර පානය හොඳයි. රක්ත අතීසාර, රක්ත ප්‍රවාහිකා සහ රක්ත අර්ශස් සඳහා බෙලි ගැට මද පෙති මෙන් කපා අව්වේ වියළා මඳක් කබලේ බැද කුඩුකර කෝපි මෙන් වත්කර බීම හොඳයි.

හිසරදයට බෙලි කොළ, කොත්තමල්ලි තම්බා වේදු පෑම ද වාත වේදනා හා ඉදිමුම් සඳහා බෙලි කොළ තම්බා තැවීම ආදිය සුදුසුයි.

බෙලි අඩංගු සංස්කාරික ඖෂධ කිහිපයක් ම ඇත. බිල්වාදී රසායනය, බිල්ව මෝදකය, බිල්ව පැණිය, බිල්වාදී ඝෘතය, බිල්ව තෛලය, බිල්වාදී අවලේහය, බිල්වාදී චූර්ණය ආදී ඒවාය.

එසේම බෙලි මල් සහ ඉදුණු බෙලි මද රසවත් පාන වර්ග සඳහා යොදා ගනු ලබන අතර රසවත් පළතුරක් වශයෙන් ද බෙලි ගෙඩි යොදා ගනියි.

එසේම බෙලි ගැට මද තම්බා කුල්ලේ ගෑමට ද යොදා ගනු ලබයි. දරු ප්‍රසූතියෙන් පසු මව නෑවීමට ගනු ලබන ජලයට ද බෙලි කොළ මිශ්‍ර කරයි.

මේ ආදී ප්‍රයෝජන රාශියක් ලබා දෙන බෙලි ගස කප්රුකක් සේ සැලකිය හැකිය.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.