නව වසරට වාස්තු පිළිවෙත්

ජනවාරි 3, 2025

අප නව වසර ලෙස සමරන්නේ කිතුණු ලොව හරහා අපට උරුම වූවකි. එසේ වුවත් එහි භාවිත වර්ෂයක්ම ඇති බැවින් එය අමතක කර වෙනත් කාල භාවිතාවක් යොදා ගැනීම පහසු නොවේ. එසේ හෙයින් කවර ජාතියකට, ජනවර්ගයකට, ආගමකට අයත් වුවත් සියලු ලෝකවාසීන් විසින් මේ නව වසර ජනවාරි පළමුවැනිදායින් ඇරඹෙන සම්මුතියෙහි පිහිටා සිටින බව පෙනේ.

පදනම කවරක් වෙතත් කලින්කල විවිධ අදහස් මතු කරන නව වසර සැමරීමේදී පොදුවේ සිදු කරන බොහෝ පිළිවෙත් පිළිබඳව ද අප සැමගේ අවධානය යොමුවීම මෙහිදී අතිශයින් වැදගත් වේ. මෙහිදී ද 'සිංහල අවුරුදු සංකල්පය' හා නව වසර පටලවා නොගත්තද එහිදී සිදු කෙරෙන පිළිවෙත් පිළිබඳව යම් අවධානයකින් කටයුතු කිරීම ඵලදායි වේ.

විශේෂයෙන් වාස්තු ශාස්ත්‍රයේදී අන්තරීක්ෂ (cosmic) ශක්තිය නිවසට පිවිසෙන ඊශාන දිශාව අතිශයින් පවිත්‍ර ආකාරයට පත් කිරීම වැදගත් වේ. එහිදී පාවහන් වැනි නිතර අපවිත්‍ර වන භාණ්ඩ උතුර, නැඟෙනහිර, ඊශාන දිශාවන්ගෙන් ඈත්කොට තැබීම හෝ ඒවායේ පවිත්‍රතාව ගැන වඩාත් සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය වේ.

නිවසේ විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ එහි මධ්‍යය හෙවත් බ්‍රහ්ම පාදය ආසන්නයේ ගොඩනැඟී රැස්වෙමින් පවත්නා විවිධ භාණ්ඩ වෙනත් නියමිත ස්ථාන වෙත ගෙන ගොස් තැබීමෙන් නිවසට ලැබෙන භූ (Earth) ශක්තිය වඩාත් නිරවුල් ලෙස නිවෙසේ පැතිර යෑමට මනා සහායක් සැලසිය හැකියි.

නිවසේ විවිධ අලුත්වැඩියා කළ යුතු දේ වසරක් මඟ හැරී ගොස් තිබුණද මේ නව වසර නිමිත්තක් කොට ගෙන අලුත්වැඩියා කිරීම කවර ආකාරයකින් බැලුවද යහපත් බව පෙන්වාදිය හැකිවා සේම විශේෂයෙන් ජල කරාමවල පවත්නා කාන්දුවීම් ආදිය අලුත්වැඩියා කිරීම විස්මිත ශුභඵල ලබාදෙන බව අවධාරණය කළ යුතු වේ.

ගබඩා කාමරවල භාණ්ඩ රැස්කොට තැබීමේදී එය අපිළිවෙළවීම ස්වභාවයයි. එහිදී ශුභ ලෙස නිවෙසට ඇතුළු වූ ශක්තීන් පවා වියවුල්ව අපවිත්‍රව යෑමෙන් අශුභ ශක්ති ප්‍රභවයක් බවටම ගබඩාව පත්විය හැකියි. එහිදී කළ යුතුම කාර්යය වන්නේ, ගබඩාවේ ගොඩගසා තැබූ ද්‍රව්‍යයන් රාක්කයක එකිනෙක ඉඩකඩ සහිතව යළි ස්ථානගත කිරීමයි. මෙහිදී ගබඩාවට ඇතුළුව අන්තරීක්ෂ හා භූ ශක්තීන් මැනැවින් එහි සංසරණය වෙමින් පැවැත්මක් ඇතිකොට සාර්ථකත්වය ළඟා කර දෙයි.

නව වසර නිමිත්තක් කොට ගෙන බොහෝ නිවැසියන් නිසඟයෙන් සිදු කරන කාර්යයක් වන්නේ අලුතින් විවිධ වර්ණයන්ගෙන් යුතුව බිත්ති පින්තාරු කිරීමයි. එහිදී ඒකාකාර ළා පැහැති ස්වභාවයකින් බිත්ති සකස් කර ගැනීම පොදුවේ යහපත් වේ. නව විවාහක යුවළකගේ නිදන කාමරයක ළා රෝස පැහැයකින් බිත්ති පින්තාරු කිරීමේ වරදක් නැතත් පොදුවේ ශ්වේත (සුදු) වර්ණය යොදා ගැනීම ගැටලු අවම කරයි.

නිදන කාමරවල භාවිත ඇඳ ඇතිරිලි හැකිතාක් විචිත්‍රත්වය වෙනුවට සරල වර්ණ භාවිතයක් සහිතව කේවල (තනි) වර්ණකාරයෙන් සරසා ගැනීම අතිශයින් වැදගත් වේ. එසේම නිරන්තරයෙන් ඒවා නිසි පිළිවෙළකට පවත්වාගෙන යෑමද ප්‍රතිඵලදායක වේ.

වඩාත් පිළිවෙළකට විශේෂයෙන් පවත්වාගෙන යා යුතු ගෘහ අංගය වන්නේ මුළුතැන්ගෙයයි. එහි දර ළිප් භාවිතයක් ඇත්නම් අළු ඉවත්කොට මැටි පිරියම් කිරීම ශක්තිමය නැවුම් බවක් ඇති කරයි. වායු (Gas) ළිප් භාවිතයට ගන්නේ නම් එහි කොටස් පවිත්‍රකොට සකස් කර ගැනීම අතිශයින් වැදගත් වේ. එහි ඇති අපවිත්‍ර ද්‍රව්‍ය දහනයෙන් සක්‍රිය ශක්ති ප්‍රවාහ අශුභවීමෙන් නිරතුරු අහිතකර ස්වභාවයන් ගෘහිණිය ප්‍රධාන නිවැසියනට හිමි විය හැකියි.

භෞතික පිළිවෙළ විසින් හා පවිත්‍රතාවයෙන් ශුභඵල ලබා ගත හැකිවා මෙන්ම මානසික හා ආධ්‍යාත්මික පිළවෙත සඳහා ආරම්භයක් ලබා ගැනීමට මේ නව වසරේ උදාව යොදා ගැනීම පහසු වේ. මෙහිදී උදෑසන හා සවස පමණවත් වන්දනා භාවනා ආදී කටයුතුවල යෙදීමකට ආරම්භයක් ගැනීම ප්‍රයෝජනවත් වේ. එහිදී නිවෙසට ඇතුළුවන ශක්ති ක්ෂේත්‍රයන්ගෙන් නිවැසියන්ගේ ශක්ති ශරීර (ENERGY BODY) බලගැන්වීම සිදු කෙරෙනු ඇත. එවැනි වන්දනා හා භාවනා කටයුතු සඳහා ඊශාන දිශාවට හැරී කටයුතු කිරීම එහි කාර්යක්ෂමතාව උපරිම කිරීමට මනා සහායක් වේ. (පිළිමය හෝ සුරුවම ඊශානයට මුහුණ දෙන ලෙස පිහිටුවීම ඓතිහාසිකව ද සිදු කර ඇති වරදකි.)

එසේම ඊශානයට අපහසු නම් උතුරට හෝ නැඟෙනහිරට හැරී වන්දනා භාවනා පමණක් නොව “ඕම්කාර” ආදී සජ්ඣායනා සිදු කිරීම හෝ ගායන පාත්‍රාවන් (Singing Bowl) වාදනයේ යෙදීම විස්මිත ශක්තියකින් නිවැසියන්ගේ ඕරාව හෙවත් ශක්ති ශරීරය බලවත් කිරීමට මනා සහායක් ලබා දේ.

නව වසර මෙවැනි ප්‍රතිඵලදායක පිළිවෙත ආරම්භයට නිමිත්තක් කර ගැනීම මෙන්ම වසර පුරා එකී කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමද එපමණටම වැදගත් වන බව මෙහිදී අවධාරණය කළ යුතු වේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.