මුඛ රෝග නසන ආහාර රුචිය වඩන කරාබු

දෙසැම්බර් 13, 2024

“ළමයිනේ...දැන් ඔයගොල්ල දෙවැනි වසරේ නිසා ඖෂධ පැළෑටි වැඩි සංඛ්‍යාවක් දැනගෙන ඉන්න ඕන. ඒ නිසා මට කියන්න මොනවද කරාබු කියන්නෙ.?”

“සර් කරාබු කියන්නෙ ආහාර රසවත් කරන්න ගන්නා කුළුබඩු වර්ගයක්. ඒ වගේම අගනා ඔසුවක්”

“හරියට හරි. සාමාන්‍යයෙන් ගත්තාම ආහාර දිරවීමේදී සහ ආහාර රසවත් කිරීමේදී වැදගත් තැනක් කුළුබඩුවලට හිමි වෙනවා. මේ කුළුබඩු අතරින් කරාබුවලට විශේෂ තැනක් ලැබෙනවා. හේතුව ඒවායේ ඖෂධීය ගුණයත් ඉතාමත් අධිකව තිබීම. ආහාර දිරවීමට, ආහාර රසවත් කිරීමට වගේම ආහාර සුවඳවත් කිරීමට කරාබු බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම ආමාශයික යුෂ ශ්‍රාවයට සහ ශරීරගත විෂ වායු ශුද්ධ කිරීමටත් කරාබු ඉතා හිතකරයි. ඒ වගේම තමයි ළමයිනේ... කරාබු වලින් අරුචිය, අප්‍රිය ගතිය, ඔක්කාරය සහ වමන ගතිත් නැති වෙනවා.”

“එතකොට සර් කරාබු වැවෙන්නෙ මොන ප්‍රදේශ වලද?”

“කරාබු අපේ රටේ උෂ්ණාධික නොවන ප්‍රදේශවල හොඳීන් වැවෙනවා. ඒ වගේම මලක්කා... සුමාත්‍රා... දකුණු ඉන්දියාවේ ට්‍රැවන්කෝර්...වගේ රටවලත් වැවෙනවා. කරාබු වල ආදී ජන්ම භූමි වන්නේ මලක්කා ද්වීපය සහ සෙලිබීස් ද්වීපය.”

“එතකොට සර් කරාබුවලට කියන වෙනත් නම් එහෙම තියෙනවාද?”

“ඔව්. සංස්කෘත භාෂාවෙන්

ලවංග...ශ්‍රී ප්‍රසූත.. දේව කුසුම.. ශ්‍රී පුෂ්ප සහ චන්දන පුෂ්ප යන නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් කිරම්බු කියනවා. හින්දි භාෂාවෙන් ලෞංග හා ලවුංග් යන නම් යෙදෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Clove යන නාමය යෙදෙනවා

කරාබුවල උද්භිද විද්‍යාත්මක නාමය Eugenia caryophyllus Tumba  කුලය MYRTACEA  හෙවත් ලවංග කුලය යි. ඒ වගේම ළමයිනේ කරාබු වල ආහාරමය වටිනාකම ගැන සැලකුවාම කරාබු ග්රෑම් 100 ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය ඉතා විශාලයි.

ඒ වගේම ළමයිනේ කරාබුවල ඖෂධීය වශයෙන් ප්‍රයෝජනයට ගන්න අංග විදිහට ගෙඩි.. මල්.. නැටි..පුෂ්පමණි සහ තෙල් ප්‍රධාන වෙනවා.

කරාබු රසයෙන් කටුක සහ තික්තයි.

ගුණයෙන් ලඝු.. ස්නිග්ධ සහ තීක්ෂණ යි.

වීර්යයෙන් ශීතයි. විපාකයෙන් කටුකයි

දෝෂ අනුව සැලකුවාම

කටුක සහ තිත්ත රස දෙකෙන් සෙමත්

ශීත වීර්යයෙන් පිතත් සමනය කරන නිසා සෙම් පිත්තජ රෝගවලට කරාබු ඉතා ගුණයි.”

“එතකොට සර් කරාබු කොහොමද ශරීරයේ ව්‍යූහා ආශ්‍රිතව ක්‍රියා කරන්නෙ?”

“බාහිර වශයෙන් ගත්තාම ප්‍රතිශ්‍යාවෙදි නළලේ ආලේප වශයෙන් යොදනවා.

මුඛ රෝග සහ උගුරේ රෝගවලදී

කරාබු නැටි සපමින් යුෂ ගිලිනවා

ඒ වගේම දන්ත චූර්ණ සඳහාත් කරාබු යොදා ගන්නවා. වර්තමානයේ කරාබු නැටි තෙල් යෙදූ දන්තාලේප සහ මුඛශෝධන තියෙනවා.

සමේ රෝගවලට කරාබුනැටි යෙදූ යෝගයන් ආලේප වශයෙන් භාවිත කරනවා.

ඒ වගේම කරාබු නැටි තෙල් ආමවාත..කටීවාත..ආදියට ගෑමට ගන්නවා.

දත් කැක්කුමට මේ තෙල පුළුන් කැබැල්ලක පොඟවා දත් කූහරයේ හෝ දත් මුල තබනවා

ලිංගික බෙලහීනතාවයේදී මේ තෙල ශිෂ්ණයේ ආලේප කරනවා.

මදුරුවන් විදීම වැලැක්වීමට කරාබු නැටි තෙල් අත් පාවල තවරනවා.

අභ්‍යන්තර වශයෙන් ගත්තාම

බඩගිනි අඩු කම..අරුචිය.. අජීර්ණ ආදිය නසනු ලබනවා. ඒ වගේම ආධ්මාන(බඩ පුරවා දැමීම) ..උදර වේදනා..අම්ල පිත්ත.. වමන ආදියට හිතකාරීයි. අක්මා දුබලතා සඳහා යොදා ගන්නවා. එසේම හදවතට හිතකර නිසා හෘද දුබලතාවලදී භාවිත කරනවා.

ලේ දෝෂ සමනය කරන නිසා සිපිලිස්.. හා ගොනෝරියා ආදියේදී ප්‍රයෝග කරනු ලබනවා. ඒ වගේම වාජීකරණ ගුණයෙන් ද..මව්කිරි වඩන ගුණයෙන් ද.. මව්කිරි ශෝධන ගුණයෙන් ද යුතු නිසා ලිංගික බෙලහීනතා නසන අතර මව්කිරි වැඩීමට සහ මව්කිරි ශෝධනයට යොදා ගන්නවා.

ඒසේම සෙම් සහ හතිය නසන ගුණ යුතු නිසා කැස්ස.. හතිය හා හික්කාවලදී යොදා ගන්නවා. ඒ වගේම වකුගඩු උත්තේජන ගුණ ඇති නිසා මූත්‍ර ඇති කරන ගුණ යුතුයි.

ඉතිං ළමයිනේ ශරීරය ආශ්‍රිතව කරාබු මේ අයුරින් ක්‍රියා කරනවා

ඒ වගේම කරාබු අඩංගු තවත් ප්‍රකට ඖෂධ කිහිපයක් ම තියෙනවා

වාත කැක්කුමට

කරාබු නැටි.. කුරුඳු පොතු දෙවර්ගය උණුවතුරින් අඹරා ගෑමෙන් සුවය ලැබෙනවා.

ජලය පිරිසිදු කර ගැනීමටත් කරාබු නැටි භාවිත කරනවා. විශේෂයෙන් කොළරාව වැනි ජලය නිසා බෝවෙන රෝගවලදී පානීය ජලය පිරිසිදු කර ගැනීමට වතුර උණුකර ගැනීමේ දී එම වතුරට කරාබු නැටි තුනක් හෝ හතරක් දමා රත් කර ගැනීමෙන් ජලයේ ඇති විෂබීජ නැසී බීමට සුදුසු පිරිසිදු ජලය ලබාගන්න පුළුවන්

ඒ වගේම කරාබු අඩංගු සංස්කාරිත ඖෂධ විදිහට ගත්තාම ලවංගාදී චූර්ණය..

ලවංග චතු:සම චූර්ණය

දන්ත චූර්ණය ආදිය ප්‍රධාන වෙනවා

මෙයට අමතරව තෛල..අර්ක.. චූර්ණ..පාණ්ඨ..රසායන..අරිෂ්ඨ.. ආසව...ගුලි..කල්ක ආදී..ඖෂධ යෝග..රාශියක කරාබු නැටි අඩංගු වෙනවා.

ඉතිං ළමයිනේ මේ විදිහට බැලුවාම. කරාබු කියන්නෙ ඖෂධීය වශයෙන් වගේම ආහාරමය වශයෙන් අතිශයින් ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක්. ආහාර සඳහා රුචිකත්වය සහ ප්‍රිය උපදවන බව ඇතිකිරීමට අවශ්‍යම සාධකයක් විදිහටත් කරාබු හදුන්වන්න පුලුවන්. ඒ වගේම ඖෂධීය වශයෙන් රෝග විශාල ප්‍රමාණයක් සඳහා ප්‍රයෝග කරනු ලබන ඖෂධයන්හි අඩංගු ප්‍රධාන ද්‍රව්‍යයක් විදිහට ඖෂධ රැසක් සඳහා නැතුවම බැරි ද්‍රව්‍යයක්. ඒ වගේම බුලත් විට සඳහාත් කරාබු නැටි යොදා ගන්නේ මුඛ ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් උපද්‍රවවලින් වැළකෙන්න.

මේ නිසා ළමයිනේ කරාබු කියන්නෙ අගනා වටිනා ඔසුවක් වගේම කුළුබඩුවක්.”

“ඔව් සර් කරාබුවල ගුණා ගුණ ගැන හොද අවබෝධයක් අපිට ලැබුණා. ඒ ගැන සර්ට ගොඩක් ස්තුතියි”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.